කියානු රීව්ස්: 'මම මරණය ගැන නිතර ම හිතනවා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, නූර් නැන්ජි
- Role, සංස්කෘතික පුවත් වාර්තාකරු
අප අතරින් බොහෝ දෙනෙකු මරණය ගැන සිතීමෙන් වැළකී සිටිය ද කියානු රීව්ස් සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ.
"මට දැන් 59ක්, ඒ නිසා මම නිතර ම මරණය ගැන හිතනවා," හොලිවුඩයේ මෙගා තරුව බීබීසී පුවත් වෙත හෙළි කර තිබේ.
"ඒක හොඳ දෙයක්," ඔහු තවදුරටත් පැවසීය.
"ඒක මහා අමාරු දෙයක් නෙවෙයි. ඒත් ඒක අපි ගන්න හුස්ම ටික වගේ ම අපි ඇති කර ගන්න සබඳතා ගැන අගය කරන්න [අපිව] සංවේදී කරනවා."
මෙවර එය, නව කෘතියකි. එනම්, රීව්ස්ගේ පළමු නවකතාව යි.
බ්‍රිතාන්‍ය විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙකු වන චයිනා මියේවිල් සමග සහයෝගයෙන් ලියන ලද The Book of Elsewhere නමැති එම කෘතියේ, මරණයට පත් වීමට හැකියාවක් ඇති අයෙකු වීමට කැමති අමරණීය රණශූරයෙකු පිළිබඳව කියැවේ.

අපිට රීව්ස් සහ මියේවිල් හමුවන්නේ, මධ්‍යම ලන්ඩනයේ, අඩු ආලෝකයකින් පිරී ගිය හෝටලයක බීම හලකදී ය.
හොලිවුඩයේ වෙසෙන මෙම කැනේඩියානු නළුවා අප සඳහා කාලය වෙන් කළේ, සිය ඩෝග්ස්ටාර් (Dogstar) සංගීත කණ්ඩායමේ ප්‍රසංග අතරතුරදී ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊට පෙර දින රාත්‍රියේ ඩෝග්ස්ටාර් සංගීත කණ්ඩායම මැන්චෙස්ටර්හි ප්‍රසංගයකට සහභාගී විය. අපි විනාඩි 30ක සම්මුඛ සාකච්ඡාව ආරම්භ කරන අවස්ථාවේ රීව්ස් තරමක් වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට විය.
නමුත් සිය නවකතාව කෙරෙහි ඔහු තුළ වන ආශාවේ අඩු බවක් දිස් නොවිණි.
'The Book of Elsewhere' පදනම් වී ඇත්තේ, රීව්ස් විසින් නිර්මාණය කරන ලද අතිසාර්ථක BRZRKR විකට පොත් මාලාව මත ය.
2021දී නිකුත් කරන ලද, BRZRKR [නුපුරුදු අය සඳහා "berserker" ලෙස උච්චාරණය කෙරේ] ද රීව්ස් රංගනයෙන් දායක වන සජීවී-ක්‍රියාදාම Netflix චිත්‍රපටයකට මෙන් ම ඇනිමේ (anime) කතා මාලාවකට ද නැගීමට නියමිත ය.
රීව්ස්ට විකට කතා පොත් සඳහා විශේෂ කැමැත්තක් ඇත.
"මම ඒවායේ තියෙන රූපවලට කැමතියි," ඔහු පැවසීය. "වචනවලට ආසයි සහ කතාව කියන විදිහට මම ආසයි වගේ ම ඒවා එක ම වෙලාවක එකිනෙක සම්බන්ධ වෙන අත්දැකීම ලබන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් රූප දිහා බලලා ඊට පස්සේ කතාව කියවගෙන යන්න."
සාමූහිකව සිදුවූ මෙම නවකතාව ලීවීමේ ක්‍රියාවලියේදී තම භූමිකාව ඔහු කුඩා කොට දක්වන්නේ මෙලෙස අවධාරණය කරමිනි: "මම ලියපු නවකතාවක් නැහැ. චයිනා තමයි නවකතාවක් ලිව්වේ."
