අරුන්දතී රෝයි: වසර 14කට පෙර සිදු කළ ප්‍රකාශයක් නිසා ඉන්දියාවේ බුකර් ත්‍යාගලාභී කතුවරිය සිරගත වෙයි ද?

    • Author, සෞතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු
Arundhati Roy

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝයි යනු ඍජුව කතා කරන ලේඛිකාවක සහ ක්‍රියාකාරිනියකි.

දශකයකට වැඩි කාලයකට පෙර තමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කීර්තිමත් ම ලේඛකයන්ගෙන් කෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති ද?

මුල් පැමිණිල්ලෙන් වසර 14කට පසුව, ඉන්දියාවේ දැඩි ත්‍රස්ත විරෝධී නීති යටතේ බුකර් ත්‍යාගලාභී කතුවරියක වන අරුන්දතී රෝයිට එරෙහිව නඩු පැවරීමට දිල්ලියේ ඉහළ ම නිලධාරියා පසුගිය සතියේ අවසර ලබා දුන්නේ ය. නීතිවිරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත (UAPA) ඇප ලබා ගැනීම සුවිශේෂී අභියෝගයක් බවට පත් කිරීම සඳහා කුප්‍රකට වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට එමගින් නඩු විභාගය අවසන් වන තෙක් වසර ගණනාවක් රඳවා තබා ගැනීම සිදු වේ.

ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළු විවේචකයින් නිහඬ කිරීමට මෙම නීතිය භාවිත කරන බවට මෝදි රජයට චෝදනා එල්ල වී තිබේ.

ඍජුව අදහස් පළ කරන ලේඛිකාවක සහ ක්‍රියාකාරිනියක වන 62 හැවිරිදි රෝයිට විත්තිකූඩුවට නැගීමට සිදුව ඇත්තේ, නිතර මතභේදයට තුඩු දෙන කලාපයක් වන කාශ්මීරය පිළිබඳ අදහස් දැක්වීම හේතුවෙනි.

"කාශ්මීරය කිසි විටෙකත් ඉන්දියාවට ම අයිති කොටසක් වුණේ නැහැ. ඒක ඇවිල්ලා ඓතිහාසික කාරණයක්. ඉන්දීය රජය පවා මෙය පිළිගෙන තිබෙනවා," 2010 ඔක්තෝබර් මාසයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වන කමිටුව විසින් සංවිධානය කරන ලද දිල්ලි නුවර දිනක් පුරා පැවති උණුසුම් සංවාද සිදුවුණු සම්මන්ත්‍රණයකදී ඇය පැවසුවා ය.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරය එවකට කැළඹී ගියේ එම ප්‍රකාශය ඉන්දියාවට එරෙහි දරුණු නැගිටීමක් ලෙස ප්‍රදේශවාසීන් විසින් විස්තර කරනු ලැබීමත් සමග ය.

ඒ එම වසර මුලදී නිදහස ඉල්ලා ක්‍රියාත්මක වූ නව විරෝධතා හේතුවෙන් විරෝධතාකරුවන් විශාල පිරිසක් මිය යාමෙන් පසුව ය.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ප්‍රතිවාදීන් දෙදෙනා වන ඉන්දියාව සහ අසල්වැසි පකිස්ථානය, මතභේදයට තුඩු දී ඇති මෙම කලාපයට සම්පූර්ණයෙන් ම හිමිකම් කියන අතර ඒ සඳහා යුද්ධ දෙකක ද නිරත වී ඇත.

අපේක්ෂා කළ පරිදි ම රෝයිගේ ප්‍රකාශය වෙත දැඩි විරෝධයක් එල්ල වූයේ, විවේචකයින් බොහෝ දෙනෙකු ඉන්දියාව කෙරෙහි ඇයගේ පක්ෂපාතීත්වය ප්‍රශ්න කරමින් සහ, එවකට කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ෆෙඩරල් රජයට රාජද්‍රෝහී චෝදනා මත ඇයව අත්අඩංගුවට ගන්නා ලෙසට තර්ජනය කරමිනි.

දිල්ලියේ ඉහළ පැලැන්තියේ ප්‍රදේශයක පිහිටා ඇති රෝයිගේ නිවස පිටත පවා විරෝධතා පැවැත්විණි. ඇයට සහ තවත් විත්තිකරුවෙකු වන කාශ්මීරයේ නීති ගුරුවරයෙකු වන ෂෙයික් ෂෝකට් හුසේන්ට එරෙහිව සහ තවත් දෙදෙනෙකුට රාජද්‍රෝහී චෝදනා එල්ල කරමින් අපරාධ පැමිණිල්ලක් ද ගොනු කෙරිණි.

