ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කළ ඉතාලි නගරය

- Author, සොෆියා බෙටීසා
- Role, බීබීසී ලෝක සේවය, මොන්ෆැල්කන්
ඉතාලියේ ඒඩ්රියාටික් වෙරළ තීරයේ දැවෙන හිරු රැස් යට, බංගලාදේශ ජාතික මිතුරන් පිරිසක් කුඩා කොන්ක්‍රීට් තට්ටුවක් මත ඔවුන්ගේ ක්‍රිකට් දක්ෂතා පුහුණු කරති.
ඔවුන් මොන්ෆැල්කෝනේ නගරයට පිටතින් ට්රියැස්ට් ගුවන් තොටුපළ අසන්නයේ පිහිටි ස්ථානයක එලෙස ක්‍රීඩා කරන්නේ, නගරාධිපතිනිය විසින් නගර සීමාව තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කර ඇති හෙයිනි.
ඔවුන් පවසන්නේ, නගර සීමාව තුළ ක්‍රිකට් ක්‍රීඩා කළහොත් යුරෝ 100ක් දක්වා දඩ මුදලක් නියම කළ හැකි බව ය.
"අපි මොන්ෆැල්කෝනේ නගර සීමාව ඇතුළේ සෙල්ලම් කළා නම්, මෙලහකටත් පොලිසිය ඇවිත් සෙල්ලම නතර කරලා ඉවරයි," ක්‍රිකට් කණ්ඩායමේ නායක මියා බප්පි පවසයි.
බෙංගාලි දරුවන් පිරිසක් ප්‍රාදේශීය උද්‍යානයක සිය ජාතික ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී නිලධාරීන් "අල්ලා ගත්" සිද්ධියක් ඔහු සිහිපත් කරයි. ඔවුන් ආරක්ෂක කැමරාවක් මගින් රූගත කරන බව නොදැන සිටි අතර, එම ස්ථානයට පැමිණි පොලිස් ජංගම මුර සේවයක් ඔවුන්ගේ ක්‍රීඩාව නතර කර දඩයක් නියම කර තිබිණී.
"ඒ අය කියන්නේ ඉතාලියට ක්‍රිකට් එපා කියලා. ඒත් මම කියන්නම් ඇත්ත: ඒ අය එහෙම කරන්නේ අපි විදේශිකයො නිසා," මියා පවසයි.
ක්‍රිකට් තහනම පනවා ඇත්තේ, මොන්ෆැල්කෝනේහි ඇවිලෙමින් පවතින ගැඹුරු ආතතිය සංකේතවත් කරමිනි.
නගරය තුළ ඉතාලියට අනන්‍ය වූ ජනවාර්ගික සංයුතියක් ඇත: 30,000කට වැඩි ජනගහනයකින් තුනෙන් එකක් පමණ විදේශිකයන් ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් 1990 ගණන්වල අග භාගයේදී යෝධ මගී-නැව් තැනීමට පැමිණ සිටින බංගලාදේශ මුස්ලිම්වරුන් ය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එහි ප්‍රතිඵලයක් ලෙස උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයට අයත් නගරාධිපතිනි ඇනා මරියා සිසින්ට් පවසන පරිදි මොන්ෆැල්කෝනේහි සංස්කෘතිකමය සාරය අනතුරට ලක්ව තිබේ.
සංක්‍රමණ විරෝධී ආකල්ප මත ඇය බලයට පත් වූ අතර - ඇගේ නගරය සහ ක්‍රිස්තියානි සාරධර්ම "ආරක්ෂා කිරීම" සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.
"අපේ ඉතිහාසය මකා දමමින් තිබෙනවා," ඇය මා සමග පැවසුවා ය. "හරියට ඒක කිසි ම ඵලක් නැති දෙයක් වගේ. හැම දෙයක් ම නරක අතට වෙනස් වෙනවා."
මොන්ෆැල්කෝනේහි, බටහිර ඇඳුමින් සැරසුණු ඉතාලි ජාතිකයන් ෂල්වාර් කමීස් සහ හිජාබ් පැළඳ සිටින බංග්ලාදේශ ජාතිකයන් සමග මුසු වෙති. බංගලාදේශ අවන්හල්, හලාල් වෙළෙඳසල් සහ බොහෝවිට දකුණු ආසියානු ප්‍රජාව විසින් භාවිතයට ගනු ලබන පාපැදි මාර්ග ජාලයක් එහි තිබේ.
සිසින්ට් සිය ධුර කාල දෙකේදී බංග්ලාදේශ ජාතිකයන් අසුන් ගැනීමට භාවිත කළ නගර චතුරශ්‍රයේ බංකු ඉවත් කළ අතර, මුහුදු වෙරළේ මුස්ලිම් කාන්තාවන් අඳින ඇඳුමට එරෙහිව හඬ ගැසුවා ය.
