2024 දී රුපියල් බිලියන 3.8ක් ලාභ ලැබූ SriLankan ගුවන් සමාගම 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි?

A refurbished Airbus A330-200 of Sri Lanka's debt-ridden national carrier, SriLankan Airlines, is pictured as it flies over Colombo on June 4, 2025, signalling induction as part of re-fleeting efforts

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

    • Author, බීබීසී සිංහල

SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ.

මේ වන විට SriLankan ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති 2025 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

එහි සඳහන් වන ආකාරයට SriLankan ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ.

එමෙන් ම එම වාර්තාවට අනුව සමාගම 2023 අප්‍රේල් 01 සිට 2024 මාර්තු 31 දක්වා කාලය තුළ රු. බිලියන 3.87ක ලාභයක් වාර්තා කර ඇතැයි පෙනී යයි.

තව ද, SriLankan සමූහය ද 2025 මූල්‍ය වර්ෂයේ රු. බිලියන 2.7ක අලාභයක් වාර්තා කර තිබේ. ඒ 2024 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.9ක ලාභයක් වාර්තා කර තිබූ පසුබිමක ය.

ශ්‍රම බළකාය සහ කොටස් හිමිකාරීත්වය

2024/25 මූල්‍ය වර්ෂය සඳහා SriLankan ගුවන් සමාගමේ මුළු සේවකයින් සංඛ්‍යාව 6,071ක් වූ අතර, එයින් 67%ක් පුරුෂයින් හා ඉතිරි 33% කාන්තාවෝ වෙති.

එහි සේවය කරන සේවකයන් සංඛ්‍යාව පහත පරිදි ය.

  • කළමනාකරුවන් - 291
  • ගුවන් නියමුවන් - 272
  • කැබින් කාර්යමණ්ඩලය - 940
  • ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීන් - 615
  • පුහුණු, අභ්‍යාසලාභී සහ විධායක නිලධාරීන් - 3,953

සේවක පිරිවැය සඳහා 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 32,799ක් වැය කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව රු. මිලියන 538ක වැඩි වීමකි.

මීට අමතරව, කාර්ය මණ්ඩල වියදම් ලෙස දක්වා තිබෙන වියදම් සඳහා රු. මිලියන 9,469ක් වැය කර ඇති අතර එම වියදම් පසුගිය වසරට සාපේක්ෂව අඩු වී තිබේ.

2025 මාර්තු 31 වන දිනට SriLankan Airlines Limited සමාගමේ කොටස් හිමිකරීත්වයෙන් 99.77%ක් රජය සතු අතර, 0.09%ක් සේවක අර්ථ සාධක අරමුදල සතු ය.

වෙනත් පාර්ශවයන් සතුව ඇති කොටස්වල ප්‍රතිශතය 0.14%කි.

වියදම් අඩු වී තිබියදී අදායම් අඩු වී ඇත්තේ ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

SriLankan සමූහයේ වියදම් පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි ය.

2023/24 වසර සඳහා රු. මිලියන 339,591.65ක ආදායමක් උපයා ඇති අතර, 2024/25 වසරේ උපයා ඇත්තේ රු. මිලියන 303,093.89කි.

වසර දෙකේ ආදායමේ පරතරය රු. මිලියන 36,498කි.

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගිය නමුත්, SriLankan ගුවන් සේවය සේවය සපයා ඇත්තේ, ගුවන් මගීන් මිලියන 3.5ක් සඳහා පමණක් වන බවට වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

එය පෙර වසරට සාපේක්ෂව 4%ක හැකිලීමක් ලෙස එහි දක්වා තිබේ.

ඒ අනුව 2024/25 මූල්‍ය වර්ෂය සඳහා මගී ආදායම රු. බිලියන 234.5ක්ව ඇති අතර එය පෙර මූල්‍ය වර්ෂයේ රු. බිලියන 276.2කි.

එය පෙර වසරට සාපේක්ෂව 15%ක සංකෝචනයකි.

සේවයේ යෙදවිය හැකි ගුවන් යානා සංඛ්‍යාව සීමිත වීම, නඩත්තු කටයුතුවලින් ගුවන් යානා මුදා හැරීමේ ප්‍රමාදයන් සහ වසර පුරා ගුවන් සමාගම අත්විඳින ලද ඉංජිනේරු කටයුතු ආශ්‍රිත බාධා හේතුවෙන් ගෝලීය අදායම් අඩු වීම සහ ධාරිතාව අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තාවේ සඳහන් වේ.

ගුවන් සේවා මට්ටමින් වාර්ෂිකව ලබා ගත හැකි ආසන කිලෝමීටර් සංඛ්‍යාව (ASK) 5%කින් හැකිලී තිබේ.

අඛණ්ඩ පැවැත්මක අවිනිශ්චිතතාව

2025 මාර්තු 31 දායින් අවසන් වූ වර්ෂය තුළ SriLankan සමූහය රු. මිලියන 2,735ක ශුද්ධ අලාභයක් ලබා ඇති බව 2025 අගෝස්තු 12 වන දිනැති ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

විගණකාධිපති වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාගමේ හා සමූහයේ ජංගම වගකීම් ප්‍රමාණය ජංගම වත්කම් ප්‍රමාණයට වඩා වැඩි බව ය.

SriLankan ගුවන් සමාගම රු. මිලියන 7,594ක අලාභයක් ලබා ඇති බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව පෙන්වා දී ඇති කරුණු අනුව, "සමූහයට/ සමාගමට අඛණ්ඩ පැවැත්මක් පවත්වාගැනීමට ඇති හැකියාව පිළිබඳව සැලකියයුතු සැකයක් ඇති කළ හැකි අවිනිශ්චිතතාවක් පවතින බව," වාර්තාවේ සඳහන් වේ.

SriLankan Airlines පැහැදිලි කිරීම

SriLankan Airlines වාර්ෂික වාර්තාවේ පාඩු ලැබීමට අදාළ හේතූන් ලෙස ඉහත සඳහන් කළ හේතූ සඳහන්ව ඇති නමුත් SriLankan ගුවන් සේවය විසින් මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ ලිපියක් ඔක්තෝබර් 24 වන දින මාධ්‍ය වෙත නැවත නිකුත් කර තිබේ.

එහි සඳහන් අන්දමට SriLankan සමූහය 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. මිලියන 2,735ක අලාභයක් වාර්තා කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ "පෙර වසරේ මිලියන 26,717ක් වූ විනිමය හුවමාරු ලාභය මෙම වසරේදී රු. මිලියන 3,925ක් දක්වා පහළ යාම," බව පවසා ඇත.

"ඉහත සඳහන් විනිමය හුවමාරු ලාභය වාර්තා වූයේ විදේශ මුදල්වලින් ලබාගෙන ඇති, පොලී ගෙවිය යුතු මූල්‍යමය වගකීම් නැවත තක්සේරු කිරීම මගිනි. එහිදී රුපියලේ අගය ඉහළ යාම මගින් විනිමය හුවමාරු ලාභයක් වාර්තා විය. විනිමය හුවමාරු ලාභය හැරුණු විට 2024/25 මූලය වර්ෂය සඳහා සමූහයේ අලාභය රුපියල් මිලියන 6,660ක් වන අතර, විනිමය හුවමාරු ලාභය ගණනය කිරීමට පෙර 2023/24 මූල්‍ය වර්ෂය සඳහා සමූහයේ අලාභය රුපියල් මිලියන 18,792ක් විය." යනුවෙන් එහි තවදුරටත් දක්වා තිබේ.