Kashmiri women mourn and shout anti-India slogans at the funeral of Umar Qayoom, 13, in Srinagar August 25, 2010

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝයි ගේ ප්‍රකාශය සිදු වන්නේ 2010දී කාශ්මීරයේ විරෝධතාකරුවන් විශාල ගණනක් මිය යාමෙන් පසුව ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මතභේදයෙන් ඉක්බිතිව රෝයි අදහස් ප්‍රකාශ කිරීමට තමාට ඇති අයිතිය පිළිබඳව තර්ක කළා ය. "පත්තරවල සමහර අය මට චෝදනා කරලා තිබුණා ඉන්දියාව දෙකඩ කිරීමේ අරමුණින් මම 'වෛරී ප්‍රකාශ' සිදු කරනවා කියලා. නමුත් මම කතා කරන දේ එන්නේ ආදරය සහ අභිමානය එක්ක," එක් ප්‍රතිචාරයක ඇය ලියුවා ය.

"ඒක එන්නේ මිනිසුන් මරා දැමීම, දූෂණය කිරීම, සිරගත කිරීම හෝ ඔවුන් ඉන්දියානුවන් යැයි කීමට ඔවුන්ට බල කිරීම සඳහා ඔවුන්ගේ නියපොතු ගලවා දැමීම සිදු නොවිය යුතුයි කියන අවශ්‍යතාව එක්ක... තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම නිසා තම ලේඛකයන් නිහඬ කිරීමට සිදුවන ජාතියට අනුකම්පා කරමු ."

රෝයිගේ ප්‍රකාශයෙන් දශකයකට වැඩි කාලයකට පසුව ඇයට නඩු පැවරීමට ගත් තීරණය නීතිඥවරුන්ට ප්‍රහේලිකාවක් වී ඇත. ඇයට මුලින් රාජද්‍රෝහී චෝදනා එල්ල වූ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය යටත් විජිත යුගයේ සිට පැවති මෙම රාජද්‍රෝහී නීතිය 2022 මැයි මාසයේදී අත්හිටුවන ලදී. නමුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත හරහා චෝදනා එල්ල කිරීම මගින් කාලය පිළිබඳ ගැටලුවකින් තොරව නඩුව ඉදිරියට ගෙන යාමට රජයට ඉඩ සලසයි.

රෝයි, ක්‍රියාකාරීන් ඉලක්ක කර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වැට බඳින බවට අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල චෝදනාවට ලක්වන මෝදිගේ රජය දැඩි ලෙස විවේචනය කරන්නියකි. ඇයට එරෙහිව නඩු පැවරීම සඳහා අවසරය ලැබෙන්නේ, මෝදි තුන්වන වරටත් [අගමැති ධූරය සඳහා] තේරී පත්වීමෙන් පසුව ය.

බොහෝ දෙනෙකු මෙය සලකන්නේ භාරතීය ජනතා පක්ෂය සභාග ආණ්ඩුවක් තුළ වුව ද තම බලය අයුතු ලෙස භාවිත කිරීම අඛණ්ඩව සිදු කරන බවට වන දේශපාලනික සංඥාවක් ලෙස ය. 2010 වසරේදී මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ ප්‍රධාන පුද්ගලයා වන සුෂිල් පණ්ඩිත් නීතිමය පියවර ගැනීමට ප්‍රමාද වූයේ මන්ද යන්න පිළිබඳව මත පළ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. "මේ ගැන කටයුතු කරන්න තීරණය කරපු ඒකට වග කියන අය දැන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේක ප්‍රමාද වුණේ ඇයි ද කියලා පරීක්ෂණයක් පැවැත්විය යුතු යි වගේ ම වගවීමක් තියෙන්න ඕනේ," ඔහු Times Now රූපවාහිනී නාලිකාව වෙත පැවසීය.

