විශිෂ්ටත්වයේ සිට පරිහානිය දක්වා: ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් ආධිපත්‍යයේ වැටීම

Nathan Lyon celebrates after trapping Mohammed Siraj lbw as Australia won the match during day five of the Men's Fourth Test Match in the series between Australia and India at Melbourne Cricket Ground on December 30, 2024 in Melbourne, Australia.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව පරාජය වීමත් සමග බෝඩර්-ගවස්කාර් කුසලානයේ දශකයක් පුරා පැවති ඔවුන්ගේ ආධිපත්‍යය අවසන් විය.
    • Author, අයාස් මේමන්
    • Role, ක්‍රිකට් ලේඛක

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-3ක් ලෙසින් ඉන්දීය කණ්ඩායම ලැබූ දරුණු පරාජයෙන් ඉන්දීය ක්‍රිකට් ලෝලීහු තවමත් පසුබෑමකට ලක්ව සිටිති.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද ඓතිහාසික ජයග්‍රහණ සමඟින් බෝඩර්-ගවස්කාර් කුසලානයේ ආධිපත්‍යය දැරූ ඉන්දීය කණ්ඩායම, කිසි විටෙක පරාජය කළ නොහැකි ලෙස සැලකූ කණ්ඩායමේ දුර්වලතා හෙළිදරව් කරමින් කඩා වැටීමකට ලක්විය.

මෙම තරගාවලියේදී කැපී පෙනෙන ගැටළු කිහිපයක් මතු විය. ඉන්දියානු පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය සහ ඕස්ට්‍රේලියාවට හිසරදරයක් වූ එකම ඉන්දීය පන්දු යවන්නා වූයේ ජස්ප්‍රිත් බුම්රා පමණක් වීම ඊට අයත් වේ.

මෙම පරාජයෙන් ඉන්දියාවට බෝඩර් - ගවස්කාර් කුසලානය පමණක් නොව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය ද අහිමි විය. ඉන්දියාව 2021 සහ 2023 යන වසරවල පැවති ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහ තරගවලදී අඛණ්ඩව නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් විය.

ඉන්දියාවේ මෑතකාලීන දක්ෂතාවයන් කනස්සල්ලට කරුණකි. එම කණ්ඩායම ඔවුන්ගේ අවසන් ටෙස්ට් තරග අටෙන් හයක්ම පරාජයට පත්වී ඇත. ඒ, නවසීලන්තයට එරෙහිව තමන්ගේ රටේදීම තරග 3-0ක් ලෙස ලද දරුණු තරගාවලි පරාජයක් ද සමගයි.

මෙම පරාජයන් සමග කණ්ඩායමේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන මෙන්ම නායක රෝහිත් ෂර්මා සහ හිටපු නායක විරාට් කෝලි වැනි ප්‍රධාන ක්‍රීඩකයින්ගේ ඉදිරි අනාගතය සහ ඔවුන්ට නැවත යථා තත්ත්වයට පත්වීමේ හැකියාව ඇත් ද යන්න පිළිබඳව ද ප්‍රශ්න මතුව තිබේ.

ප්‍රධාන ක්‍රීඩකයින්ගේ විශ්‍රාම යෑමත් සමග සංක්‍රාන්ති සමයකට මුහුණ දී සිටින ඉන්දීය කණ්ඩායම වේගයෙන් වෙනස් වන පසුබිමක තම ගෞරවය රැක ගැනීම සඳහා දැඩි අභියෝගයකට මුහුණ දී සිටියි.

