දැන් ගුවන් අනතුරු වැඩි වෙලා ද? ගුවන් ගමන් අනතුරුදායක ද?

    • Author, ජෝෂුවා චීටම්, යී මා, මැට් මර්ෆි
    • Role, BBC Verify

ලෝකයේ අවධානයට ලක්වූ ව්‍යසන මාලාවකින් පසුව, ගුවන් ගමන් අනතුරු නිරන්තරයෙන් සිදු වන බව ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයෝ පවසති.

2024 දෙසැම්බර් 29, දකුණු කොරියාවේ ජේජු එයාර් ගුවන් යානයක් ගොඩබෑමේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 179 දෙනෙක් මිය ගියහ. ඉන් මාසයකට පසු, වොෂින්ටන්හි හමුදා හෙලිකොප්ටරයක් සහ මගී ගුවන් යානයක් ගැටීමෙන් පුද්ගලයින් 67 දෙනෙක් මිය ගියහ.

ඉතාමත් මෑතකදී, අහමදාබාද්හිදී Air India ගුවන් යානයක් ගුවන් ගත වී මද වේලාවකට පසු කඩා වැටීමෙන් එහි සිටි 261 දෙනාගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලෝ ම මිය ගියහ.

මෙම මාතෘකාව පිළිබඳව පවත්වා ඇති මත විමම් සීමා වුව ද, පෙබරවාරි මාසයේදී ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කළේ, ඉන්ටර්නෙට් හරහා සංසරණය වන මෑත කාලීන ගුවන් ගමන් අනතුරුවල ඡායාරූප, ගුවන් ගමන් පිළිබඳව ඇතැම් එක්සත් ජනපද පාරිභෝගිකයින්ට අවිශ්වාසයක් ඇති කර ඇති බව ය.

නමුත් BBC Verify විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා දත්ත විශ්ලේෂණය කරනු ලැබ ඇති අතර, පසුගිය දශක දෙක තුළ ගුවන් අනතුරුවල අඩුවීමක් දක්නට ලැබෙන බව සොයාගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ, මෙම වසරේ ජනවාරි අවසානය දක්වා ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) විසින් ගුවන් අනතුරු පිළිබඳ සංඛ්‍යා ලේඛන සම්පාදනය කරනු ලැබ තිබේ.

NTSBහි මෙම දත්ත පෙන්වා දෙන්නේ 2005 සිට 2024 දක්වා කාලය තුළ එක්සත් ජනපදයේ ගුවන් අනතුරු සාමාන්‍යයෙන් අඩු වී ඇති නමුත් මුළු ගුවන් ගමන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ය. 2025 ජනවාරි මාසයේ (52) ගුවන් අනතුරු සංඛ්‍යාව, 2024 ජනවාරි මාසයේ (58) සහ 2023 ජනවාරි මාසයේ (70) ගුවන් අනතුරු සංඛ්‍යාවට වඩා අඩු වූ බව එම දත්ත හෙළි කරයි.

ගෝලීය ගුවන් ගමන් සම්බන්ධ සිදුවීම් නිරීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) දත්තවලට අනුව, 2005 සහ 2023 අතර කාලය තුළ ලොව පුරා ගුවන් ගමන් (ගුවන්ගත වීමේදී) මිලියනයකට සිදුවන අනතුරු සංඛ්‍යාවේ ද පැහැදිලි පහත වැටීමේ ප්‍රවණතාවක් තිබේ.

ICAO සංවිධානයට අනුව, ගුවන් යානා අනතුරකට බරපතළ තුවාල හෝ මරණ පමණක් නොව, ගුවන් යානයට හානි සිදුවී අලුත්වැඩියා කිරීමට සිදුවන හෝ අතුරුදහන් වන සිදුවීම් ද ඇතුළත් වේ.

ප්‍රධාන ගුවන් අනතුරු හේතුවෙන් ඇතැම් වසරවල සිදුවන මරණ ගණන ඉහළ ගිය ද, ගුවන් අනතුරු මරණ පිළිබඳ ගෝලීය දත්ත ද කාලයත් සමග පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

2014දී එවැනි සිදුවීම් දෙකක් සැලකිය යුතු වැඩිවීමකට දායක විය.

2014 මාර්තු මාසයේදී, මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පුද්ගලයින් 239 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී අතුරුදන් විය. ජූලි මාසයේදී, තවත් මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානයක් නැගෙනහිර යුක්‍රේනයට ඉහළ අහසේදී රුසියාවේ නිෂ්පාදිත මිසයිලයකින් බිම හෙළන ලද අතර, ඉන් 300කට ආසන්න පිරිසක් මිය ගියහ.

