'සැපවත් ජීවිත' සොයා යන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ යථාර්ථය

Udan Fernando

ඡායාරූප මූලාශ්‍රය, Udan Fernando

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය උදාන් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව යන විෂය යටතේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගෙන තිබේ

'සංක්‍රමණය' යන්න ශ්‍රී ලාංකිකයින්ට මේ වන විට ආගන්තුක වචනයක් නොවේ. දේශපාලනික තත්ත්වයන් සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයින් පෙර නොවූ විරූ ආකාරයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වෙමින් සිටින බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන ඇති පරිදි සංක්‍රමණය වීමට බලපාන ප්‍රධාන හේතු සාධක කිහිපයක් වේ.

ඇතැමුන් වඩා යහපත් රැකියා සහ ආර්ථික අවස්ථා සඳහා විදෙස් රටවලට සංක්‍රමණය වන අතර, ඇතැමෙක් පවුලේ සාමාජිකයින් සමග එකතු වීම හෝ අධ්‍යාපනය ලැබීමේ අරමුණින් සංක්‍රමණය වෙති. ගැටුම්, පීඩා, මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝණය වීම් මෙන් ම, දේශගුණ විපර්යාස, ජලගැලීම් ඇතුළු හේතු මත ද සංක්‍රමණය වීම් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි 2020 වසරේ ජුලි මස පළමුවන දා වන විට ලෝකය පුරා පුද්ගලයින් මිලියන 281ක් විදෙස් රටවලට සංක්‍රමණය වී තිබේ. එය ලෝකයේ සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 3.5%කි.

මේ අතර, දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන තුනක් පමණ විදේශ රටවල වෙසෙන බව සැලකේ.

ශ්‍රී ලාංකිකයින් වැඩි ම පිරිසක් වෙසෙන රටවල් පහ ලෙස වාර්තා වන්නේ, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යි.

'Not So Greener Pastures'

ඉහත දැක්වූ සංක්‍රමණ සම්බන්ධ තොරතුරු ගෙන හැර පෑමට හේතු වූයේ, ආචාර්ය උදාන් ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද ඔහුගේ අටවැනි වාර්තා චිත්‍රපටය වන 'Not So Greener Pastures'හි අන්තර්ගතය ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සිව් දෙනෙකු වටා ගොඩනැගී ඇති හෙයිනි.

මෑතක දී නිර්මාණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටයෙහි අන්තර්ගත වන්නේ, ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු අහඹු ලෙස ටිමෝර් ලෙස්ටි නමැති සංවර්ධිත නොවූ රටකට ගොස් දුක් ගැහැට විඳිමින් ජීවත් වීමට දරන උත්සාහය යි.

"මේ මාතෘකාව තෝරා ගන්න මට බලපෑව හේතුව තමයි, ලංකාවේ පුද්ගලයන්ගෙන් 10%ක් විතර ඉන්නේ විදෙස් රටවල පදිංචි වෙලා. තවත් 10%ක් විතර වෙනත් රටවලට ගිහින් වැඩ කරනවා. ඇත්තට ම ලංකාවෙන් ලොකු පිරිසක් ඉන්නේ පිටරටවල. ලංකාවේ ශ්‍රම බලකායෙන් ලොකු ප්‍රතිශතයක් පිටරටවල තමයි සේවය කරන්නේ. මේ කාරණා නිසා තමයි මට සංක්‍රමණිකයින් ගැන චිත්‍රපටයක් කරන්න හිතුණේ," ආචාර්ය උදාන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේ පිරිස අතරින් කුසලතා හෝ අධිකුසලතා පදනම මත විදෙස් රටවලට යන අයට කිසි පීඩාවක් වෙන්නෙ නෑ. ඒත් ජීවිතය පරදුවට තියලා බෝට්ටුවලින් විදෙස් රටවලට සංක්‍රමණය වෙන්න උත්සහ කරන අය ලොකු පීඩාවන්ට මුහුණ දෙනවා. මට ඒ වගේ ගොඩක් අය මුණ ගැහිලා තියෙනවා. හැබැයි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙලා ගොඩ එන මිනිස්සුත් ඉන්නවා."