"මෙතැන ඉස්ලාමීය මූලධර්මවාදයේ ඉතා ප්‍රබල ක්‍රියාවලියක් තියෙනවා," ඇය පවසන පරිදි, "කාන්තාවන්ට ඉතා නරක ලෙස සලකන සහ පිරිමින් විසින් පීඩාවට පත් කරනු ලබන සංස්කෘතියක්."

මුස්ලිම්වරුන් පිළිබඳ ඇයගේ අදහස් නිසා නගරාධිපතිනියට මරණ තර්ජන එල්ල වී ඇත - ඇය දැන් පැය 24 පුරා පොලිස් ආරක්ෂාව යටතේ සිටින්නේ එබැවිනි.
මියා බප්පි සහ ඔහුගේ මිතුරු ක්‍රිකට් ක්‍රීඩකයින් ඉතාලියට ගොස් ඇත්තේ, ෆින්කන්ටියරි නෞකා අංගනයේ නැව් සැකසීම සඳහා ය. ෆින්කන්ටියරි යනු යුරෝපයේ විශාලතම නෞකා අංගනය වන අතර, ලෝකයේ විශාලතම ඒවා අතරින් එකකි.
වෙළෙඳපළ මට්ටමට වඩා අඩු වැටුප් ගෙවීම - බොහෝවිට විදේශීය සේවකයින්ට - සම්බන්ධයෙන් නගරාධිපතිනිය එම සමාගමට චෝදනා කරයි. එහි වැටුප් ඉතා අඩු මට්ටමක පවතින බවට තර්ක කරමින් කිසිදු ඉතාලි ජාතිකයෙකු එහි සේවය කිරීමට කැමති නොවනු ඇත.
කෙසේ වෙතත්, නෞකා අංගනයේ අධ්යක්ෂ ක්‍රිස්ටියානෝ බසාරා අවධාරණය කළේ, සමාගම ඉතාලි නීතියට අනුකූලව සමාගම සේවකයින්ට වැටුප් ගෙවන බව ය.
"අපට පුහුණු සේවකයො හොයා ගන්න බැහැ. යුරෝපා රටවලින් නැව් අංගනයක වැඩ කරන්න කැමති තරුණ අය හොයා ගන්න එක ගොඩක් අමාරු යි," ඔහු මට පවසයි.
ඉතාලිය යුරෝපයේ අඩු ම ළදරු උපත් අනුපාතයක් සහිත රටකි. පසුගිය වසරේදී ඉතාලිය තුළ උපත ලැබුවේ, දරුවන් 379,000ක් පමණි. එහි සාමාන්‍යය එක් කාන්තාවකට දරුවන් 1.2කි.
ඉතාලිය කම්කරු හිඟයකට ද මුහුණ දී සිටින අතර, පර්යේෂකයින් ඇස්තමේන්තු කර ඇත්තේ, ශ්‍රම බලකාය අඩු වෙමින් පැවතීම නිසා 2050 වසර වන තෙක් ඉතාලියට විදේශීය ශ්‍රමිකයින් 280,000ක් පමණ අවශ්‍ය වනු ඇති බවට ය.

ඉතාලියේ උග්‍ර දක්ෂිණාංශික Brothers of Italy පක්ෂයට නායකත්වය දෙන ඉතාලියේ අගමැති ජෝර්ජියා මෙලනි, විදේශිකයින්ගේ සංක්‍රමණ අඩු කිරීමට අවශ්‍ය බව කලින් පැවසුව ද යුරෝපා සංගමයට අයත් නොවන රටවල කම්කරුවන් සඳහා නිකුත් කරන බලපත්‍ර සංඛ්‍යාව වැඩි කර තිබේ.
එහෙත්, ඇනා මරියා සිසින්ට් තරයේ විශ්වාස කරන්නේ, බංගලාදේශ මුස්ලිම් ප්‍රජාවගේ ජීවන රටාව ස්වදේශික ඉතාලි ජාතිකයින්ගේ ජීවිත සමග "නොගැලපෙන" බව ය.
මොන්ෆැල්කෝනේහි, නගරාධිපතිනිය නගරයේ පිහිටි ඉස්ලාමීය මධ්‍යස්ථාන දෙකෙහි සාමූහික යාඥාව තහනම් කිරීමත් සමග ආතතිය උත්සන්න විය.
"ඉස්ලාමීය මධ්‍යස්ථාන දෙකේ විශාල පිරිසක් යාච්ඤා කරන ආකාරය දැක්වෙන පුදුම හිතෙන ඡායාරූප මට එවන්න ගත්තා නගරයේ මිනිස්සු. එක් ගොඩනැගිල්ලක පමණක් මිනිස්සු 1,900ක් විතර හිටියා,” නගරාධිපතිනිය පවසයි.
