ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශිරන්ති රාජපක්ෂ FCIDයට සහ නාමල් රාජපක්ෂ CIDයට ආවේ ඇයි?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (පෙබ: 03) පෙරවරු 10ට පමණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණියා ය.
ශිරන්ති රාජපක්ෂට අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබිණි.
ඇයට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණ ද, ඇය නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ, එදිනට ඇයට පැමිණිය නොහැකි බවත් ඇයට ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත් ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ 'සිරිලිය' නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
'සිරිලිය' නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ගැනීමට ශිරන්ති රාජපක්ෂ FCID හමුවට කැඳවා තිබිණි.
ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කර තිබූ අතර, එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන්කර තිබුණේ, 222 222 222V ලෙස ය.
එම ගිණුම හරහා සැකකටයුතු ගනුදෙනු රැසක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, 2015 වසරේදී ජූනි 1 වන දා ශිරන්ති රාජපක්ෂගෙන් එවකට කතානායකවරයාගේ නිල නිවසේදී ප්‍රකාශයක් ලබා ගෙන තිබිණි.
නාමල් රාජපක්ෂ CIDයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (පෙබරවාරි 3 වැනිදා) උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ය.
නාමල් රාජපක්ෂ එහි කැඳවා ඇත්තේ, රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ බව කියන සබඳතා පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ය.
පසුගිය 26 වන දා ඔහුට එහි පැමිණෙන්නැයි දැනුම් දී තිබූ අතර, ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන්නැයි, නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.
මැණික් ව්‍යාපාරික බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධිකරණය කිරීමට සහය ලබා දෙමින්, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් යූ.ඩී.එම්. සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල, අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව විසින් අද (පෙබරවාරි 3 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු මැණික් ව්‍යාපාරිකයෙකි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට විමර්ශනයකදී අනාවරණය වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.