ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්නේ කොහොම ද?

Sri Lankan Mechanic in blue uniform is holding wrench against waving Sri Lanka flag background

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

පසුගිය දිනකදී බම්බලපිටියේ පවත්වාගෙන ගිය ව්‍යාජ උසස් අධ්‍යාපන ආයතනයක් පොලිසිය විසින් වටලනු ලැබීමේ සිදුවීම දිවයින පුරා පවත්වාගෙන යන මෙවන් ව්‍යාජ උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනය පිළිබඳ ගැටලුවේ බරපතළ බව පෙන්වන උදාහරණයකි.

විදෙස් රැකියාවකට යාමේ අරමුණින් බොහෝ දෙනෙකු විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන නමුත් ඒවාට ඇති පිළිගැනීම පිළිබඳ ගැටලු නිසා එලෙස කාලය හා මුදල් අහිමි කර ගත් අය බොහෝ සිටිති.

ව්‍යාජ ආයතනවලට රැවටෙන්න එපා!

තිසර ඒකනායක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජීවත් වන විසිපස් හැවිරිදි තරුණයෙකි. ඔහු පසුගිය වසරේ විදුලි කාර්මික වෘත්තිය පුහුණු පාඨමාලාවක් හදාරන්නේ රුමේනියාවේ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙනි.

"ගිය අවුරුද්දේ මම මේ කෝස් එක කළේ රුමේනියා යන්න බලාගෙන. ඒ වුණාට පස්සෙ තමයි දැනගත්තේ ඒක බොරු කෝස් එකක් කියලා. අන්තිමට මගෙ සල්ලිත් නැති වුණා. කාලයත් අපරාදෙ," ඔහු බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

මේ, විදෙස්ගත වීමේ අරමුණින් විවිධ පාඨමාලා හැදෑරීමට ගොස් සිය මුදල් හා කාලය අහිමි කරගත් එක් තරුණයෙකුගේ කතාවක් පමණි. එවැනි සිදුවීම්වලට මුහුණ දුන් බොහෝ අය වර්තමානයේ සිටිති.

පිළිගත් ආයතනයක් තෝරා ගන්නේ කෙසේ ද?

ඔබ උසස් අධ්‍යාපනය සඳහා ආයතනයකට යොමු වන්නේ නම්, එය රජයට අයත් උසස් අධ්‍යාපන ආයතයක් නම්, බොහෝවිට ඔබට මෙම ගැටළුවට මුහුණ දීමට සිදු නොවේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා රජයේ විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත කිරීම් පරීක්ෂා කරගත හැකි නිසා වඩාත් පිළිගත් උපාධි පාඨමාලාවකට අයදුම් කිරීමේ හැකියාව ද තිබේ.

නමුත් අතිශය තරගකාරී විභාගයක් වන උසස් පෙළ විභාගයෙන් රජයේ විශ්වවිද්‍යාලයයකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වූ හෝ වෙනත් හේතුවක් නිසා හෝ අධ්‍යාපනය හැදෑරීමට අර්ධ රාජ්‍ය හෝ පුද්ගලික විශ්වවිද්‍යාල තෝරාගන්නා සිසුහු සැලකිය යුතු සංඛ්‍යාවක් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිටිති.

එලෙස උසස් අධ්‍යාපන ආයතයක් හා පාඨමාලාවක් තෝරාගැනීමේ දී එය පිළිගත් එකක්දැ යි සෙවීමට ඔබ යා යුත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවියට හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ය. එම වෙබ් අඩවි දෙක තුළම එලෙස බලය හිමි ආයතන හා, එම ආයතනවලින් ලබා දිය හැකි උපාධි පාඨමාලා සඳහන් ලැයිස්තු පළකර තිබේ.

ශ්‍රී ලංකාව තුළ යම් ආයතනයක් උපාධි පිරිනැමීමට බලාපොරොත්තු වන්නේ නම් එම ආයතන 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තිය යටතේ ආයතනය සහ පාඨමාලා ලියාපදිංචි කළ යුතු ය. ඒවා වරින් වර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයට යටත් වේ.

මෙවැනි ආයතන 26ක් මේ වන විට ලියාපදිංචි වී තිබෙන අතර, විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමන උපාධි පාඨමාලා පිරිනැමීම සිදුවන්නේ මෙරට ඇති ආයතනයක් හා සම්බන්ධ වී ඒවා සඳහා ඉහත වගන්ති යටතේ අවසර ගැනීමෙන් පසුව ය.

