දඟ පන්දු ක්‍රීඩක අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Ravichandra Ashwin

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 3

ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගෙන තිබේ.

ටෙස්ට් ඉතිහාසයේ හත්වන වැඩිම කඩුලු ලාභියා වන 38 හැවිරිදි අශ්වින්, ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන්හි පැවති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසුව මේ බව නිවේදනය කළේය.

මෙම තරගය ක්‍රීඩා නොකළ අශ්වින්, වසර 14 ක ඉන්දීය ක්‍රිකට් දිවිය තුළ නූතන ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු ලෙස පුළුල් ලෙස පිළිගැනීමට ලක්වන ක්‍රීඩකයෙකු වේ.

අශ්වින් ටෙස්ට් තරග 106කදී කඩුලු 537ක් දවා ගනු ලැබූ අතර එහිදී ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 24ක් විය. එය දෙවැනි වන්නේ ඉන්දීය පන්දු යවන්නන් අතර අනිල් කුම්බ්ලේ දවා ගත් කඩුලු 619ට පමණි.

ඔහු ශතක හයක් ද වාර්තා කර ඇති අතර පිතිකරණ සාමාන්‍ය 25.75 ක් විය.

"ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර මට්ටමේ සියලුම අංශවල මගේ අවසාන දිනය අද වනවා," අශ්වින් ගැබා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

"ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මා තුළ කුඩා ශක්තියක් ඉතිරිව ඇති බව මට හැඟෙනවා, නමුත් මම එය ක්‍රීඩා සමාජ තරග වලදී ප්‍රදර්ශනය කිරීමට කැමතියි."

අශ්වින් එක්දින ජාත්‍යන්තර තරග 116කදී පන්දු යැවීමේ සාමාන්‍ය 33.20 බැගින් කඩුලු 156ක් ද, විස්සයි20 තරග 65කදී සාමාන්‍ය 23.22ක් ලෙස කඩුලු 72ක් ද දවා ගෙන ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තරග දෙකකට පමණක් ක්‍රීඩා කලද ඔහු 2011 වසරේ ඉන්දියාවේ පැවැති ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

ටෙස්ට් තරගවලදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහු පිළිබඳ මතකය පවතිනු ඇති අතර අවස්ථා 37 කදී ඔහු කඩුලු 5 බැගින් දවාගනු ලැබිය. ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පසුව එම දස්කම දැක්වූ දෙවැනි පන්දු යවන්නා වන්නේ අශ්වින් වේ.

මෙම වසරේ තරග 4-1 ක් ලෙස එංගලන්තයට එරෙහිව ඉන්දියාවේදී ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයය ද සමග පසුගිය තරගාවලි තුනේදීම වැඩිම කඩුලු ලාභියා වූයේ අශ්වින් ය.

නායක රෝහිත් ෂර්මා පැවසුවේ අශ්වින් ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර විශ්‍රාම ගැනීමට සිතා සිටි නමුත් ඉදිරියටත් ක්‍රීඩා කරන්නැයි ඔහුට තමන් පෙරැත්ත කල බවයි.

අශ්වින් පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කොට තිබු අතර දෙවැනි තරගයේදී එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට සමත් විය.

"ඔහුට කිරීමට අවශ්‍ය දේ ගැන ඔහු ඉතා විශ්වාසයෙන් සිටින අතර කණ්ඩායම සැමවිටම ඔහුගේ තීරණයට සහය දක්වනවා," රෝහිත් පැවසීය.

" ඔහු ඉන්දීය කණ්ඩායම සමඟ ජයග්‍රහණ රැසක කොටස්කරුවෙක් වී සිට අතර ඔහු අපට සිටිය තරග දිනවන්නෙක්.''

"මේ තීරණය ගැනීමට ඔහුට අවසර තිබෙනවා, ඔහුගේ කැමැත්ත එය නම්, එය එසේම වේවා."

' ඔහු සැමදාම විශිෂ්ඨයෙක්'

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ප්‍රකාශ කළේ අශ්වින් "සදාකාලික විශිෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු ලෙස සිටිනු ඇති" බවයි.

"ඔහු පැහැදිලිවම ලෝකයේ සිටින අපූරු ක්‍රීඩකයෙක්," කමින්ස් පැවසීය. "එතරම් දිගු කාලයක් දඟ පන්දු යවන්නන් සිටින්නේ නැති තරම්.''

"ඔහුගේ වෘත්තිය ගමන ගැන අපේ ක්‍රීඩා විවේකාගාරයේ විශාල ගෞරවයක් තිබෙනවා."

අශ්වින් සමඟ ක්‍රීඩා කළ ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර් සිය X ගිණුමේ මෙසේ ලිවීය: "ඔබ තරුණ පන්දු යවන්නෙකුගේ සිට ක්‍රිකට් පුරාවෘත්තයක් දක්වා වර්ධනය වන ආකාරය නැරඹීම මම කිසිම දෙයකට හුවමාරු නොකරන වටිනාකමක්."

"මම දන්නවා, මම පන්දු යවන්නෙක් වුණේ අශ්වින් නිසා කියලා ඉදිරියේදී එන පන්දු යවන්නන්ගේ පරම්පරාවල් පවසනු ඇති බව''