මියේවිල් "එය ඕනෑවට වඩා වැඩි" බවට තර්ක කරන්නේ, මෙසේ ද සඳහන් කරමිනි: "කියානු එක්ක හොඳට හිතලා සහ හරි පරිස්සමට කරපු වැඩ ටික නොවෙන්න මෙහෙම දෙයක් පවතින එකක් නැහැ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම කතා වස්තුවේ කේන්ද්‍රීය චරිතය හැඳින්වෙන්නේ, "B" ලෙස ය.
දිගු අඳුරු හිසකෙස් ඇති "B" භෞතික වශයෙන් රීව්ස්ගේ පෙනුමට සමාන වේ.
එමෙන් ම ප්‍රහසන පොත මුල් වරට එළි දැක්වුණු අවස්ථාවේ ද ඇතැම් රසික රසිකාවියෝ දුෂ්කර පෞද්ගලික ජීවිතයක් ඇතුළු ඔවුන් දෙදෙනා අතර යම් තේමාත්මක සමානකම් පෙන්වා දුන්හ.
රීව්ස්ට ඔහුගේ පෙම්වතිය, උපතේදී ම මියගිය ඔවුන්ගේ දියණිය සහ ඔහුගේ හොඳ ම මිතුරා ඇතුළු ඔහුගේ ජීවිතයේ ආදරය කළ කිහිප දෙනෙකු ම අහිමි වී ඇත.
නමුත් සමානකම් අවසන් වන්නේ එතැනින් විය හැකි ය.
B යනු, අවුරුදු 80,000ක් වයසැති, අර්ධ වශයෙන් මනුෂ්‍ය සහ අර්ධ වශයෙන් දෙවියෙකු වන කෙනෙකි. ඔහු "ප්රචණ්ඩත්වයේ ශාපයකට" නතු වූවෙකු වන අතර ඉන් ඔහු සම්පූර්ණයෙන් ම පාහේ රීව්ස් මෙන් නොවන බව පෙනේ.
සිය සෞම්‍ය, මෘදු ගති පැවතුම් සඳහා ප්‍රසිද්ධ මෙම නළුවා බොහෝ විට හොලිවුඩයේ ප්‍රියමනාප ම මිනිසා ලෙස හඳුන්වයි.
අනෙක් අතට, රීව්ස් පවසන පරිදි B යනු, "මිනිසුන්ගේ පපුවට පහර දී ඔවුන්ගේ අත් උදුරා දැමීමට, ඔවුන්ගේ හිස වෙන් කර දැමීමට" හැකි අයෙකි.
එසේ නම්, එවැනි ප්රචණ්ඩත්වයක් පැමිණෙන්නේ කොහෙන් ද?
ස්පීඩ් සහ ජෝන් වික් කතා මාලාවේ ද රඟපා ඇති රීව්ස් පැවසුවේ, "මම කළ සමහර ක්‍රියාදාම චිත්‍රපට ඒකට බලපෑවා කියලා හිතනවා," යනුවෙනි.

විකට කතා පොත නිකුත් වුණු පසු ලද ප්‍රතිචාර යහපත් වූ බැවින් රීව්ස් සහ මියේවිල් එම සාර්ථකත්වය මේ තුළින් ද බලාපොරොත්තු වෙති.
Flickering Mythහි, කැලම් පීට්රී එයට තරු 10යෙන් හතක් ප්රදානය කළේ, එය "විනෝදජනක" නමුත් "බොහෝ විකට චිත්‍ර කතාවල මා පුරුදු වී සිටි ප්‍රමාණයට වඩා ප්රචණ්ඩ බව තරමක් වැඩි" බව ලියමිනි.
ඒ සඳහා AIPT Comicsහි ජස්ටින් හැරිසන් විසින් තරු 9.5ක් දෙන ලද අතර, ඔහු එය "විශිෂ්ට" සහ "කුතුහලය දනවන" ලෙස ප්‍රශංසා කරන අතර ම එමගින් ගෙන හැර දක්වන ප්රචණ්ඩත්වය පිළිබඳව පාඨකයන්ට අනතුරු ඇඟවීය.
මෙම කෘතිය ද ප්‍රචණ්ඩකාරී වන බවට සැකයක් නොමැත. එහි මුල් පිටුවල, වෙඩි තැබීමේ සිදුවීමකින් පසු "ඉතා අපහසුවෙන් ලේ වැගිරුණු තැන් ආදිය පිරිසිදු කරන සිද්ධියක්" පිළිබඳව විස්තර කරයි.
