ඉන්දීය ලේඛිකා බානු මුෂ්ටාක් බුකර් ත්‍යාගය දිනා ගනිමින් ඉතිහාසය අලුත් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, චෙරිලන් මෝලන්
- Role, බීබීසී පුවත්, මුම්බායි සිට
ඉන්දියානු ලේඛිකාවක, නීතිඥවරියක සහ ක්‍රියාකාරිනියක වන බානු මුෂ්ටාක් ඇගේ කෙටිකතා සංග්‍රහය වන "Heart Lamp" ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගැනීමත් සමග එම ජයග්‍රහණය ලැබූ පළමු කන්නඩ ලේඛිකාව ලෙස ඉතිහාසයට එක්විය.
එය එම වටිනා ත්‍යාගය දිනාගත් පළමු කෙටිකතා එකතුවයි. විනිසුරුවරු ඇගේ කතාවල චරිතවල "පැවැත්මේ සහ ඔරොත්තු දීමේ හැකියාවේ විශ්මයජනක ප්‍රතිමූර්තියක්" ලෙස වර්ණනා කළහ.
1990 සිට 2023 දක්වා කාලය තුළ මුෂ්ටාක් විසින් රචනා කරනු ලැබ ඇති කෙටිකතා 12ක් ඇතුළත් Heart Lamp, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා ළගන්නා ලෙස ග්‍රහණය කරගෙන තිබේ.
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ භාවිත වන කන්නඩ භාෂාවෙන් පළවූ මෙම කතා තෝරාගෙන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද දීපා භාස්ති සහ මුෂ්ටාක් ඒ අනුව පවුම් 50,000ක වටිනා බුකර් ත්‍යාගයට හිමිකම් කියනු ඇත.
ත්‍යාගය ලබා ගැනීමෙන් පසු සිදුකළ කතාවේදී, මුෂ්ටාක් ඇගේ වචන සිය හදවත්වලට සමීප කර ගැනීම සම්බන්ධයෙන් පාඨකයින්ට ස්තූති කළා ය.
"මේ පොත බිහි වෙන්නේ කිසි ම කතාවක් පුංචි නෑ කියන විශ්වාසයෙන්; විචිත්‍ර මිනිස් අත්දැකීම් කියන මේ ගෙත්තමේ, හැම නූලක් ම එක හා සමානව වැදගත්.
"හැමතිස්සෙ ම අපිව බෙදලා තියන්න උත්සහ කරන ලෝකයක, සාහිත්‍යය කියන්නේ පිටු කිහිපයකින් පමණක් එකිනෙකාගේ මනස තුළ ජීවත් වෙන්න පුළුවන් අවසාන පූජනීය අවකාශයන්ගෙන් එකක්," ඇය තවදුරටත් පැවසුවා ය.
ජාත්‍යන්තර බුකර් ත්‍යාගයක් දිනාගත් පළමු ඉන්දියානු පරිවර්තිකාව බවට පත්වූ භාස්ති පැවසුවේ, මෙම ජයග්‍රහණය කන්නඩ සහ අනෙකුත් දකුණු ආසියානු භාෂාවලින් සහ ඒවාට කෘති පරිවර්තනය වීම වැඩි වැඩියෙන් සිදුවීමට දිරිමත් කිරීමක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ය.
මුෂ්ටාක් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ, ඩේසි රොක්වෙල් විසින් පරිවර්තනය කරන ලද හින්දි භාෂාවෙන් පළවූ ගීතාංජලී ශ්‍රීගේ "Tomb of Sand" කෘතිය 2022 වසරේදී බුකර් ත්‍යාගය දිනා ගැනීමෙන් පසුව ය.
ඇගේ කෘතීන් පොත් කියවන්නන් අතර ජනප්‍රිය වුවත්, බුකර් ජාත්‍යන්තර ජයග්‍රහණය ඇගේ ජීවිතය හා සාහිත්‍ය කෘති වෙත විශාල අවධානයක් යොමු කරවා ඇත. ඇගේ කතාවල, ආගමික ගතානුගතිකත්වය සහ ගැඹුරු පීතෘමූලික සමාජයක් හේතුවෙන් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන බොහෝ අභියෝග පිළිබිඹු කරයි.