Arundhati Roy during the event marking 2 years of Attack on Jamia Millia Islamia, Central University on 15th December 2019.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝයිගේ රසිකයින් ඇයව දකින්නේ ලිබරල් සාරධර්ම වෙනුවෙන් හඬ නගන ප්‍රමුඛ චරිතයක් ලෙස සහ සමාජයේ කොන් වූවන්ගේ ශූරියක ලෙස ය

තවත් සමහරු මෙය මෝදිගේ විවේචකයින් නිහඬ කිරීමේ තවත් උත්සහයක් ලෙස සලකති. ලේඛක අමිතාව් ගෝෂ් Xහි මෙසේ ලිවීය: "අරුන්දතී රෝයි දඩයම් කිරීම සම්පූර්ණයෙන් ම යුක්තිසහගත දෙයක් නෙවෙයි. ඇය විශිෂ්ට ලේඛිකාවක් වගේ ම ඇයට ඇයගේ මතය ඉදිරි පත්කිරීමට අයිතියක් තිබෙනවා. දශකයකට පෙර ඇය කියපු දෙයකට ඇයට නඩු පැවරීමට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් එල්ල කළ යුතුයි."

මෙම නඩු කටයුත්ත ඔක්තෝබර් මාසයේදී ඉදිරියට ගෙන යාමට දිල්ලි බලධාරීන් තීරණය කළ විට, කැනේඩියානු ලේඛිකාවක සහ ක්‍රියාකාරිනියක වන නයෝමි ක්ලයින් Xහි මෝදිට අනතුරු ඇඟවීය: "දේශපාලනික අරමුණු මුල් කර ගෙන ඔබට ඉන්න ව්‍යක්ත ම විවේචකයා නිහඬ කරන්න නඩු පවරන එකෙන් වෙන දේ ගැන ඔබට අදහසක්වත් නැහැ."

රෝයි අදහස් දැක්වූ දිනයේ නියත වශයෙන් ම සිදු වූයේ කුමක් ද?

සම්මන්ත්‍රණයේ වාර්තාවල, ශිවම් විජ් එය විස්තර කළේ "ප්‍රශ්නයේ කාලෝචිත බව අතින් ගත්තා ම හැම පැත්තකින්ම ඓතිහාසිකයි," යනුවෙනි. කථිකයන් අතරට ප්‍රසිද්ධ කවියෙකු, ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වූහ.

රෝයි උණුසුම් විවාදයක් අපේක්ෂා කළා ය. "ඇය ඇගේ කතාව ආරම්භ කළේ, ඇයට සපත්තු විසි කර පහර දීමට අවශ්‍ය අය සිටී නම්, දැන් ම එය සිදු කරන ලෙස ඉල්ලා සිටිමින්," විජ් ලිවීය.

මෙම සම්මන්ත්‍රණයේදී කතා කළ කලාකරුවෙකු, ලේඛකයෙකු සහ භාරකරුවෙකු වන සුද්ධබ්‍රත සෙන්ගුප්තා ලියුවේ, "ප්‍රකෝපකාරී ක්‍රියා" - බාධා කිරීම්, කරදර, වේදිකාවට වස්තූන් විසි කිරීමට උත්සහ කිරීම - සිද්ධ වුණේ "තමන් ඉන්දියානු දේශප්‍රේමීන් කියා ගන්නා පිරිසෙන්." ඔවුන්ට කතා කිරීමට අවසර දී තිබුණු නමුත් එහි කටයුතුවලට බාධා නොකරන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණු බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, හමුවට පැමිණ සිටි කාශ්මීර ක්‍රියාකාරිකයෙකු වන පණ්ඩිත් වෙනත් මතයක් දැරීය.

"ප්‍රසිද්ධියේ, අගනුවර හදවතේ, දිල්ලියේ, ඉන්දියානු සංගමය යටත්විජිතවාදීයි, අනෙක් ප්‍රදේශ අල්ලා ගන්නා රාජ්‍යයක්, මිනිස්සු යටත් කරගෙන ඉන්න රාජ්‍යයක් කියලා විනාශ කරන්න කියන ඉල්ලීමක්... එහෙම රාජ්‍යයක් පැවතිය යුතු නැහැ. ඒ වගේ ප්‍රකාශ තමයි සිද්ධ වුණේ. සටන් කරන්න සූදානම් වෙන්න කියලා දිගින් දිගට ම කරන ඉල්ලීමක්.... අරුන්දතී රෝයි [අනිත් අයත් එක්ක]."