"පදික වේදිකාවේ බයිසිකල් ගොඩක් නතර කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, රෑත් ඇතුළුව දවසකට පස් වතාවක් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හඬ නගා යාච්ඤා කරනවා."
නගරාධිපති සිසින්ට් පවසන්නේ, ඉන් ප්‍රදේශ වාසීන්ට අසාධාරණයක් සිදුවූ බව යි. එමෙන් ම, සාමූහික යාච්ඤාව තහනම් කිරීම නාගරික සැලසුම් රෙගුලාසි පිළිබඳ ගැටලුවක් මතු කරන බවට ඇතැමෙක් තර්ක කරති. ඉස්ලාමීය මධ්‍යස්ථාන ආගමික නමස්කාරය සඳහා නම් කර නොමැති අතර ඒවා සැපයීම තම කාර්යය නොවන බව ඇය පවසයි.
ඉතාලි නීතිය යටතේ නිල තත්ත්වයේ ආගම් ලෙස පිළිගැනෙන ආගම් 13 අතර ඉස්ලාම් ධර්මය අයත් නොවේ. ඒ අනුව, නමස්කාරය සඳහා ස්ථාන ඉදිකිරීම ව්‍යාකූලත්වයට පත්ව තිබේ.
මොන්ෆැල්කෝනේහි වෙසෙන බංගලාදේශ ජාතිකයින් පවසන්නේ, නගරාධිපතිනියගේ තීරණය මුස්ලම් ප්‍රජාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ය.
"නගරාධිපතිවරිය සිතන්නේ බෙංගාලි ජාතිකයන් ඉතාලිය ඉස්ලාමීයකරණය කිරීමට උත්සහ කරනවා කියලා - ඒත් අපි අපේ පාඩුවේ ඉන්නේ,” 19 හැවිරිදි මෙහෙලි පවසයි. ඇය මුලින් බංග්ලාදේශයේ ඩකාහි වාසය කර ඇති නමුත් ඉතාලියේ හැදී වැඩුණු අතර බටහිර ඇඳුම් අඳින අතර චතුර ලෙස ඉතාලි භාෂාව කතා කරන්නියකි.
සිය බෙංගාලි උරුමය නිසා තමාට මාර්ගයේදී හිරිහැර කළ බව ඇය පවසයි.
මේ වසරේදී තමන්ට ඉතාලි විදේශ ගමන් බලපත්‍රය හිමි වනු ඇතැයි මියා බප්පි බලාපොරොත්තුවෙන් පසු වෙයි. එහෙත්, තවදුරටත් මොන්ෆල්කෝනේ නගරයේ ජීවිත වන්නේ ද යන්න පිළිබඳව ඔහුට විශ්වාසයක් නැත.
"අපෙන් කිසි ම කරදරයක් වෙන්නෙ නෑ. අපි බදු ගෙවනවා. ඒත් ඔවුන් කැමති නෑ අපි මෙහෙ ඉන්නවාට," ඔහු පවසයි.
ඉතාලියේ උපත ලැබූවන්ගේ ජීවන රටාව සමග බංගලාදේශ ප්‍රජාවගේ ජීවන රටාව "නොගැලපෙන" බව නගරාධිපතිනිය විශ්වාස කරයි.
එහෙත්, මියා බප්පි පෙන්වා දෙන්නේ, ඔවුන් සියලු දෙනා ම හෙට සිය මව්බිමට ගියහොත්, "නැව් අංගනයේ එක් නැවක් තැනීමට වසර පහක්වත් ගත වනු ඇති," බව ය.
ගිම්හාන සමයේදී ප්‍රාදේශීය අධිකරණයක් ඉස්ලාමීය මධ්‍යස්ථාන දෙකට පක්ෂව තීන්දුවක් දුන් අතර සාමූහික යාච්ඤාව තහනම් කරමින් නිකුත් කළ නගර සභාවේ නියෝගය අවලංගු කළේ ය.
එහෙත්, මොන්ෆල්කෝනේ නගරාධිපතිනිය ඉතාලියෙන් ඔබ්බට යමින් "යුරෝපය තළ ඉස්ලාමීයකරණය" ලෙස හඳුන්වන දෙයට එරෙහිව සිය ව්‍යාපාරය දිගට ම කරගෙන යාමට පොරොන්දු වී ඇත.
ඇය දැන් යුරෝපීය පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර නුදුරේදී ම ඇයගේ පණිවුඩය බ්‍රසල්ස් වෙත ගෙන යාමට අවස්ථාවක් හිමි වනු ඇත.
අතිරේක වාර්තාකරණය - බොබ් හවර්ඩ්