මුෂ්ටාක්ට වඩාත් සියුම් චරිත සහ කතා වස්තු නිර්මාණය කිරීමට උපකාරී වී ඇත්තේ මෙම ස්වයං දැනුවත්භාවය විය හැකි ය.
"ආකර්ෂණීය කතා වස්තූන් ඇති කෘති බොහෝ විට සම්මානයට පාත්‍ර වන ලෝකයක, බානු මුෂ්ටාක් විසින් රචිත Heart Lamp, එදිනෙදා අරගලවල නිරත සහ නොසලකා හරින ලද ජීවිත කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කරනවා. ඒක තමයි මුෂ්ටාක්ගේ ශක්තිය," යැයි මෙම කෘතිය ගැන ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පළ වූ විචාරයක සඳහන් වෙයි.
බානු මුෂ්ටාක් යනු කවු ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මුෂ්ටාක් දකුණු කර්ණාටක ප්‍රාන්තයේ කුඩා නගරයක මුස්ලිම් ප්‍රදේශයක හැදී වැඩුණු අතර ඇය, ඇය වටා සිටි බොහෝ ගැහැනු දරුවන් මෙන් පාසලේදී උර්දු භාෂාවෙන් කුරානය හැදෑරුවා ය.
නමුත් රජයේ සේවකයෙකු වූ ඇගේ පියා ඇයට තවත් ඉගැන්වීමට අවශ්‍ය වූයෙන්, වයස අවුරුදු අටේදී ඇයව කන්‍යාරාම පාසලකට ඇතුළත් කෙරිණි. එහි ඉගැන්වීමේ කටයුතු සිදුවූ භාෂා මාධ්‍ය ප්‍රාන්තයේ නිල භාෂාව වූ කන්නඩ විය.
මුෂ්ටාක් කන්නඩ භාෂාව චතුර ලෙස හැසිරවීමට ඉගෙනීමට මහත් වෙහෙසක් දැරුව ද, මෙම අන්‍ය භාෂාව පසුව ඇගේ සාහිත්‍ය ප්‍රකාශනය සඳහා තෝරාගත් භාෂාව බවට පත්විය.
ඇය පාසල් යන කාලයේ ම ලිවීමට පටන් ගත් අතර ඇගේ සම වයසේ මිතුරියන් විවාහ වී දරුවන් ඇති දැඩි කරමින් සිටියදී පවා ඇය විශ්වවිද්‍යාලයට යාමට තෝරා ගත්තා ය.
මුෂ්ටාක්ට සිය කතා ප්‍රකාශයට පත් කිරීමට වසර කිහිපයක් ගත වූ අතර එය ඇගේ ජීවිතයේ විශේෂයෙන් අභියෝගාත්මක අවධියක සිදු විය.
ඇගේ කෙටිකතාවක් දේශීය සඟරාවක පළවූයේ වයස අවුරුදු 26දී ඇය විසින් තෝරාගනු ලැබූ පිරිමියෙකු සමග විවාහ වී වසරකට පසුවය. ඇගේ විවාහ ජීවිතයේ මුල් කාලය ගැටුම් සහ ආරවුල් පැවති කාලයක් විය. එය සම්මුඛ්‍ය සාකච්ඡාවලදී විවෘතව කතා කළ දෙයක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මට හැමතිස්සෙ ම ලියන්න ඕනේ වුණත් ලියන්න දෙයක් තිබුණේ නෑ, මොකද හදිසියේ ම, ආදරයක පැටලිලා විවාහ වුණාට පස්සේ, බුර්කාවක් ඇඳගෙන ගෙදර වැඩ සඳහා මට කැපවෙන්න සිද්ධ වුණා. මම වයස අවුරුදු 29දී පසු ප්‍රසව විශාදයෙන් පෙළෙන මවක් වුණා," යැයි ඇය වෝග් සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා ය.
