මැතිව් පෙරී: ලොවක් 'සිනහවෙන් සරසා' දිවියට සමු දුන් 'ෆ්‍රෙන්ඩ්ස්' තරුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනූව දශකයේ ජනප්‍රිය ප්‍රහසන රූපවාහිනී කතා මාලාවක් වූ 'ෆ්‍රෙන්ඩ්ස්'හි 'චැන්ඩ්ලර් බිං' ලෙස බොහෝ සෙයින් ජනාදරයට පත්ව සිටි අමෙරිකානු නළු මැතිව් පෙරී වයස අවුරුදු 54දී අභාවප්‍රාප්ත විය.
ලොස් ඇන්ජලීස්හි පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු මියගොස් සිටිබව පොලිස් ආරංචි මාර්ග එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසීය.
එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ ජීවත්වන තරුණ මිතුරන් හය දෙනෙකුගේ දෛවය ගැන කියැවෙන 'ෆ්‍රෙන්ඩ්ස්', 1994 සිට 2004 දක්වා විකාශය විය.
එහි අවසන් කතාංගය එක්සත් ජනපදයේ මිලියන 52.5ක ප්‍රේක්ෂක පිරිසක් විසින් නරඹනු ලැබ තිබුණේ, එය 2000 ගණන්වල වැඩි ම පිරිසක් නරඹන ලද රූපවාහිනී කතාංගය බවට පත් කරමිනි.
පෙරී ඔහුගේ නිවසේ උණුසුම් ජල තටාකයක් තුළ සිහිසුන්ව සිටිය දී හමුවූ බව, ඔහුගේ මරණය මුලින්ම වාර්තා කළ ලොස් ඇන්ජලීස්හි ටයිම්ස් සහ TMZ පැවසීය.
නිශ්චිතව නොදැන සිටි "ජලය සම්බන්ධ හදිසි අවස්ථාවක්" සඳහා මුදාගැනීමේ නිලධාරීන් පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ ලිපිනයක් වෙත ගිය බව, ලොස් ඇන්ජලීස් ගිනි නිවීම් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ ය. නමුත් ඔහු පෙරීගේ නම සඳහන් නොකළේ ය.
ලොව පුරා නැවත විකාශය වූ අවස්ථාවන්හි දී නව පරම්පරාවේ නරඹන්නන් අතර ආදරයට පාත්‍ර වූ මෙම දිගු රූපවාහිනී කතා මාලාව නිෂ්පාදනය කළ වෝනර් බ්‍රදර්ස්, පෙරී "අප සැම ලද සැබෑ ත්‍යාගයක්"ලෙස විස්තර කළේ ය.
1969 වසරේ මැසචුසෙට්ස්හි දී උපත ලද පෙරී කැනඩාවේ ඔටාවාහි හැදී වැඩුණු අතර, පසුකාලීනව කැනේඩියානු අගමැති බවට පත් වූ ජස්ටින් ටෲඩෝ සමග ප්‍රාථමික ශ්‍රේණියේ දී අධ්‍යාපනය ලැබීය.
කැනේඩියානු අගමැතිවරයා Xහි මෙසේ ලිවීය: "මැතිව් පෙරීගේ අභාවය කම්පනයක් වගේ ම කණගාටුදායක සිදුවීමක්. ඉස්සර අපි ඉස්කෝලෙ මිදුලේ කරපු සෙල්ලම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මම දන්නවා ඔහු ගෙනදුන් ප්‍රීතිය ලොව පුරා සිටින ජනතාවටත් කිසි දවසක අමතක වෙන්නේ නැහැ කියලා. ඒ හැම හිනාවකට ම ස්තුතියි මැතිව්. ඔබ ආදරයට පාත්‍ර වුණු කෙනෙක් - ඔබ නැති අඩුව දැනේවි."
පෙරී, නව යොවුන් වියේ දී ලොස් ඇන්ජලීස් වෙත පැමිණියේ ය. ඔහු 'බෝයිස් විල් බී බෝයිස්හි' චැස් රසල් ලෙස රඟපෑ අතර, 'ග්රෝවින් පේන්ස්' ඇතුළු රූපවාහිනී කතා මාලාවල ද රඟ දැක්වී ය.