දැනට ලියාපදිංචි ආයතන 26 තුළ ඇතැම් ආයතන එලෙස විදේශිය විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වී උපාධි පිරිනැමීම සිදු කරයි.

දෙස්/ විදෙස් රැකියාවකට යන්න වෘත්තිය පුහුණු ආයතනයක් තෝරා ගන්නේ කොහොම ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1990 අංක 20 දරණ තෘතියික හා වෘත්තිය පුහුණු අධ්‍යාපන පනත සහ අංක 887/8 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඕනෑ ම වෘත්තිය පුහුණු ආයතයක් "තෘතියික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාව" යටතේ ලියාපදිංචි විය යුතු ය.

NVQ සහතික ලබා දීමේ බලය ලබා දෙන්නේ මෙම කොමිසමෙනි. එම කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය උදේනි වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය.

"රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ ඕනෑම ආයතනයක් වෘත්තිය පුහුණු ලබා දෙනවා නම් අපේ කොමිසම යටතේ අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු යි. එහෙම නොකරනවා නම් ඒක නීති විරෝධියි සහ ඒ ආයතන ව්‍යාජ ආයතන හැටියට යි සලකන්නේ. ඔවුන්ගේ විෂය නිර්දේශ කොමිසමට ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගත යුතුයි," ආචාර්යවරයා පැහැදිලි කළේ ය.

එමෙන් ම ඔහු පැවසුවේ, එලෙස අනුමත ආයතන ලැයිස්තුව www.tvec.gov.lk වෙබ් අඩවියේ පළකර ඇති බව යි. දැනට එවැනි ආයතන 1300ක් පමණ කොමිසම යටතේ ලියාපදිංචි බව ඔහු පැවසුවේ ය.

අනුමත වෘත්තීය පුහුණු ආයතනවලට සහතික පත්‍ර පිරිනැමිය හැකි ආකාරය පිළිබඳ ද ඔහු විස්තර කළේ ය.

"මේ ආයතනවලට NVQ සහතික නිකුත් කරන්න පුළුවන්. ඒ සහතික ඍජුව ම අපි හරහා තමයි නිකුත් කරන්නේ. NVQ නොමැති වෙනත් සහතික වුණත් නිකුත් කරන්න පුළුවන්. මොන සහතිකය පිරිනැමුවත් ඒ ආයතනය අපේ කොමිසම යටතේ ලියාපදිංචි වෙලා තිබිය යුතුමයි ."

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව යනු මට්ටම් හතක සුදුසුකම් රාමුවකි. සුදුසුකම් යනු සාමාන්‍යයෙන් ශ්‍රම වෙළෙඳපොලේ යම් ස්ථානයක අවශ්‍යතාවයන්ට ගැලපෙන නිපුණතා ඒකක පැකේජයකි. මෙම රාමුව 2005 වසරේදී හඳුන්වා දී තිබෙන අතර මෙය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සුදුසුකම් රාමුවකි.

ආචාර්යවරයා පැවසුවේ, ව්‍යාජ ආයතනවලට නොරැවටී කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා පිළිගත් ආයතනයක අධ්‍යාපනය සඳහා යොමුවන ලෙස ඔවුන් නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරන බව යි.

විදෙස් රැකියාවකට යන්න සුදුසු පාඨමාලාවක් තෝරා ගන්නා ආකාරය

ශ්‍රී ලංකාවේ පුහුණු/නුපුහුණු ශ්‍රමිකයෝ රැසක් වසරකට විදේශ රැකියා සඳහා පිටත්ව යති. ගෘහ සේවිකා සහ ගෘහ පාළිකා වැනි මැදපෙරදිග රැකියා සඳහා බොහො දෙනෙකු යොමුවන අතර, වර්තමානය වන විට යුරොපීය රටවලට සහ ඊශ්‍රායලය වැනි රටවල් සඳහා සාත්තු සේවකයන් ලෙස බොහෝ දෙනෙක් යාමට බලාපොරොත්තු වෙති.

