ටීනා ටර්නර්: 'මම මහලු වියට පත් වන තුරු කිසි විටෙකත් මහලු වියට යටත් නොවෙමි'
මෘදු හා ගැඹුරු හඬ පෞර්ෂයෙන් සහ වේදිකාවේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමෙන් ටීනා ටර්නර් ඇගේ පරම්පරාවේ හොඳම ගායිකාවක් බවට පත් කළාය.
කරදරකාරී ළමා කාලයක් සමග ග්‍රාමීය ටෙනසි හි සිට ගෝලීය තරුවක් දක්වා ඇය පැමිණි ගමන් මග බොහෝ වේදනාකාරී සහ දිගු එකක් විය.
පීඩාකාරී සබඳතාවයකින් වෙන් වී තනි කලාකරුවෙකු ලෙස සිය ස්ථාවරත්වය තහවුරු කර ගන්නා විට ඇයට වයස අවුරුදු 40 කට ආසන්න විය.
නමුත් වැඩියෙන්ම අලෙවි වන ඇල්බම මාලාවක් පටිගත කිරීමට, සම්මාන රාශියක් ලබා ගැනීමට සහ සජීවී සංගීතකරණය අතරින් වඩාත් ජනප්‍රිය කෙනෙකු බවට පත්විමට ඇය සමත් විය.
අවුල් සහගත ළමාවිය
ටීනා ටර්නර් 1939 නොවැම්බර් 26 වන දින ටෙනසි හි නට්බුෂ් නම් වූ කුඩා ග්‍රාමීය නගරයේදී ඇනා මේ බුලොක් ලෙස උපත ලැබීය. ඇගේ පියා ෆ්ලොයිඩ් ප්‍රදේශයේ ගොවිපලක සේවය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇයට තිබුණේ අවුල් සහගත ළමා කාලයකි. ඇගේ දෙමාපියන් යුධෝපකරණ කම්හලක සේවය කිරීමට යෑම හේතුවෙන් ඇයව ඇගේ වැඩිමහල් සහෝදරිය අයිලීන් ගෙන් වෙන් කෙරුණ අතර, තරුණ ඇනා හට දැඩි ආගම් භක්තියෙන් යුත් සිය මුත්තනුවන් සහ මිත්තනිය සමග ජිවත් වීමට සිදුවිය.
යුද්ධයෙන් පසු පවුල නැවත එක් වන විට, ඇනා සිය ගමේ පිහිටි බැප්ටිස්ට් පල්ලියක ගායනා කිරීම ආරම්භ කළාය.
ඇයට වයස අවුරුදු 11ක් වන විට ඇගේ මව නිවසින් පිටව ගිය අතර, ඉන් වසර දෙකකට පසු ඇගේ පියා නැවත විවාහ විය. මේ හේතුවෙන් ඇනා සහ ඇගේ සහෝදරිය ටෙනසිහි බ්‍රවුන්ස්විල් හි සිටින ඇගේ මිත්තනිය සමඟ ජීවත් වීමට යවන ලදී.
ඇය ඉගෙනුම ලැබූ පාසලේ චියර්ලීඩර් බවට පත් වූ අතර පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් ඉතා කාර්යබහුල සමාජීය ජීවිතයක් ගත කළාය. 1958 දී උපාධිය ලැබීමෙන් පසු ඇය මිසූරි හි ශාන්ත ලුයිස් රෝහලේ හෙදියක ලෙස සේවයට එක්විය.
සිය සොහොයුරිය සමග සවස් යාමයකදී රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවකදී , ඇය පළමු වරට අයික් ටර්නර් ඔහුගේ සංගීත කණ්ඩායම වන The Kings of Rhythm සමඟ ප්‍රසංගයක් පවත්වනු ආකාරය දුටුවාය.
විශාල අවස්ථාවක්
අයික් ඒ වන විටත් වාදකයෙකු සහ සහය සංගීත ශිල්පියෙකු ලෙස පිළිගැනීමක් ලබා සිටි අතර ඔහුගේ සංගීත කණ්ඩායමට R&B සමාජ ශාලාවන් හි විශාල ආකර්ෂණයක් හිමිවිය.
එක් රාත්‍රියක විරාමයක් අතරතුර දී ඇනා මේට මයික්‍රෆෝනය පිරිනමනු ලැබූ අතර - ඇගේ ගායන හැකියාව ඔහුව කොතරම් විශ්මයට පත් කළාද යත්, සංගීත කණ්ඩායම සමඟ ගායනා කරන ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේය.
