ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Air India සිදු කළ ආරක්ෂක උල්ලංඝනයන් 51ක් විගණනයකින් හෙළි වෙයි
- Author, සෞතික් බිස්වාස්
- Role, ඉන්දීය වාර්තාකරු
ඉන්දීය ගුවන් සේවා නියාමන අධිකාරිය විසින් පසුගිය වසර තුළ Air India ගුවන් සමාගමේ ආරක්ෂක ක්‍රමවේදයන් උල්ලංඝනය කිරීම් 51ක් එහි වාර්ෂික ගුවන් සේවා පරීක්ෂාවේදී සොයා ගනු ලැබ තිබේ.
පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳ වූ Air India බෝයිං 787 ගුවන් අනතුරට සම්බන්ධයක් නොතිබුණ ද, එම ඛේදවාචකයෙන් පසු මෙම සොයාගැනීම් වාර්තා වේ.
එලෙස වාර්තා වූ ආරක්ෂක ගැටලු හතක් ඉතා බරපතළ ඒවා බව විගණකවරුන් පැවසූ නමුත් ඒ පිළිබඳ තොරතුරු ලබා දී නැත.
ගුවන් සේවා මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා වූ සාමාන්‍ය පරීක්ෂාවන්හි කොටසක් ලෙස සිදු කෙරුණු ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ (DGCA) ජූලි මාසයේ විගණනයේදී තමන් "පූර්ණ විනිවිදභාවයකින් යුතුව" කටයුතු කළ බව Air India සමාගම පැවසීය. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තම මෙහෙයුම් පිළිබඳව තක්සේරු කිරීමට සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා නිතිපතා විගණනයට ලක් කිරීම සියලු ම ගුවන් සමාගම් සඳහා පොදු කාර්යයක් බව ය.
"අපිට එයින් සොයාගත් දේ පිළිබඳ තොරතුරු ලැබිලා තිබෙනවා, අඩුපාඩු නිවැරදි කිරීමට ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳ විස්තරත් සමග ම නියමිත කාල රාමුව ඇතුළත අපගේ ප්‍රතිචාරය ගුවන් සේවා නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කරනවා," එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දීය ගුවන් සේවා නියාමන අධිකාරිය විසින් සිය වාර්ෂික විගණනයේදී වාණිජ ගුවන් සේවා 8ක ආරක්ෂක ගැටලු 263ක් සොයා ගන්නා ලද අතර, ඊට Air India ගුවන් සේවයේ මධ්‍යම මට්ටමේ ගැටලු 44ක් සහ බරපතළ ගැටලු 7ක් ඇතුළත් විය.
කැපී පෙනෙන ගැටලු සහිත අනෙකුත් ගුවන් සමාගම් අතරට Alliance Air (57), Ghodawat Star (41), Quick Jet (35), IndiGo (23) සහ SpiceJet (14) ඇතුළත් විය.
ඉන්දියානු විගණන සඳහා ප්‍රමිතීන් මෙහෙයවන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට අනුව, පළමු වන මට්ටමේ ගැටලු යනු බරපතළ "ආරක්ෂාව අඩු වීම හෝ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වීම" වැළැක්වීම සඳහා පනවා ඇති නීති අනුගමනය නොකිරීම ය.
මෙම ගැටලු ගුවන් සමාගමේ මෙහෙයුම් සඳහා ලබා දී ඇති අනුමැතිය හෝ බලපත්‍ර අත්හිටුවීම, සීමා කිරීම හෝ අවලංගු කිරීම වැනි කඩිනම් ක්‍රියාමාර්ගවලට හේතු විය හැක.
දෙවන මට්ටමේ සොයාගැනීම් එතරම් තීරණාත්මක නොවන නමුත් ආරක්ෂාවට අදාළ වේ. මේවා "ආරක්ෂාව අඩු කිරීමට හෝ ඇතැම් විට අනතුරු ඇති වීම" වැළකීම සඳහා පනවා ඇති නීති අනුගමනය නොකිරීමෙන් ඇති වේ.
ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගුවන් සමාගම්වලට මාස තුනක් දක්වා කාලයක් ලබා දී ඇති අතර, නියාමකයා විසින් ඊට අදාළ සැලැස්ම අනුමත කළහොත් එම කාල සීමාව දීර්ඝ කර ගත හැකි ය.
නවතම විගණනයේදී Air Indiaහි පවතින නිශ්චිත අඩුපාඩු පිළිබඳ විස්තර අපැහැදිලි නමුත් රොයිටර්ස් විසින් උපුටා දක්වන ලද රාජ්‍ය වාර්තාවක් ගුවන් සමාගමේ පවතින ප්‍රමාණවත් නොවන නියමු පුහුණුව, අනුමත නොකළ ස්ටිමියුලේටර් භාවිතය සහ දුර්වල සේවා මුර පිළිබඳව පෙන්වා දෙයි.
රොයිටර්ස් පුවත් සේවයට අනුව, බෝයිං 787 සහ 777 ගුවන් යානා පියාසර කරන ඇතැම් ගුවන් නියමුවන් අනිවාර්ය අධීක්ෂණ රාජකාරී අතපසු කරන බව ත්" ඔවුන් කළ යුතු වැදගත් පුහුණු වීම් නැවත නැවතත් මග හැරී ඇති බව ත් නිලධාරීන් සොයා ගෙන ඇත.
වෙනත් ප්‍රකාශයක් නිකුත් කරමින් DGCA පවසා ඇත්තේ, ආරක්ෂාවේ පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ වැඩිදියුණු කිරීම් සිදු කිරීම සඳහා එහි 'වාර්ෂික නිරීක්ෂණ සැලැස්ම' යටතේ නිතිපතා විගණන පැවැත්වූ බව ය.
ICAO ප්‍රමිතීන් සහ හොඳ ම ගෝලීය භාවිතයන් මත පදනම්ව, ගුවන් සමාගම් නීතිරීති අනුගමනය කරන බවට සහ සමස්ත මෙහෙයුම් වැඩිදියුණු කරන බවට වග බලා ගැනීම සඳහා මෙම විගණන සිදු කෙරෙන බව නියාමක ආයතනය පැවසීය.
විගණනවලදී ගුවන් යානා විශාල ගණනක් සහිත විශාල ගුවන් සමාගම්වල ගැටලු වැඩි ගණනක් හමු වීම සාමාන්‍ය දෙයක් බව ද නියාමක ආයතනය පැවසීය.
"ඒ අයගේ ක්‍රියාකාරකම්වල ප්‍රමාණය හා පරිමාණයෙන් අදහස් ඒ වගේ නිරීක්ෂණවලදී ගැටලු හඳුනා ගන්න එකට වඩා ඔවුන්ගේ මෙහෙයුම් කොතරම් විශාල හා සංකීර්ණ ද කියන එක. ගෝලීය වශයෙන්, ගුවන් සේවා නියාමකයින්ට ඒ වගේ විශාල ගුවන් සමාගම් එක්ක කටයුතු කරද්දී ඒ වගේ රටාවක් දකින්න පුළුවන්, ඒ සමාගම්වල තියෙන විවිධත්වය සහ කාර්යබහුලත්වය එක්ක.
මෙම මස මුලදී, එයාර් බස් A320 යානයක අවශ්‍ය එන්ජින් කොටස් ප්‍රතිස්ථාපනය ප්‍රමාද කිරීම සහ ඒවා සිදු කර ඇති බව පෙන්වීමට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නියාමන ආයතනය මාර්තු මාසයේදී Air India සමාගමේ අඩු මිලට මගීන්ට ගමන් කළ හැකි ගුවන් යානා සහිත ගුවන් සේවයට [Air India Express] අනතුරු ඇඟවූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.
Air India Express රොයිටර්ස් පුවත් සේවය වෙත පැවසුවේ තමන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය හමුවේ වැරැද්ද පිළිගත් බවත් සහ එය "නිවැරදි කිරීමට මෙන් ම එය නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගත්" බවත් ය.