නමුත් ඔහු ජාත්‍යන්තර තරුවක් බවට පත් වන්නේ 'ෆ්‍රෙන්ඩ්ස්' තුළිනි. එය නිව් යෝර්ක් වැසියන් හයදෙනෙකුගේ ආදර සබඳතා, රැකියා සහ මිත්‍රත්වය වටා ගෙතුණු කතා මාලාවක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජෙනිෆර් ඇනිස්ටන්, කෝර්ට්නි කොක්ස්, ඩේවිඩ් ෂ්විමර්, මැට් ලෙබ්ලාන්ක් සහ ලීසා කූඩ්රෝව් ද රංගනයෙන් දායක වූ මෙම ප්‍රහසන රූපවාහිනී කතා මාලාව, මෙතෙක් බිහි වූ අතිසාර්ථක ම කතා මාලාවන්ගෙන් එකක් බවට පත්විය.
පෙරී, උපහාසාත්මක කෙටි විහිළුත්, ඔහුගේ කාමර සගයා වන ජෝයි ට්රිබියානි සමග බොළඳ ලෙස හැසිරීම ගැනත් ප්රසිද්ධවූ නුහුරු ලෙස හැසිරෙන චැන්ඩ්ලර් බිං ලෙස රඟපෑවේ ය. මෙම භූමිකාව වෙනුවෙන් ඔහු 2002 වසරේ දී එමී සම්මානය සඳහා නිර්දේශ විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් ඔහු ලද ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවේදී ත් පෙරී වේදනා නාශක සහ මත්පැන්වලට ඇති ඇබ්බැහිය සමග පොරබදමින් සිටි අතර, අවස්ථා කිහිපයක දී පුනරුත්ථාපන සායනවලට ද සහභාගී විය.
මත්පැන් සහ මත්ද්‍රව්‍ය හේතුවෙන් ෆ්‍රෙන්ඩ්ස් රූගත කළ වසර තුනක කාලයක් ඔහුගේ මතකයේ නොමැති බව ඔහු 2016 වසරේ දී බීබීසී රේඩියෝ 2 වෙත පැවසුවේ ය.
පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු කතා මාලාව නැරඹීමෙන් වැළකී සිටි ආකාරය ගැන සඳහන් කළේ ය.
"මම ඒක බැලුවේ නැහැ. මම ඒක බලලා නැහැ. එතකොට මට 'බිව්වා, අබිං ගතතා, බිව්වා, කොකේන් ගත්තා' වගෙ කියන්න පුළුවන්," ඔහු පැවසීය. "මට සීසන් එකෙන් සීසන් එකට, මාව පේන විදියෙන් කියන්න පුළුවන් [මම මොන මත්ද්‍රව්‍යය ද ඒ කාලෙ ගත්තෙ කියලා]. ඒ නිසයි මට ඒක බලන්න ඕන නැත්තේ, මොක ද මට පේන්නේ ඒක.
"ඒත් මම හිතනවා මම ඒක බලන්න පටන් ගනීවි කියලා. මොක ද ඒක විවිධ පරම්පරාවල හදවත් ස්පර්ශ කරනවා දකින්න ලැබුණු එක නියමම දෙයක්."
පෙරී 2018 වසරේ දී මත්ද්‍රව්‍ය භාවිතාව නිසා බඩවැල් පුපුරායාම ඇතුළු සෞඛ්‍ය ගැටළු අත්විඳි අතර, එනිසා සැත්කම් කිහිපයකට ද භාජනය විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පෙරීගේ මරණය සැලවීමත් සමග ලොස් ඇන්ජලීස් පුරා පැතිර ගිය හැඟීම "කම්පනයක්" ලෙස ත්, පෙරී මියගියබව විශ්වාස නොකරමින් "අස්සක් මුල්ලක් නෑර නැගුණු ප්‍රතිචාරයක්"ලෙස ත් ප්‍රාසංගික පුවත් වාර්තාකරු ෂෝන් මැන්ඩෙල් විස්තර කළේ ය.