Sushil Pandit, a Kashmiri pandit activist, participates in a protest demanding justice for the exodus of Kashmiri Pandit community who fled a rebellion in Muslim-majority areas in Kashmir valley during 1990's, in New Delhi, India on April 1, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රධාන පැමිණිලිකරු වන සුෂිල් පණ්ඩිත් පවසන්නේ, රෝයි සහ අනෙක් පිරිස 'සටන් කිරීමට සූදානම් වන්න' යැයි පැවසූ බව ය

පසුගිය දශක දෙක තුළ රෝයි න්‍යෂ්ටික අවි, කාශ්මීරය, මහා වේලි, ගෝලීයකරණය, දාලිත් වැසියන්ගේ තරුව බීආර් අම්බෙඩ්කාර්, මාඕවාදී කැරලිකරුවන් හමුවීම සහ එඩ්වඩ් ස්නෝඩන් හා ජෝන් කියුසැක් සමග සිදු කළ සංවාද වැනි මාතෘකා පිළිබඳ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ කිහිපයක් සහ ලිපි රාශියක් ලියා ඇත.

ඇගේ ළමා කාලයෙන් ආභාසය ලද, පවුලක් පිළිබඳව දිගහැරෙන සිත්ගන්නාසුලු කතාවක් වන ‘The God of Small Things’, 1997 වසරේ 'මෑන් බුකර් ත්‍යාගය' හිමි කර ගැනීම රෝයි වයස 35දී කීර්තිමත් ලේඛිකාවක බවට පත් කළේ ය. ජෝන් අප්ඩයික් එම ජයග්‍රහණය හැඳින් වූයේ "Tiger Woodesian debut" ලෙස ය.

62 හැවිරිදි මෙම ලේඛිකාව ඉන්දියාවේ මතභේදාත්මක චරිතයක් ද වෙයි.

රසිකයින් ඇයව දකින්නේ ලිබරල් සාරධර්ම වෙනුවෙන් හඬ නගන ප්‍රමුඛ චරිතයක් ලෙස සහ සමාජයේ කොන් වූවන්ගේ ශූරියක ලෙස ය.

කෙසේ වෙතත්, විවේචකයින් ඇගේ අනුරූ පුළුස්සා, ඇය සහභාගී වන උත්සව කඩාකප්පල් කර තිබේ. ඇය රාජද්‍රෝහී සහ අපහාස කිරීමේ චෝදනාවලට මුහුණ දී ඇති අතර, විශාල වේලිවලට එරෙහිව විරෝධතා දැක්වීම නිසා දිනක කාලයක් සිරගතව සිටීමට පවා ඇයට සිදු විය.

ඔවුහු ඇගේ ප්‍රබන්ධ නොවන ලේඛන බොහොමයක් ශෝකී, බොළඳ, පරිණත නොවන, ස්වයං වින්දනාත්මක සහ සරල, "දරිද්‍රතාව දැකුම්කලු" ලෙස ප්‍රදර්ශනය කරන බවට දකිති. එක් විවේචකයෙකු සඳහන් කළේ, බොහෝ විට රෝයිගේ ලිපිවල "සැබවින් ම සාක්ෂිමය පදනමක් නොමැති" බව ය.

රෝයිගේ 2010 ප්‍රකාශයේ සිට සැලකිය යුතු වෙනස්කම් සිදුවී ඇත.

2019දී, මෝදිගේ රජය කාශ්මීරයේ අර්ධ ස්වයං පාලන තත්ත්වය අවලංගු කළේ, කලාපය බෙදීමෙන් සහ ඍජු ෆෙඩරල් පාලනයක් යටතේ එහි දේශපාලන ස්වාධිපත්‍යය අඩු කරමිනි.

භාෂණයේ නිදහස ද අහිමි වී ගොස් ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති: 2014 වසරේ සිට, රටවල් 180ක් අතරින්, Reporters Without Bordersහි මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවේ ස්ථානය 150 සිට 161 දක්වා පහත වැටී ඇත.

නවතම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම රෝයි ප්‍රතික්ෂේප කර ඇත.

පොලිසිය චෝදනා පිළිබඳව විමර්ශනය කර තිබේ ද නැතහොත් ඇයට සහ අනෙක් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි තිබේ ද යන්න අපැහැදිලි ය.

මුල් පැමිණිල්ලේ සඳහන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත. නමුත් එක් දෙයක් ස්ථිර ය. ඉන්දියාවේ කීර්තිමත් ම ලේඛකයන්ගෙන් කෙනෙකු වන ඇය දරුණු ත්‍රස්ත-විරෝධී නීතියක් යටතේ සිරගත කරන්නේ නම්, එය ගෝලීය වශයෙන් හෙළා දකිනු ඇති අතර සහ එමගින් කෝපය ද අවුලුවාලනු ඇත.