‘වෙනස් කතාවක් ඇති ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක්’

Not So Greener Pastures - poster

ඡායාරූප මූලාශ්‍රය, Udan Fernando/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, Not So Greener Pastures චිත්‍රපටයේ පෝස්ටරයක්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආචාර්ය උදාන් ප්‍රනාන්දු 'නොට් සෝ ග්‍රීනර් පැස්චර්ස්' නමැති වාර්තා චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේ සංවර්ධිත රටවලට සංක්‍රමණය වීම වෙනුවට, ඇතැම් විට ශ්‍රී ලංකාවටත් වඩා නොදියුණු රටකට සංක්‍රමණය වූ සිව් දෙනෙකි.

"ටිමොර් ලෙස්ටි කියන්නේ දියුණු හෝ ප්‍රසිද්ධ රටක් නෙවෙයි. මේක සරුසාර රටක් නෙවෙයි. ශ්‍රී ලංකාවටත් වඩා දුප්පත් රටක්. මේ සිව් දෙනා අවුරුදු විස්සක් පුරා එහේ ජීවත්වුණු ආකාරය තමයි චිත්‍රපටයේ ඇතුළත් වෙන්නේ," ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය.

දෙමළ ජාතික කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකු, තොරතුරු තාක්ෂණ / පරිගණක වෘත්තිකයෙකු, ආගමික පසුබිමක නිරත වූ පුද්ගලයෙකු සහ රථවාහන කාර්මිකයෙකු ටිමොර් ලෙස්ටි වෙත පැමිණ ලැබූ අත්දැකීම් මෙයින් දිගහැරෙයි.

ඔවුහු ශ්‍රී ලංකාවේ උතුර (මනිපායි), දකුණ (හම්බන්තොට), වයඹ (මඩහපොළ) සහ බස්නාහිර (ගම්පහ) යන සිව් දිගින් පැමිණි පුද්ගලයෝ වෙති.

ලසන්ත නමැති මෝටර් රථ කාර්මිකයා, ඔහු ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි ටිමෝරයට යන විට විදුලි බලය, ජල සැපයුම වැනි මූලික අවශ්‍යතා ද නොතිබුණු බව පවසයි.

මේ සිව් දෙනාගෙන් තිදෙනෙක් මේ වන විට එරට කාන්තාවන් සමග විවාහ වී දරුවන් ද ලබා සිටිති.

චිත්‍රපටයේ අරමුණ කුමක් ද?

"මම මේ චිත්‍රපටය හරහා යම් පණිවුඩයක් දෙන්න උත්සහ කළා. සුන්දර අනාගතයක සිහින මවාගෙන ක්‍රමානුකූල නොවන ආකාරයට විදෙස්ගතවීමෙන් ලැබීමට සිදුවන දුක් ගැහැට පැහැදිලි කිරීම එක් අරමුණක්. හැබැයි ඒක තීරණය කරන්න ඕන ප්‍රේක්ෂකයෝ තමයි," ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය.

චිත්‍රපටය නැරඹිය හැක්කේ කෙසේ ද?

මෙම චිත්‍රපටය මෙතෙක් ජනතාවට නැරඹීමට අවස්ථාවක් සලසා නැත. ආචාර්ය උදාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මේ වන විට අනුරාධපුරය, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පමණක් මෙය ප්‍රදර්ශනය කළ බව ය.

"අපි මේක අනුරාධපුර, පුත්තලම වගේ පැතිවල විශේෂයෙන් ප්‍රදර්ශනය කළේ විශේෂ හේතුවක් ඇතුව යි. දැනට විදෙස්ගත වන විශාල පිරිසක් එන්නේ ඒ ප්‍රදේශවලින්. ඒ නිසා ඒ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සංක්‍රමණය කියන දේ ඇති බරපතලකම පෙන්වන්න තමයි ඒ ප්‍රදේශ තෝර ගත්තේ."

ඉදිරියේදී මෙම චිත්‍රපටය මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට පියවර ගන්නා බව ද ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය.

ආචාර්ය උදාන් ප්‍රනාන්දු යනු කවුද?

ආචාර්ය උදාන් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව යන විෂය යටතේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගෙන තිබේ.

සීපා හෙවත් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ඇතුළු වගකීම් රැසකට උර දුන් ඔහු මේ වන විට ආසියානු අධ්‍යයන සංගමයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරයි.

ඔහු ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව පදනම් කරගෙන සේවය කරන අතර, මෙම චිත්‍රපටයට පාදක වූ ටිමෝරය ඇතුළු ආසියානු රටවල සංවර්ධනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නෙකි.