පෙරී 'ෆ්රෙන්ඩ්ස්හි' සාර්ථකත්වය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ත්, ඔහු එහි "තීරණාත්මක සාධයක්" ලෙස සිටි අයෙකු බව ත් ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.
"ඔහුගේ චරිතය ක්ෂණික හාස්‍ය රසය, ඒත් එක්ක ම අව්‍යාජ බව හා යථාර්ථවාදී බව කදිමට කැටි වෙලා තිබුණා," ඔහු පැවසීය.
පෙරී, 'ෆූල්ස් රෂ් ඉන්', 'ඕල්මෝස්ට් හීරෝස්' සහ 'ද හෝල් නයින් යාඩ්ස්' ඇතුළු චිත්‍රපට කිහිපයක ම ද පෙනී සිටි නමුත් 'ෆ්‍රෙන්ඩ්ස්' තුළින් ඔහු ලද අතිවිශාල සාර්ථකත්වයට හා ජනප්‍රියත්වයට සම කළ හැකි චිත්‍රපටයක් කිසි විටෙකත් හමු නොවී ය.
කෙසේ වෙතත්, ඔහුගේ පසුකාලීන රූපවාහිනී රඟපෑම් යම් ගෞරවයකට පාත්‍ර විය.
එරන් සෝර්කින්ගේ 'ද වෙස්ට් වින්ග්හි' සහකාර ධවල මන්දිර උපදේශක ජෝ ක්වින්සි ලෙස සිදු කළ රංගනය සඳහා ඔහු 2003 සහ 2004 වසරවල දී රූපවාහිනී කතා මාලාවක කැපී පෙනෙන ආරාධිත නළුවා වෙනුවෙන් ලබාදුන් එමී සම්මානය සඳහා දෙවතාවක් නිර්දේශ විය. ඔහු සෝර්කින්ගේ පසුකාලීන කතා මාලාවක් වූ 'ස්ටුඩියෝ 60 ඔන් ද සන්සෙට් ස්ට්‍රිප්'හි ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර, පසුව ඔහු විසින් ම ලියා නිෂ්පාදනය කර ලද 'මිස්ටර් සන්ෂයින්' නම් කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ෆ්‍රෙන්ඩ්ස් රීයූනියන්' හැර ඔහුගේ අවසාන කැපී පෙනන රූපවාහිනී නිර්මාණ කාර්යය වූයේ අමෙරිකානු රූපවාහිනියේ සීසන්ස් තුනක් දක්වා පමණක් විකාශය වුණු 'දි ඔඩ් කපල්හි' නව නිෂ්පාදනයකි. 2017 වසරේ දී, පෙරී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, ඔහු රූගත කිරීම් සඳහා පැමිණි අවස්ථාවේ දී එය අවලංගු කර ඇතැ යි දැනගත් බවත්, දර්ශන තලයේ දොර මත තිබුණු ඔහුගේ රූපයක මුහුණ වැසී යන අයුරින් කොළ පැහැ තීන්තවලින් පින්තාරු කර ඇතැ යි දුටු බව ත් සඳහන් කළේ ය.
ෆ්රෙන්ඩ්ස්හි චැන්ඩ්ලර්ගේ කරදරකාරී හිටපු පෙම්වතිය වන ජැනිස්ගේ චරිතයට පණ පෙවූ මැගී වීලර්, පෙරීගේ සමග රඟපෑ නළු නිළියන්ගෙන් ඔහුට ප්‍රසිද්ධියේ ගෞරව දැක්වූ පළමුවැන්නිය විය.
පෙරී ඔහුගේ "ඉතා කෙටි ජීවිත කාලය තුළ බොහෝ දෙනෙකුට" ගෙන ආ ප්‍රීතිය "නොනැසී පවතිනු ඇති" බව වීලර් පැවසුවා ය.
"අපි එක්ව බෙදා ගත්ත හැම නිර්මාණාත්මක මොහොතක් ම මට ලොකු ආශිර්වාදයක් විධියට දැනෙනවා," ඇය ඉන්ස්ටග්‍රෑම්හි ලිවී ය.
