මංගල ටෙස්ට් තරගයේදී ඉන්දියාවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ යොවුන් පිතිකරු

 Sam Konstas raising his bat after hitting a half-century

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2011 වසරේ වත්මන් නායක පැට් කමින්ස්ට පසුව ඕස්ට්‍රේලියාවේ ලාබාලතම ටෙස්ට් ක්‍රීඩකයා වන්නේ සෑම් කොන්ස්ටස් ය
    • Author, ටොම් මැලෝස්
    • Role, බීබීසී ක්‍රීඩා මාධ්‍යවේදී

යොවුන් වියේ පසුවන සෑම් කොන්ස්ටස් ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත්තේය.

19 හැවිරිදි මෙම ආරම්භක පිතිකරු, 1953 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ ලාබාලතම ටෙස්ට් පිතිකරු ලෙස අද ටෙස්ට් වරම් ලැබීය. ඔහු පන්දු 65 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් වේගවත් ලකුණු 60 ක් රැස් කළේය.

රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යාමට පෙර කොන්ස්ටස්, විරාත් කෝලි සමඟ උණුසුම් ගැටුමකට ද සම්බන්ධ විය.

සෙසු ආරම්භක පිතිකරුවා වූ උස්මාන් ඛවාජා දිවා ආහාරයෙන් පසු ලකුණු 57කට දැවී ගියේ, ඉනිම 12කදී සිය පළමු අර්ධ ශතකය ලබා ගනිමිනි.

පසුව මාර්නස් ලබුෂේන් සහ ස්ටීව් ස්මිත් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 83ක සබඳතාවක් ගොඩනැගූ අතර, සවස් කාලයේ දී ඔස්ට්‍රේලියාව සිය වාසිය අත්කර ගත්තේය.

එහෙත් ලකුණු 72කට ලබුෂේන් දැවී යාමත් සමඟ ලකුණු 9කට ඔස්ට්‍රේලියාවේ කඩුලු 3ක් දැවී ගිය අතර බුම්රා විසින් ට්‍රැවිස් හෙඩ් සහ මිචෙල් මාෂ්ව ඉක්මනින්ම දවා ගැනීමට සමත් විය.

සාම්ප්‍රදායික බොක්සිං දින (දෙසැම්බර් 26 වැනිදා) ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 87,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් MCG ක්‍රීඩාංගණය වෙත රැස්ව සිටියහ, වළාකුළු පිරි අහසක් යටතේ තරගය පැවති නමුත් අංශක 39 ට ආසන්න උෂ්ණත්වයක් යටතේ තරගය පැවැත්විණි.

තරග පහකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් දෙපිල ම තරගාවලිය 3-1ක් ලෙස ජයගත යුතුව තිබේ.

කොන්ස්ටස්ගේ නිර්භය ඉනිම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොන්ස්ටස් පළමු පෙළ තරග 11කට පමණක් ක්‍රීඩා කර ඇති සහ 2023දී නිව් සවුත් වේල්ස් වෙනුවෙන් සිය මංගල තරගයට ඔහු සහභාගි වන විට 18 වැනි උපන්දිනය පසුවී මාස දෙකකටත් අඩු කාලයක් ගතව තිබිණි.

නායක පැට් කමින්ස් කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව කෙලින්ම පිටියට පිවිසි කොන්ස්ටස් තරගය ආරම්භයේදීම බුම්රා සමඟ සිත් ඇදගන්නාසුළු සටනක නිරත විය.

බුම්රාගේ පන්දුවකට ඔහු එල්ල කළ 6 පහර මෙල්බර්න් ප්‍රේක්ෂකයින්ගේ සතුටට හේතු විය.

කිසිදු බියක් හා චකිතයකින් තොරව පන්දුවට පහර දුන් කොන්ස්ටාස් මොහොමඩ් සිරාජ්ගේ පන්දුවලට ද හොඳින් ලකුණු රැස් කිරීමට සමත් විය.

10 වැනි පන්දුවාරය අවසානයේ හිටපු ඉන්දීය නායක කෝලි, කොන්ස්ටස්ගේ උරහිසේ ගැටුණු අතර, එහිදී ක්‍රීඩකයන් අතර වචන හුවමාරුවක් සිදුවනු දක්නට ලැබුණු අතර විනිසුරුවන් දෙදෙනා තත්ත්වය සමනය කළහ.

කොන්ස්ටස් නොකැළඹී, ඊළඟ ඕවරයේදී බුම්රාට සහ සිරාජ්ට සාර්ථකව මුහුණ දෙමින් සිය මංගල අර්ධ ශතකය රැසක් කර ගැනීමට සමත්විය.

සිදුවීම් මාලාවක් සහිත මිනිත්තු 90ක ඔහුගේ ඉනිම ජඩේජාගේ පන්දුවක් හමුවේ නිමාවට පත් වූ නමුත් ඔහු පිටියෙන් ඉවත්ව ගියේ ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගකර පිළිගැනීමක් සමගින්ය.

මෙහිදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම හේතුවෙන් විරාත් කෝලිට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් ප්‍රදානය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම හේතුවෙන් විරාත් කෝලිට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් ප්‍රදානය කර ඇත

කෝලිට දඬුවමක්

සිය අනෙක් ආරම්භක පිතිකරු වන ඛවාජා සමඟ කතා කිරීමට පිටියේ ඇවිදිමින් සිටි කොන්ස්ටාස් සමඟ ගැටීමක් ඇති කර ගැනීම සඳහා කෝලි දිශාව වෙනස් කරමින් ගමන් ගන්නා බවක් පෙනෙන්නට තිබුණි.

සෙවන් නෙට්වර්ක් වෙත අදහස් දක්වමින් හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් පවසන්නේ මෙම සිද්ධියට කෝලිට වගකිව යුතු බවයි.

" [කෝලිට] පිළිතුරු දෙන්න වෙන ප්‍රශ්න කිහිපයක් තිබිය හැකිය," පොන්ටින් පැවසීය.

"ඔබ පන්දුවට පහර දෙමින් සිටින විට, පිතිකරුවාට තමා කඩුල්ල අයිති. ක්‍රීස් එක ඔහුගේ. විශේෂයෙන්ම ඒ වගේ ඕවර අතර."

"නුසුදුසු කායික ගැටීම්" ප්‍රමාණවත් තරම් බරපතල ලෙස සලකනු ලැබුවහොත් " ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ක්‍රීඩකයින්ට තරග අත්හිටුවිය හැකි අතර මෙම ක්‍රීඩකයින් ඉදිරි ක්‍රියාමාර්ගවලට මුහුණ දෙනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නොමැත.

මෙහිදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම හේතුවෙන් විරාත් කෝලිට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් ප්‍රදානය කර ඇත.