The Week සඟරාවට ලබා දුන් තවත් සම්මුඛ සාකච්ඡාවකදී, නිවසේ බිත්ති හතරට කොටු වී ජීවිතය ගත කිරීමට සිදු වූ ආකාරය ගැන ඇය පැවසුවා ය.
දරාගත නොහැකි පීඩනය පුපුරා ගොස් සිදු වූ කම්පනසහගත ක්‍රියාවකින් පසුව ඇය නිදහස් වූවා ය.
"එක සැරයක් බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට ඇවිල්ලා මම ගිනි තියා ගන්න හිතලා මගේ ඇඟට පෙට්‍රල් වක් කර ගත්තා. වාසනාවකට වගේ, එයා [සැමියා] ඒක දැකලා මාව වැළඳගෙන, ගිනි පෙට්ටිය මගෙන් අයින් කළා. අපේ දරුවා මගේ කකුල් දෙක ගාව තියලා එයා මගෙන් ආයාචනා කළේ, 'අපිව අතරමං කරලා යන්න එපා' කියලා," ඇය සඟරාවට පැවසුවා ය.
බානු මුෂ්ටාක් ලියන්නේ කුමක් ගැන ද?
දශක ගණනාවක කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ, ඇය කෙටිකතා එකතු හයක්, රචනා එකතුවක් සහ නවකතාවක් ඇතුළුව කෘති රාශියක් ප්‍රකාශයට පත් කර ඇත.
නමුත් ඇගේ තියුණු ලිවීමේ ශෛලිය නිසා ඇය වෛරයේ ඉලක්කයක් බවට පත්ව තිබේ.
ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය, 2000 වසරේදී කාන්තාවන්ට මුස්ලිම් පල්ලිවල යාච්ඥා කිරීමේ අයිතියට සහය දක්වමින් තම මතය ප්‍රකාශ කිරීමෙන් පසු තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබුණු ආකාරය ගැන කතා කළා ය.
ඇයට එරෙහිව ඉස්ලාමීය නීතියට අනුව නීතිමය තීන්දුවක් වන ෆට්වා නියෝගයක් නිකුත් කරන ලද අතර, පුද්ගලයෙකු ඇයට පිහි පහරක් එල්ල කිරීමට පවා තැත් කළ අතර එය ඇයගේ සැමියා විසින් වළක්වනු ලැබිණි.
නමුත් දැඩි අවංකභාවයෙන් ලිවීම දිගට ම කරගෙන ගිය මුෂ්ටාක්ව මෙම සිදුවීම්වලින් කලබලයට පත් කිරීමට නොහැකි විය.
"මම හැමතිස්සෙ ම අතිශය ජාතිවාදී ආගමික අදහස්වලට අභියෝග කරලා තියෙනවා. මෙම කරුණු තවමත් මගේ ලිවීමට මූලික වෙනවා. සමාජය ගොඩක් වෙනස් වෙලා තිබුණත්, මූලික කරුණු ඒ විදිහට ම තියෙනවා. සන්දර්භය පරිණාමය වුණත්, කාන්තාවන්ගේ සහ ආන්තික ප්‍රජාවන්ගේ මූලික අරගල දිගට ම තියෙනවා," ඇය The Week සඟරාවට පැවසුවා ය.
වසර ගණනාවක් පුරා මුෂ්ටාක්ගේ ලේඛන කර්ණාටක සාහිත්‍ය ඇකඩමි සම්මානය සහ දාන චින්තාමනී අත්තිමබේ සම්මානය ඇතුළු කීර්තිමත් දේශීය හා ජාතික සම්මාන රාශියකට පාත්‍ර වී තිබේ.
2024දී, 1990 සහ 2012 අතර ප්‍රකාශයට පත් කරන ලද මුෂ්ටාක්ගේ කෙටිකතා පහේ ඉංග්‍රීසි පරිවර්තනයේ එකතුව වන 'Haseena and Other Stories' PEN පරිවර්තන ත්‍යාගය දිනා ගත්තේ ය.