මෙවැනි දත්ත සමූහ බොහෝ විට හදිසි, විශාල උච්චාවචනයන් පෙන්වන බව ත්, එය ගුවන් අනතුරු වැනි දුර්ලභ නමුත්, ඉහළ බලපෑම් සහිත සිදුවීම් සඳහා සාමාන්‍ය දෙයක් බව ත් මහාචාර්ය ශ්‍රීමත් ඩේවිඩ් ස්පිගල්හෝල්ටර් බීබීසී වෙරිෆයි වෙත පැවසීය.

"අනතුරු වෙනුවට මරණ සංඛ්‍යාව ගණන් කළොත් ඒක සෑහෙන්න වෙනස් වෙන දෙයක් සහ තනි විශාල අනතුරකදී ඒක වැඩි වෙනවා," ඔහු පැවසුවේ ය.

"අහම්බෙන් වෙන සිද්ධි රටාවකට සිද්ධ වෙන්නේ නැහැ, ඒවා පොකුරු විදිහට සිද්ධ පුළුවන්. අවාසනාවකට වගේ, ගුවන් අනතුරු අතර සැබෑ සම්බන්ධයක් නැතිවෙලාවටත්, ඒවා එකිනෙකට සම්බන්ධයි වගේ පේන්න පුළුවන්."

ෆින්ලන්තයේ හිටපු ප්‍රධාන ගුවන් ආපදා විමර්ශක ඉස්මෝ ඇල්ටොනන් බීබීසී වෙරිෆයි වෙත පැවසුවේ, මෑත කාලීනව සිදු වූ ඉහළ පෙළේ අනතුරු මාලාව සමස්ත ගුවන් යානා ආරක්ෂාවේ පහත වැටීමක් පෙන්නුම් නොකරන බව ය.

"මේ කාල පරිච්ඡේදයේ අවාසනාවන්ත විදිහට අපට විවිධ ආකාරයේ අනතුරු සිදු වුණා, නමුත් මේවා එකිනෙකට වෙනස් අවස්ථා නිසා මිනිස්සු මේ මත පදනම් වෙලා නිගමනවලට එළැඹෙන්න හොඳ නෑ," ඔහු පැවසුවේ ය.

පසුගිය මාස කිහිපය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් අනපේක්ෂිත බව ඔහු සඳහන් කළේ, දෙසැම්බර් මාසයේදී රුසියානු ගුවන් යානා නාශක මිසයිලයකට ගොදුරු වීමෙන් පසු කසක්ස්තානයේදී කඩා වැටුණු අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සම්බන්ධ සිදුවීම උපුටා දක්වමිනි.

නව බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සහ ගුවන් නියමුවෙකු වන මාර්කෝ චෑන් බීබීසී වෙරිෆයි වෙත පැවසුවේ, ගුවන් අනතුරු පිළිබඳ දැනුවත්භාවය වැඩිවීම තවදුරටත් ඉහළ යමින් පවතින්නේ "සමාජ මාධ්‍ය වේදිකාවලින් අනතුරු වැඩි වැඩියෙන් නිරාවරණය වීම," නිසා බව ය.

ටික්ටොක්හි සංසරණය වන සුපර්මෑන් චිත්‍රපටයකින් ලබාගත් වීඩියෝවක, සුපිරි වීරයා ක්‍රීඩාංගණයකට කඩා වැටෙන ජෙට් යානයක් නවත්වන ආකාරය පෙන්වයි. එහි මෙම මෙවැනි කැප්ෂන් එකක් යොදා තිබේ: "වර්තමානයේ වෙන සිද්ධි විනිශ්චය කරමින් පහුගිය අවුරුදු හතරේ හැම දවසක ම පීට් බූටජජ් හිටපු විදිහ." ජනවාරි මාසයේදී හිටපු එක්සත් ජනපද ප්‍රවාහන ලේකම්වරයා ධූරයෙන් ඉවත් වූ දා සිට ගුවන් අනතුරු වැඩි වී ඇති බව වෛරල් වී ඇති මෙම වීඩියෝවෙන් කියවේ.

2024 ජනවාරි මාසයේදී ගුවන් ගමනක් අතරතුර දොරක් එකවර විවෘත වීමෙන් පසුව, මෑත වසරවලදී බෝයිං 737 මැක්ස් සම්බන්ධ සිදුවීම් මාලාවක් පුළුල් ලෙස මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල අවධානයට ලක්ව ඇත.

එම සිදුවීමෙන් සහ තවත් සිදුවීම්වලින් පසුව, ඇතැම් මගීන් බෝයිං ගුවන් යානා වර්ජනය කිරීම ආරම්භ කළ අතර, වර්ධනය වන ආරක්ෂක ගැටලු හේතුවෙන් සමාගමේ කොටස් මිල සැලකිය යුතු ලෙස පහත වැටීම ද සිදුවිය.