Indian batsman Rohit Sharma is hit by the ball on the second day of the second Test cricket match between Australia and India at the Adelaide Oval in Adelaide on December 7, 2024.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහිත් ෂර්මාට ටෙස්ට් තරග තුනකදී ලබාගත හැකිවූයේ ලකුණු 31ක් පමණි

ඉන්දියාවේ මීළඟ අභියෝගය වන්නේ ජූලි මාසයේ එංගලන්තයේදී ආරම්භ වන ටෙස්ට් තරග පහකින් සමන්විත තරගාවලියකි. ක්‍රීඩකයන්ගේ තාක්‍ෂණය, කුසලතා සහ එංගලන්තයේ අනපේක්ෂිත තත්ත්වයන් කෙරෙහි අනුවර්තනය වීම උපරිම සීමාව දක්වා ඔවුන් යොමු කරනු ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන්දියාව 2007 වසරෙන් පසු එංගලන්තයේදී ටෙස්ට් තරගමාලාවක් ජයගෙන නැත. ඊට පෙර 1971 සහ 1986 වසරවලදී ජයග්‍රහණ දෙකක් පමණක් ඉන්දියාව වාර්තා කිරීමට සමත්ව තිබීමෙන් ඔවුන් හමුවේ ඇති අභියෝගය තවත් පැහැදිලි වේ.

නවසීලන්තයට සහ ඔස්ට්‍රේලියාවට මෑත කාලීන පරාජයන් සමග, මෙම වැදගත් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තේරීම් සහ කණ්ඩායම් සංයෝජන සම්බන්ධයෙන් තේරීම් කමිටුවට දැඩි පීඩනයක් එක් කරයි.

රෝහිත් ෂර්මා ඔස්ට්‍රේලියාවේ පැවැති ටෙස්ට් තරග තුනක දී ලකුණු 31ක් පමණක් රැස්කළ අතර ඔහුගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් අවසන් ටෙස්ට් තරගයෙන් පවා ඔහු ඉවත් කෙරුණි. විරාට් කෝලි සිය ඉනිම් 9කදී ලකුණු 190ක් ලබාගෙන තරමක් හොඳින් ක්‍රීඩා කළ නමුත් ඉන් ලකුණු 100ක් ලැබුණේ එක් ඉනිමකදී ය. ටෙස්ට් තරගාවලිය පුරාවට කෝලි ගේ දැවී යෑම් එකම රටාවකට සිදුවිය. ඒ ඔහු කඩුල්ල පිටුපස පන්දු රකින ස්ලිප් ක්‍රීඩකයාගේ අතට උඩ පන්දුවක් ලබා දීමෙනි. පීඩනයක් යටතේ ඇතිව තිබෙන මානසික කඩා වැටීමක් හෝ පිතිකරණ තාක්ෂණයේ ඇති දෝෂයක් මෙයට හේතුව බව බොහෝ දෙනා සඳහන් කරති.

2024 ජනවාරි මාසයේ සිට එක් ශතකයක් සමගින් රෝහිත් ෂර්මා ටෙස්ට් තරග 16 කදී ලකුණු 619ක් රැස් කිරීමට සමත්ව තිබේ. සමස්තයක් වශයෙන් ගත් කළ කෝලිගේ පිතිකරණ වාර්තා ඉතා දුර්වලය. 2020 වසරේ සිට ටෙස්ට් තරගවලදී ඔහු රැස් කර ඇත්තේ ශතක දෙකක් පමණක් වන අතර පිතිකරණ සාමාන්‍යය 32ක් ලෙස සටහන් වේ.

දිගු කාලයකට පසුව තරග ජයග්‍රාහකයෙකු බවට පත්වූ රෝහිත් ෂර්මා දැන් තමන්ට සුදුසු පිතිකරණ ස්ථානය සොයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටියි. මේ අතර, දශකයක ආධිපත්‍යයෙන් පසු කෝලිගේ තියුණු පසුබෑම, ඔහුව දීර්ඝ කාලීන පසුබෑමකට ලක් කර ඇත.