ඒ වන විට සංගීත කණ්ඩායමේ සැක්සෆෝන් වාදන ශිල්පියෙකු වන රේමන්ඩ් හිල් සමඟ ඇයට සබඳතාවක් තිබු අතර ඔහුගෙන් රේමන්ඩ් නම් දරුවෙකු ද ඇයට සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇය 1958 දී පසුබිම් සහයක ගායිකාවක් ලෙස ඇයගේ පළමු පටිගත කිරීම සිදු කළ නමුත් වසර දෙකකට පසුව ටර්නර් විසින් රචනා කරන ලද Fool in Love නම් ගීතය සඳහා ඇයට විශාල අවස්ථාවක් උදාවිය.
ඔහුගේ ප්‍රධාන ගායිකාව වන ආර්ට් ලැසිටර් පටිගත කිරීම සඳහා පැමිණීමට අපොහොසත් වූ අවස්ථාවකදී, පසුව ඉවත් කිරීමේ අදහසින් එම හිඩැස පුරවන ලෙස ඇනා මේ ගෙන් ඉල්ලීමක් කර තිබුණි.
නමුත් එම ආකෘති හඬ පටය ඇසීමෙන් පැහැදීමට පත්වූ DJ ශිල්පියෙකු එය දේශීය තැටි පටිගත කිරීමේ ස්ථානයක් වෙත භාර කරන ලදී.
දර්ශකයේ ඉදිරි ගමන
කණ්ඩායමේ උපදේශකයා ලෙස අයික් ඇයව ටීනා ලෙස නම වෙනස් කිරීමට පොලඹවා ගන්නා ලදී, පරණ පෙම්වතුන් ඇයව සොයා ගෙන එම වැළැක්වීම සඳහා එය කළ බව පසුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා තිබේ.
ඇය ගායනා කළ Fool in Love ගීතය බිල්බෝඩ් දර්ශක වල 27 වෙනි ස්ථානයට පත්වූ අතර, It's Gonna Work Out Fine ගීත දර්ශකවල හොඳම ගීත 20 අතරට පැමිණි අතර ඔවුන් දෙපලට ග්‍රෑමී සම්මානය ද හිමිවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ වන විට ඇය අයික් සමඟ සම්බන්ධයක් පවත්වමින් සිටි අතර, ඒ වන විට ඔහු සිය පස්වන විවාහක බිරිඳගෙන් දික්කසාද වී සිටියේය. මෙම යුවළ අවසානයේ 1962 දී විවාහ විය.
අලුතින් නම් කරන ලද අයික් සහ ටීනා ටර්නර් විවිධ ප්‍රසංගය සාර්ථක අයුරින් වසර තුනක කාලයක් කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව හෝ සහයක් නොමැතිව ගමන් කළේය.
ඇමෙරිකානු රූපවාහිනි වැඩසටහන් වූ ඇමෙරිකන් බෑන්ඩ්ස්ටෑන්ඩ් සහ සජීවී සංදර්ශනවල ටීනා ඒක පුද්ගල ප්‍රසංග සඳහා පෙනී සිටියාය.
ටීනාගේ කටහඬින් පැහැදුණු නිෂ්පාදක ෆිල් ස්පෙක්ටර් විසින් රිවර් ඩීප්, මවුන්ටන් හයි ගීත පටිගත කිරීම සඳහා පටිගතගාරයට පැමිණෙන ලෙස ඇයව පොළඹවා ගත්තේය.
පටිගත කිරීමේදී ආධිපත්‍යය දැරීමට අයික් උත්සාහ කරනු ඇතැයි කනස්සල්ලට පත් වූ ස්පෙක්ටර් ඔහුට පටිගතගාරයෙන් ඈත්ව සිටීමට මුදල් ගෙවීය.
අපයෝජනයෙන් පලායාම
ස්පෙක්ටර්ගේ සුප්‍රසිද්ධ "වෝල් ඔෆ් සවුන්ඩ්" ඇතුළත් ගීත තැටියේ කීර්තිය අයිකේ සහ ටීනා ටර්නර් ගේ නමට බැර වූ නමුත් එහි වූ එකම හඬ ටීනා ගේ විය. එය මුලින් එක්සත් ජනපදයේ සාර්ථක නොවූ නමුත් එක්සත් රාජධානියේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.
රෝලින් ස්ටෝන්ස් සංගීත කණ්ඩායම විසින් අයික් සහ ටීනා ටර්නර්ට එක්සත් රාජධානියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉල්ලා සිටීමට එය ප්‍රමාණවත් වූ අතර, එය ඔවුන්ට යුරෝපයේ තවත් දින ගණනාවක් සහ විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වීමට හේතු විය.