මෙවැනි සිදුවීම් සහ ප්‍රධාන අනතුරු බලධාරීන් විසින් හොඳින් විමර්ශනය කරනු ලබන බව විශේෂඥයෝ බීබීසී වෙරිෆයි වෙත පැවසූහ. අනාගතයේදී ගුවන් නියමුවන්ට පුහුණු වීමට සහ ඒ හා සමාන තත්ත්වයන්ට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට උපකාර කිරීම සඳහා, අතීත අනතුරුවලින් ලබාගත් නව තොරතුරු සහ දත්ත නියමුවන් පුහුණු කිරීමේදී (pilot training simulator) යොදා ගනු ලැබේ.

"වර්තමානයේ සිමියුලේටර් දිහා බැලුවොත්, ඒවා කොච්චර දියුණු ද කියලා කියනවා නම් ඒවා සැබෑ ගුවන් යානා වගේ," ඉස්මෝ ඇල්ටොනන් පැවසුවේ ය. "මම අවුරුදු 40කට කලින් පියාසර කිරීමට පටන් ගත් කාලයට වඩා එය සම්පූර්ණයෙන් ම වෙනස්."

දඩ, බලපත්‍ර අත්හිටුවීම් සහ මෙහෙයුම් සීමා හරහා ආරක්ෂක උල්ලංඝණයන් සඳහා නියාමකයින්ට ගුවන් සමාගම්වලට දඬුවම් කළ හැකි අතර, ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වුවහොත් ඇතැම් රටවල් හෝ කලාපවලින් ගුවන් සමාගම් තහනම් කිරීමට පවා හැකියාව ඇත.

මෑත කාලීනව අනතුරු රැල්ලක් වාර්තා වුව ද, ගුවන් ගමන් යනු තවමත් ආරක්ෂිතම ගමන් ක්‍රමය වේ.

එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2022දී එක්සත් ජනපදයේ ප්‍රවාහනය ආශ්‍රිත සියලු ම මරණවලින් 95%කට වඩා සිදුවී ඇත්තේ මහා මාර්ගවල ය. ගුවන් ගමන්වලට සම්බන්ධ ඒවා තිබුණේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි.

ගමන් කළ දුර අනුව සිදුවන මරණ සංඛ්‍යාව දෙස බලන විට, ගුවන් ගමන් ආරක්ෂිතම ප්‍රවාහන ක්‍රමවලින් එකක් බව දත්ත මගින් වඩාත් පැහැදිලි වේ.

එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික ආරක්ෂක කවුන්සිලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2022දී ගුවන් සමාගම්වල සැතපුම් මිලියන 100කට මගී මරණ 0.001ක් පමණක් සිදුවී ඇති අතර, මගී වාහනවල මරණ 0.54ක් වූ අතර එය ගුවන් ගමන්වල ආරක්ෂාව බෙහෙවින් වැඩි බව පෙන්නුම් කරයි.

විවිධ ආකාරයේ අනතුරු සහ රෝගාබාධ හේතුවෙන් එක්සත් ජනපදයේ මිය යාමේ සම්භාවිතාව පිළිබඳ සංඛ්‍යාලේඛන ද ජාතික ආරක්ෂක කවුන්සිලය සපයයි.

විවිධ ආකාරයේ මාර්ග අනතුරුවලින් මියයාමේ සැලකිය යුතු අවදානමක් තිබුණ ද, ගුවන් අනතුරකින් මිය යාමේ සම්භාවිතාව ගණනය කිරීමට නොහැකි තරම් කුඩා යැයි සලකයි.

ඇත්ත වශයෙන් ම, ඇතැම් රටවල මාර්ග අනෙක් රටවලට සාපේක්ෂව වඩා ත් භයානක ය.

2021 වසරේ දත්ත මත පදනම්ව, ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවල මාර්ග තදබදය හේතුවෙන් සිදුවන මරණ අනුපාතය ඇස්තමේන්තු කර ඇත.

මාර්ග අනතුරු සඳහා ලෝකයේ වඩාත් ම භයානක රටවල් වන්නේ ගිනියාව (පුද්ගලයින් 100,000කට මරණ 37.4), ලිබියාව (34.0) සහ හයිටි (31.3) බව ඔවුහු සොයා ගත්හ.

නමුත් ඔබ කොතැනක ජීවත් වූවත්, ගුවන් ගමන්වල නිරත වන්නන් සඳහා ඉස්මෝ ඇල්ටොනන් ලබා දුන් උපදෙස පැහැදිලි ය.

"ගුවන් තොටුපළට යන ගමනේදී පරිස්සම් වෙන්න," ඔහු පැවසීය. "ගුවන් ගමනට සාපේක්ෂව ඒක තමයි ගමනේ භයානක ම කොටස."

මෙම ලිපිය මුල් වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 2025 පෙබරවාරි මාසයේදී වන අතර මෑත කාලීන ගුවන් අනතුරුවලින් පසුව එය යාවත්කාලීන කර ඇත.