මේ සම්බන්ධයෙන් සලකා බලන සුදුසුකම් සම්බන්ධයෙන් අප විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමක් කරන ලදි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු හා බඳවාගැනීම්) යාපා පතිරණ පැවසුවේ බොහෝ රැකියා සඳහා සාමාන්‍යයෙන් NVQ 3 වන අදියර සලකා බලන බව යි.

"සාත්තු සේවක වගේ රැකියා සඳහා බොහෝ වෙලාවට සලකා බලන්නේ NVQ Level 3. මේකෙන් යුරෝපීය රටවල්වලට වගේ ම ඊශ්‍රායලය, ජපානය වගේ රටවල්වල රැකියා සඳහා යන්න පුළුවන්. නමුත් එංගලන්තය වගේ සමහර යුරෝපීය රටවල් වල NVQ level 3 වගේම Level 4, 5 ඉල්ලන අවස්ථාත් තියෙනවා. ඒක රඳා පවතින්නේ රැකියාවෙ ස්වභාවය අනුව. සාමාන්‍යයෙන් හැම රැකියාවකම අවම සුදුසුකම NVQ තුන්වන අදියර."

ඔහු පැවසුවේ, විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට විදේශ සේවා නියුක්ති කාර්යංශය යටතේම එම පාඨමාලා හැදෑරීමට ද අවස්ථාව ඇති බව යි.

"අපේ ආයතනය යටතේම සාත්තු සේවය, ගෘහ පාලිකා වගේ රැකියා සඳහා NVQ Level 3, 4 මට්ටම්වල පාඨමාලා පවත්වනවා. ඕනෑම කෙනෙක්ට අදාළ ගාස්තුව ගෙවලා ලියාපදිංචි වෙලා අපේ නේවාසික පුහුණුව ලබා ගන්න පුළුවන්," නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය.

ඔහු පැවසුවේ එම පුහුණු මධ්‍යස්ථාන සියලු පළාත් ආවරණය වන ආකාරයට පිහිටුවා ඇති බවයි. විදෙස් රැකියාවකට යාමට බලාපොරොත්තු වන ඕනෑ ම අයෙකුට ඒ සඳහා අයැදුම් කළ හැකි අතර, ඒවා සඳහා වන සුදුසුකම් කාර්යංශ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

කොරියානු රැකියා සඳහා පිටත්ව යන අය සඳහා ද විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා පුහුණුවක් ලබා දෙන අතර, ඒ සඳහා ඔවුන් භාෂා විභාගය සමත් වී කොරියානු සමාගමක් හා සේවා ගිවිසුමකට එළඹ සිටිය යුතු ය. එවැනි අයැදුම්කරුවන්ට කොරියාවට පිටත්ව යාමට පෙර මෙම නේවාසික පුහුණුවට සම්බන්ධ වීමේ අවස්ථාව ඇත.

"සමහර රැකියාවලට NVQ අනිවාර්යය නෑ. නමුත් එහෙම සුදුසුකමක් තිබීම අමතර වාසියක් වෙන්න පුළුවන්," නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

අප මේ සඳහා වැඩිදුර තොරතුරු විමසීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) තොරතුරු නිලධාරී චන්න සුබසිංහ සම්බන්ධ කරගත් අතර දැනට විදෙස් රැකියා කිරීමට බලාපොරොත්තු වන අය වෙනුවෙන් ක්‍රියාත්මක පාඨමාලා කිහිපයක්ම ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.

"දැනට සාත්තු සේවක පාඨමාලා, කෘෂිකාර්මික සහායක පාඨමාලා සහ අනෙකුත් කාර්මික පාඨමාලා NVQ level 3, 4 අදියරවලින් හදාරන්න අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා. මීට අමතරව කාර්මික විද්‍යාලය හා ජර්මන් ටෙක් එක වගේ ආයතනවලින් මීට වඩා ඉහළ NVQ සුදුසුකම් ලබා ගන්න පුළුවන්."

තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් තොරතුරු තහවුරු කර ගන්න!

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලින් තොරතුරු විමසීමේ බලය පුරවැසියාට ලබා දී තිබේ. ඒ 43 (ඒ) හා (ඔ) වගන්තිවලිනි.

ඔබට අධ්‍යාපන ආයතන පිළිබඳ බොහෝ තොරතුරු ද එමගින් ඉල්ලුම් කළ හැකි ය.