Virat Kohli of India ducks a bouncer during day two of the NRMA Insurance Boxing Day Test match of Border Gavaskar trophy between Australia and India at the Melbourne Cricket Ground on December 27, 2024 in Melbourne, Australia. (P

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝලි තුළින් කැපී පෙනෙන තාක්ෂණික දෝෂයක් හෝ මානසික තෙහෙට්ටුවක් පෙන්නුම් කරයි

සුනිල් ගවස්කාර්ගේ සිට සචින් ටෙන්ඩුල්කාර් දක්වාත් ඔහුගෙන් කෝලි දක්වාත් ඉන්දීය පිතිකරණ විශිෂ්ටත්වයේ යෂ්ටිය බාධාවකින් තොරව හුවමාරු වූ නමුත් කෝලි ගෙන් පසුව ඊට සුදුසු අනුප්‍රාප්තිකයෙකු තවමත් හමුවූ බව නොපෙනෙයි.

KL රාහුල්ට දක්ෂතා ඇති නමුත් අඛණ්ඩව විශාල සහ ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා යෑමක් දක්නට නැත. රිෂාබ් පාන්ට් උද්වේගකර නමුත් තරගයක් දිනුම් සහ පරාජය යන දෙකටම හේතුවක් විය හැකි ඔහු පිළිබඳව අනාවැකි කිව නොහැක. අනාගත තරුවක් ලෙස සැලකෙන ශුබ්මන් ගිල්, පැහැදිලි ලෙස හැකියාව තිබියදීත් විදේශීය තරග බිමේදී දක්වන දුර්වල ක්‍රීඩා විලාෂය හේතුවෙන් ඔහුව ප්‍රවේශමෙන් රැකබලා ගැනීමට අවශ්‍ය වේ.

යුවරාජ් සිං ගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා කළ පන්ජාබ්හි තරුණ වමත් පිතිකරු අභිෂේක් ෂර්මා ඉහළ ඇගයීමකට ලක්ව ඇති අතර, එල්ල වූ පීඩනයත් සමගින් නවක ක්‍රීඩක නිතිෂ් කුමාර් රෙඩ්ඩි, ඕස්ට්‍රේලියාවට එරෙහි සිය මංගල තරගයේදී දැක්වූ දක්ෂතාවයන් ගැන විමතියට පත් විය.

ඔස්ට්‍රේලියාව සමග මෙම ටෙස්ට් තරගාවලියේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ඉන්දීය ක්‍රීඩකයා වන යෂස්වි ජයිස්වාල් තරුණ පිතිකරුවන් අතර කැපී පෙනෙන චරිතයක් විය. ඉවසීම, තාක්ෂණය අතින් පිරිපුන් වීම සහ වේගවත් පිති පහරවල් සමගින් ඔහු කණ්ඩායමට වාසනාව ගෙන ලෙස කෝලිගේ අනුප්‍රාප්තිකයා වීමට සූදානමින් සිටින බව පෙනෙන්නට තිබේ.

සෑම අංශයකින්ම ඉන්දියාව දක්ෂතා රාශියක් පෙන්වා ඇත. ජස්ප්‍රිට් බුම්රා ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 32ක් දවාගෙන සුපිරි වේග පන්දු යවන්නෙකු ලෙස තමාව තහවුරු කරගෙන තිබේ. මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ් සහ අනෙකුත් තරුණ ක්‍රීඩකයින්ගේ සහය ඇතිව, ඉන්දියාව සතු ප්‍රබල වේග පන්දු බල ඇණියක් ඇත.

India's Jasprit Bumrah celebrates a successful caught-behind appeal, dismissing Australia's Marnus Labuschagne on day two of the fifth Test match between Australia and India at the Sydney Cricket Ground on January 4, 2025.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දුර්ලභ දක්ෂතාවයන් ගෙන් යුක්ත දක්ෂයෙකු වන බුම්රා ප්‍රවේශමෙන් සිය කාර්ය භාරය කළමනාකරණය කිරීම අවශ්‍ය වේ

දුර්ලභ දක්ෂතාවයන් ගෙන් යුක්ත වන බුම්රා, ප්‍රවේශමෙන් කාර්යන් කළමනාකරණය කිරීම අවශ්‍ය වේ. ඕස්ට්‍රේලියානු තරගාවලියේදී මෙන් ඔහුව වැඩිපුර භාවිතා කිරීම ආබාධවලට තුඩු දිය හැකිය. දිගු පුනරුත්ථාපන කාලයකට පසු ෂාමි ද හොඳින් කළමනාකරණය කළ යුතුය. ඔවුන් ගේ එක්වීම නවීන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලම වේග පන්දු යුගලය බවට පත් කරයි.