බීබීසීය සමග මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ප්‍රධානී ෆයිස් අහමඩ් කිඩ්වායි පැවසුවේ, මෙම සිදුවීමේ තොරතුරු "ගුවන් සේවය විසින් සිදු කරන ලද ස්වයං වාර්තා කිරීමක්" ඔස්සේ ලැබුණු බව යි.
"මම ඒ [අඩුපාඩු] අනුමත කරන්නේ නැහැ. නමුත් [අඩු ම තරමින්] අපට මේ වාර්තා ලැබීමට පටන් ගෙන තිබෙනවා. මේක ගුවන් සමාගමෙන් ලැබුණේ. මේ සම්බන්ධයෙන් පියවර ගෙන තිබෙනවා. අපේ විගණනවලදී අපි අපේ නිලධාරීන්ට වඩා ත් අවදියෙන් සිටීමට ත්, යම් අඩුපාඩුවක් තිබේදැයි සොයා බලා එය අපගේ අවධානයට යොමු කිරීමටත් නියෝග කර තිබෙනවා," ඔහු පැවසීය. "ඉන්දියාවේ අහස සැමවිට ම ආරක්ෂිතයි."
ICAO දත්ත උපුටා දක්වමින් කිඩ්වායි සඳහන් කළේ, ගුවන් ගමන් මිලියනයකට සිදුවන අනතුරු සලකා බැලීමේදී ගෝලීය සාමාන්‍යයට වඩා ඉන්දියාව නිරන්තරයෙන් ඉදිරියෙන් සිටින බව ය.
2010 සහ 2024 අතර කාලය තුළ ඉන්දියාව ගෝලීය සාමාන්‍යය ඉක්මවා ගියේ දෙවරක් පමණක් බව ත්, එම අවස්ථා දෙක ම ප්‍රධාන අනතුරු හේතුවෙන් සිදු වූ බවත් ඔහු පැවසීය.
2020 අගෝස්තු මාසයේදී, 1344 යන Air India Express ගුවන් යානය කෝසිකෝඩ්හි වර්ෂාවෙන් තෙත් වූ ධාවන පථයකින් ලිස්සා යාමෙන් අනතුරට පත් වූ අතර, පුද්ගලයින් 21 දෙනෙකුට ජීවිත අහිමි විය.
2010 මැයි මාසයේදී, ඩුබායි සිට පැමිණි 812 ගුවන් යානය මැංගලෝර්හිදී ධාවන පථයෙන් ඉවතට පැන දුර්ගයකට වැටී 158 දෙනෙක් මිය ගියහ. ජූ නි මාසයේදී සිදුවූ Air India අනතුර වසර 15ක් තුළ ඉන්දියාවේ සිදු වූ තුන්වන බිහිසුණු අනතුර විය.
ඉන්දීය රජයේ ගුවන් සේවා අමාත්‍යංශයට අනුව, 2020 සිට ඉන්දියානු ගුවන් සමාගම් තාක්ෂණික ගැටලු 2,461ක් වාර්තා කර ඇත.
2025 ජනවාරි වන විට IndiGo සමාගමට ගැටලු 1,288ක් ඇති වූ අතර, SpiceJet සමාගම ගැටලු 633ක් වාර්තා කළේ ය. Air India සහ එහි අනුබද්ධිත Air India Express සමාගම ගැටලු 389ක් වාර්තා කර ඇත.
"ගුවන් සමාගම් වැඩි වැඩියෙන් ගැටලු වාර්තා කරනවා, ඒක හොඳ දෙයක්" යැයි කිඩ්වායි පැවසීය.
"මම කියන්නේ නැහැ මම ඒ ගැන සතුටු වෙනවා කියලා. නමුත් වාර්තා කිරීම් වර්ධනය වන සංස්කෘතියක් ඇති වීම වටිනවා. සෑම අඩුපාඩුවක් ම බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම, නිහඬව ඉඳලා ගුවන් යානයක් පියාසර කරනවාට වඩා ඇත්තට ම හොඳයි."