ස්ටෝන්ස් ඇමෙරිකාවේ සංගීත සංචාරය කළ අතරතුර ඔවුන් විසින් නැවත වරක් තමන්ට සහය දෙන ලෙස ටීනා ටර්නර්ගෙන් ඉල්ලා සිටි අතර, එය එඩ් සුලිවන් නම් වූ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනේ දර්ශන අවස්ථාවක් ලබා ගැනීමට සමත් විය.
ක්‍රීඩන්ස් ක්ලියර්වෝටර් රිවයිවල් සංගීත කණ්ඩායම විසින් ගායනා කළ "Proud Mary" ගීතය ඉන් වසර දෙකකට පසුව එම යුවල විසින් නැවත ගායනා කරනු ලැබූ අතර එය ඇමෙරිකාව තුළ විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1973 වර්ෂයේ දී කේන් රසල්ගේ ඉතා ප්‍රබල චිත්‍රපටයක් වූ පීට් ටවුන්ෂෙන්ඩ්ගේ රොක් ඔපෙරා ටොමී හි ඇසිඩ් කුවීන් නම් වූ විචාරක පැසසුමට ලක් වූ රඟ පෑමක් සඳහා දායක වීමට ටීනා ලන්ඩනය බලා ගමන් කළාය.
එම වසරේම, සිය පුද්ගලික සම්බන්ධතාවය ගිලිහෙමින් පැවති පසුබිමක් තුලදී ඔවුන් දෙදෙනාගේ අවසන් විශාල ජයග්‍රහණය වූ Nutbush City Limits ගීතය එළිදක්වන ලදී.
70 දශකයේ මැද භාගය වන විට, අයික් මත්පැන් සහ කොකේන් මත දැඩි ලෙස යැපුණු අතර, ඔහුගේ බිරිඳගේ ජීවිතය සහ වෘත්තිය කෙරෙහි පැවති ඔහුගේ පාලන ආකල්පය හේතුවෙන් එය නිවස තුල ශාරීරික හිංසනය දක්වා වර්ධනය විය.
ඇය ගැබ්ගෙන සිටියදී ඔහු විසින් සපත්තු රඳවනයකින් ඇයට පහර දී උණු කෝපිවලින් පිළිස්සීමට ලක්කර කර ඇත. 1976 ජූලි මාසයේදී, ටීනා මුදල් අතලොස්සක් වූ පසුබිමය අතැතිව පලා ගිය අතර දික්කසාදය සඳහා අයිකේට නඩු පවරන තෙක් සිය මිතුරන් ළඟ මාස ගණනාවක් සැඟවී සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගීත තැටිගත කිරීමේ කේෂත්‍රයේ නිරත සිය මිත්‍ර විධායක නිලධාරියෙකු ගේ මුල්‍ය සහය ලැබූ ඇය, ස්වාධීන කලාකාරිනියක් ලෙස ඒක පුද්ගල ප්‍රසංග චාරිකා මාලාවක් ආරම්භ කළාය. මුලදී ඇයට එය අපහසු විය.
"බොහෝ දෙනා සිතුවා ටීනා ටර්නර් යනු ඉතිහාසයක් කියලා," ජර්මනියේ වෝග් සඟරාව වෙත ඇය වරක් පවසා සිටියාය. "ඔවුන් දැන සිටියේ අයික් සහ ටීනා ටර්නර් පමණක් වන අතර සිදුවන්නේ කුමක්ද යන්න තේරුමක් තිබුනේ නැහැ. ඒ නිසා මට මාවම පරීක්ෂාවට ලක් කිරීමට සිදු වුනා."
ඇල්බම දෙකක් ගීත දර්ශකයන් අතරට පැමිණීමට අපොහොසත් වූ පසු, ඇය හඬ වඩාත් රළු අයුරෙන් ප්‍රතිනිර්මාණය කළ අතර එය රොඩ් ස්ටුවර්ට් සමඟ ප්‍රසංගවලට සහ රෝලිං ස්ටෝන්ස් සමඟ තවත් සංචාරයකට මඟ පෑදීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1983 වසරේ ඇය ගායනා කළ Let's Stay Together ගීතය වෘත්තීය පුනර්ජීවනයක ආරම්භය විය. ලන්ඩනයේ පටිගත කරන ලද Private Dancer නම් වූ ඇල්බමයක ගීතයන් දර්ශක හතක ජනප්‍රිය වූ අතර එය ඇයට ලෝක සංචාරයක් ඇරඹීමට හේතුවක් විය.