රවිචන්ද්‍රන් අශ්වින්ගේ අනපේක්ෂිත විශ්‍රාම ගැනීමත්, ඔස්ට්‍රේලියාවේදී රවින්ද්‍ර ජඩේජාගේ දස්කම් දැක්වීම අවම වීම නිසාත්, ඉන්දියාවේ දඟ පන්දු අංශයේ දුර්වල බව පෙනේ. කෙසේවෙතත්, ගෘහස්ථ තණතීරුවලදී වොෂින්ටන් සුන්දර් බලාපොරොත්තු ඇති කර තිබෙන අතර, ඕස්ට්‍රේලියාවේදී සංචිතයට එක්වූ තරුණ දඟපන්දු යවන්නන් වන රවී බිෂ්නෝයි සහ තනුෂ් කොටියන් ටෙස්ට් කණ්ඩායමේ තම ස්ථාන සඳහා තට්ටු කරමින් සිටිති.

නවසීලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෑතකාලීනව ලැබූ පරාජයන් නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංක්‍රාන්තියක් කරා වේගයෙන් ගමන් කරයි. ජනවාරි 23 සිට නැවත ආරම්භ වන දේශීය රංජි කුසලානයේ දෙවන වටයේ සිට කණ්ඩායමට අවශ්‍ය ටෙස්ට් ක්‍රීඩකයින් කෙටි ලැයිස්තුගත කිරීමට තේරීම්කරුවන්ට යොමු කර ඇත.

තම දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට උපකාරී විය හැකි පියවරක් ලෙස රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි ඇතුළු සියලුම ක්‍රීඩකයින්ට දේශීය ක්‍රිකට් ක්‍රීඩා කරන ලෙස දැනුම් දීමට ඉඩ ඇත.

Yashasvi Jaiswal of India bats during day two of the Fifth Men's Test Match in the series between Australia and India at Sydney Cricket Ground on January 04, 2025 in Sydney, Australia.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සංක්‍රාන්ති කණ්ඩායමක් කළමනාකරණය කිරීම ඉවසීම, සංවේදනය සහ පැහැදිලි දැක්මක් අවශ්‍ය වන සංකීර්ණ අභියෝග මතු කරයි. දණහිස් දුර්වල වන ප්‍රතිචාරයන් හෝ බාහිර පීඩනය විසඳුම් ලබා දෙනවා වෙනුවට තත්වය නරක අතට හැරවිය හැක.

රෝහිත් ෂර්මාට සහ විරාට් කෝලිට ඔවුන්ගේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වේද යන්න තවමත් කිව නොහැකි වුවත්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වටා පවතින වත්මන් අඳුරු සෙවණැල්ල ඉවත් කිරීමට ඉන්දියාවට දක්ෂතා රැසක් අවශ්‍ය වේ.

2011දී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලි වල දී ඉන්දියාව 4-0 ක් ලෙස පරාජයට පත්වූ බව සිහිපත් කිරීම වටියි. එම අවස්ථාවේදී ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව දරුණු ලෙස පහත වැටී ඇති බවක් පෙනෙන්නට තිබුණි.

එහෙත්, මාස කිහිපයක් ඇතුළත, කෝලි, ෂර්මා, චෙටේෂ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ, ජඩේජා, අශ්වින් සහ තවත් තරුණ දක්ෂයින්ගේ නායකත්වයෙන් යුත් නැගිටීම සමග ඉන්දියාව සියලුම තරග කාණ්ඩ වල ඉහළම කණ්ඩායම බවට පත්වුයේ දශකයකට ආසන්න කාලයක් එම ස්ථානය ආරක්ෂා කර ගනිමින් ය.