තිරයේ සහ පොත්වල, සහ සැබෑ ලෝකයේ ප්රචණ්ඩත්වය අතර බොහෝ විවාදයට ලක් වූ සම්බන්ධය ගැන අපි රීව්ස්ගෙන් විමසුවෙමු.
මොහොතකට, ඔහු ආරක්ෂාකාරී වන බවක් පෙනෙන්නට විය.
"මම හිතනවා, එයාලා BRZRKR කියෙව්වොත්, ඒ අය එළියට ගිහින් මිනිස්සුන්ගේ අත් උදුරලා දාන්න හිස් වෙන් කරන්න පටන් ගන්න එකක් නැහැ කියලා," ඔහු පැවසීය.
"මොකද ඒකෙ ආදර කතාවකුත් තියෙනවා. ඒත් ඔයා ඒක කියෙව්වොත් මම හිතනවා සමහරවිට ඔයාට ආදරයක් නැත්නම් ආදරයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා."
නිරූපිත ප්රචණ්ඩත්වය සහ සැබෑ ප්රචණ්ඩත්වය අතර සම්බන්ධයක් ඇතැයි පවසන ප්‍රකාශවලට එරෙහිව මියේවිල් ද අදහස් දැක්වීය.
"මේ වගේ ප්‍රශ්නයක් කොහොම ද අහන්නේ කියල හිතෙද්දිත් මට තරහක් එනවා," ඔහු පැවසීය.
"එය ඉතා පැහැදිලිව ම එක්තරා ආකාරයක සංස්කෘතියට ඇඟිල්ල දිගු කිරීමක්," ඔහු තවදුරටත් පැවසීය. "මම හිතන්නේ වීඩියෝ ක්‍රීඩා සහ චිත්‍රපට සහ ඒ වගේ දේවල් දිහා ඒ විධියට බලන එකේ අදහස, ප්‍රචණ්ඩත්වයෙන් ඇත්තට ම ලාභ ලබන පුද්ගලයන් සුද්ද කිරීමේ ක්‍රමයක් විතරයි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කිරීමෙන් පසු, රීව්ස් යථාර්ථයෙන් මිදීමට උත්සහ කරන්නේ දැයි ඔබට සිතෙනවා විය හැකි ය.
"සමහර විට අවසානයේ වෙනත් ලෝකයක් ගොඩනැගීමේ ෆැන්ටසිය යම් ආකාරයක සැනසීමක් ගෙන එනවා," ඔහු පිළිගනී.
"වේදනාවෙන් එන නිර්මාණාත්මක ප්රකාශනයක් ගැන අවසානයේ යමක් තියෙනවා," ඔහු පවසයි.
"දේවල් නිර්මාණය කිරීම විශිෂ්ට දෙයක්. නිර්මාණය කිරීම, බෙදාගැනීම සහ අපි කියන කතාවලට මිනිසුන් කැමති වේවි කියලා බලාපොරොත්තු වීම."
පාඨකයින් එසේ සිදු කරන්නේ නම්, කෘතිය සාර්ථක නම්, රීව්ස් ඉන් ලැබෙන ආදායමෙන් කුමක් කරයි ද?
ඔහු සිය ත්‍යාගශීලීත්වය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ඔහු දේවල් තමා සතු කර ගැනීමට අකමැති ආකාරය ගැන බොහෝ දේ ලියා ඇත.
නමුත් මෙය ද අපගේ සම්මුඛ සාකච්ඡාව අවසන් වන විට රීව්ස් එකඟ නොවූ දෙයක් බව පෙනෙන්නට විය.
"මම කැමතියි දේවල් මගේ කර ගන්න, දේවල් තියෙද්දී මම කැමතියි," ඔහු පැවසීය.
"හැම දේම නිකම් දීලා දාන කෙනෙක් විධියට මට මාව කොහොමත් ම හඳුවන්න ඕනේ නැහැ."
The Book of Elsewhere කෘතිය ජූලි 23 දින පෙන්ගුයින් (Penguin) ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.