තිරයේ දී පෙරීගේ මව හා කාමුක නවකතා ලේඛිකා නෝරා බිං ලෙස රඟපෑ මෝගන් ෆෙයාර්චයිල්ඩ් මෙසේ පැවසුවා ය: "මගේ 'පුතා' මැතිව් පෙරීගේ අකල් මරණය ගැන මම ගොඩක් කම්පා වෙනවා."
"මෙතරම් දක්ෂ තරුණ නළුවෙකුගේ අහිමි වීම කම්පනයක්," ඇය තවදුරටත් පැවසුවා ය.
'කෘඅල් ඉන්ටෙන්ෂන්ස්හි' නිළි සෙල්මා බ්ලෙයාර්, පෙරී ඇගේ "පැරණි ම පිරිමි යහළුවා" බව පැවසුවා ය. "අපි හැමෝම මැතිව් පෙරීට ආදරය කළා, මම විශේෂයෙන් ම. හැම දවසක ම. මම ඔහුට කොන්දේසි විරහිතව ආදරය කළා. ඔහු මට ත්," ඇය වැඩිදුරටත් පැවසුවා ය.
"මට මේක ලොකු වේදනාවක්. මගේ හදවත බිඳිලා ගිහින්. සුවසේ නිදන්න මැටී. සුවසේ නිදන්න."
'ස්ටුඩියෝ 60 ඔන් ද සන්සෙට් ස්ට්රිප්හි' රඟපෑ ලුසී ඩේවිස්, පෙරී සමග කතා මාලාවේ එක්ව කටයුතු කිරීමට ලැබීම "ගෞරවයක්" බව පැවසුවා ය.
Xහි සටහනක් තබමින් ඇය මෙසේ ලිවීය: "තිරය තුළ දී වගේ ම තිරයෙන් පිටත් ඔහු හරි ම විනෝදකාමී යි. ඔහු මට ඇත්තට ම හරි ම කරුණාවන්ත විදිහට සැලකුවා: එක සතියක් තිබුණා රැකියාවේ යම් ගැටළුවක් නිසා මම අමාරුවෙන් කාලය ගත කරපු. ඔහු ඇවිල්ල මට කිව්වා, දුක් වෙන්න එපා, මම ඔයා එක්ක ඉන්නවා කියලා.
"අපි එකට රඟපාන අවස්ථාවල දි මාව ප්‍රශංසා කරන්න තරම් උදාර ගති තිබුණ කෙනෙක් ඔහු," දි ඔෆිස්හි රඟපෑ තරුව තවදුරටත් පැවසුවා ය.
"හැම හිනාවකට ම ස්තූතියි මැතිව්. ඔබ මට විශාල බලපෑමක් කළා."
දින කිහිපයකට පෙර පළ කරන ලද පෙරීගේ අවසාන ඉන්ස්ටග්‍රෑම් සටහනෙහි, ඔහු වහළ මත වූ තාටකයක විවේකී සුවයෙන් පසුවන අයුරු දැක්විණි. ඒ පෝස්ටුව වෙත රසිකයන්ගෙන් ගුණකථන රැසක් ගලාවිත් තිබේ.
පෙරීට, ඔහු කුඩා කාලයේදී වෙන්වූ ඔහුගේ දෙමාපියන් වන ජෝන් බෙනට් පෙරී සහ සුසෑන් පෙරී ද, මව් හා පිය පාර්ශවයෙන් අර්ධ සහෝදර සහෝදරියන් පස් දෙනෙකු ද සිටියි.
ඔහු කිසි දිනෙක විවාහ නොවූ අතර දරුවන් ද නොසිටියේ ය.
1997 වසරේ දී ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ එක් කතාංගයක පෙනී සිටි ඔහුගේ පියාගෙන් ඔහු ආභාෂය ලැබූ බව පෙරී පැවසුවේ ය. පියා, රේචල් සමග ප්‍රේම සම්බන්ධයක් පැවති ජෝෂ්ගේ පියා වන බර්ජින් ලෙස රඟපෑවේ ය.