වසර දෙකකට පසු ඇය නැවතත් Mad Max Beyond Thunderdome චිත්‍රපටයේ හි Aunty Entity ලෙස තිරයට පැමිණි අතර, We Don't Need Another Hero යන තේමා ගීතය ඇතුළුව චිත්‍රපටයේ ගීත සඳහා ද දායක වූවාය.
නොනැසී පවතින ප්‍රතිමාව
පියර්ස් බ්‍රොස්නන් රඟපෑ පළමු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ තේමා ගීතය වන ගෝල්ඩන් අයි පටිගත කිරීම ඇතුළුව ඊළඟ දශකය පුරා ඇයගේ සාර්ථකත්වය දිගටම පැවතුනි.
ශතවර්ෂයේ ආරම්භයත් සමග සහ වයස අවුරුදු 61ක් සම්පුර්ණ වූ ඇය තමන් අර්ධ වශයෙන් විශ්‍රාම යන බව නිවේදනය කළාය.
2003 වසරේද කෙනඩි සෙන්ටර් හිදී පැවති උපහාර උත්සවයකදී ඔප්රා වින්ෆ්‍රේ, අල් ග්‍රීන් සහ බියොන්සේ වැනි ජනප්‍රිය තරු සමග ටීනා ටර්නර් ස්ත්‍රීවාදී නියෝජිතවරියක් ලෙස ප්‍රශංසාවට ලක් කළ අතර ජනාධිපති ජෝර්ජ් බුෂ් ද උපහාර දැක්වීමට එක්විය.
2008 දී නැවත පැමිණීම සනිටුහකරමින් ඇය, ග්‍රැමී සම්මාන උළෙලේදී ගීත ගායනා කළ අතර ගායිකාවක් ලෙස ඇයගේ 50 වසර සැමරීම සඳහා සංගීත සවාරියක් ආරම්භ කළාය.
කාලයාගේ ඇවෑමෙන් ඉදිරියට ගියද, ඇගේ ශක්තිය නොබිඳී පැවති අතර කටහඬ වෙනදා මෙන් ශක්තිමත් විය.
වර්ෂ 2013 දී වයස අවුරුදු 73ක් වූ ඇය Vogue සඟරාවේ කවරයේ පෙනී සිටි වයස්ගතම පුද්ගලයා බවට පත් විය. " මම තවම වයස නැහැ.", "මම මහලු වියට පත් වන තුරු කිසි විටෙකත් මහලු වියට යටත් නොවෙමි," ඇය පැවසුවාය.
ඇය වසර 27 ක සම්බන්ධකමකින් පසු ගීත පටිගත කිරීමේ විධායක නිලධාරියෙකු වන අර්වින් බැච් සමඟ විවාහ වූ අතර ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඇයගේ එක්සත් ජනපද පුරවැසිභාවය අතහැරියාය.
2020 වසරේ දී, ඇය What's Love Got to do with It? හි යාවත්කාලීන අනුවාදයක් නිකුත් කළාය. එය එක්සත් රාජධානියේ හොඳම ගීත 40 අතරට ඇතුළු වූ අතර, වෙනම දශක හතක් තුළ එම ජයග්‍රහණය අත්කර ගත් පළමු කලාකරුවා බවට පත් විය.
වසරකට පසුව, ටර්නර් ඇයගේ ගීතවල අයිතිවාසිකම් BMG හිමිකම් කළමනාකාරිත්වයට ඩොලර් මිලියන 50 කට අධික මිලකට විකුණු දැමූ අතර Rock 'n' Roll Hall of Fame ලෙස ඇය නම් කරනු ලැබීය.
මිය යාමට පෙර ටීනා ටර්නර් ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් හිදී ඇගේ ඇදහිය නොහැකි ජීවිත කතාව පිළිබඳ පැවසූ අතර එය සංගීත සංදර්ශනයකට විෂය විය.
වසර ගණනාවක අරගල සහ අපයෝජනය හරහා ඇයව ඉදිරියට ගෙන ගියේ කළේ කුමක් දැයි වරක් ඇගෙන් විමසන ලදී.
"ඇත්තටම ආරම්භයේ සිට අවසානය දක්වාම මම රැඳී සිටියා," ඇය පැවසුවා, "ඒ, මක්නිසාද යත් එය වඩා හොඳ විය හැකි බව මට පැවසූ මගේ ඇතුළත යමක් ගැන මම විශ්වාස කළ නිසා."












