එයාර්බස් 330: SriLankan ගුවන් සේවය වසර 14ක් පැරණි ගුවන් යානයක් බදු ගත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, SriLankan Airline
- Author, බීබීසී සිංහල
ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය අද (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.
4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පියාසර කරන අයුරු ජනතාවට ප්‍රදර්ශනය විය.
අලුතින් ගෙනා ගුවන් යානය ගැන තොරතුරු
අද (ජූනි මස 04) රැගෙන ආ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ශ්‍රීලංකන් සමාගමේ සේවයට යොදා ගැනීමට පෙර, වෙනත් ගුවන් සමාගම් දෙකක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇතැයි airfleets.net වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
PK-GPN යන ලියාපදිංචි අංකය යටතේ 2011 වසරේ නොවැම්බර් මස 11 වන දා සිට මෙම එයාර්බස් ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් භාවිත කරනු ලැබ ඇත්තේ කල්බදු ක්‍රමය යටතේ ය. 2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගුවන් සේවය විසින් සේවයෙන් ඉවත් කරනු ලැබ තිබූ මෙම ගුවන් යානය නැවත එය අයත් සමාගම වෙත 2021 වසරේ ජූනි මාසයේදී භාර දී තිබිණි.
නැවත වරක් 2022 වසරේ නොවැම්බර් මස 28 වන දා HL8512 යන අංකය යටතේ ලියාපදිංචි කරන ලද මෙම එයාර්බස් ගුවන් යානය දකුණු කොරියාවේ Fly Gangown ගුවන් සේවය විසින් සේවයට එක් කරන ලද අතර ඔවුන් එය 2023 වසරේ මැයි 19 වන දා නැවත එය අයත් සමාගම වෙත භාර දී ඇත.
මෙම එයාර්බස් ගුවන් යානය 4R-ALT ලියාපදිංචි අංකය යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිය සේවයට එක් කරගෙන ඇත්තේ, ඉන් අනතුරුව ය.
මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සේවයට එක්වූ මෙම ගුවන් යානය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින්, එම එයාර්බස් ගුවන් යානය 2011 වසරේදී නිෂ්පාදනය කරන ලද එකක් බව එහි ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්‍රික් ප්‍රනාන්දු තහවුරු කළේ ය.
"මේ එයාර්බස් එක 2011 අවුරුද්දේදී නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම දන්න හැටියට මුලින් ම මේක පාවිච්චි කරලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය. ඊට පස්සේ තවත් ගුවන් සමාගමක් මේ ගුවන් යානය භාවිත කරලා තියෙනවා. මේ ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන 18ක් සහ ඉකොනොමි පන්තියේ ආසන 242ක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගුවන් යානයක් බදු ගන්නේ අවුරුදු 6ත් 8ත් කියන කාල සීමාවකට යටත්ව," ඔහු පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lankan Airline
14 වසරක් පැරණි ගුවන් යානයක් බදු ගත්තේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වසර 14ක් පැරණි ගුවන් යානයක් ශ්‍රීලංකන් ගුවන් සේවයට එක් කර ගත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් ප්‍රශ්න මතු කර තිබිණි.
මෙම කරුණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්‍රික් ප්‍රනාන්දු පැවසුවේ, කොවිඩ් වසංගතය හමුවේ ගුවන් යානා නිෂ්පාදනය කිරීම අඩාළ වී ඇති බැවින් ගුවන් සමාගම්වලට ගුවන් යානා ලබා ගැනීම "අසීරූ කටයුත්තක්" වී ඇති බව ය.
"මේ දවස්වල එයාර් ක්‍රාෆ්ට් මාර්කට් එකේ ලොකු හිඟයක් තියෙනවා. කොවිඩ්වලින් පස්සේ එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි එක මුහුණ දෙන ලොකු ම ගැටලුව තමයි අලුතෙන් ගුවන් යානා නිෂ්පාදනය කරන එක අඩාළ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ගුවන් යානාවලට අවශ්‍ය එන්ජින්, ලෑන්ඩින් ගියර් ඇතුළු අමතර උපාංග හදන සමාගම්වල නිෂ්පාදන කටයුතුවලදී මුහුණ දීලා තියෙන ප්‍රමාදයන්. ඒ නිසා අලුත් ගුවන් යානාවල ලොකු හිඟයක් තියෙනවා."
"ඒ නිසා දැනට ගුවන් සමාගම්වලින් බදු අරන් තියෙන ගුවන් යානා ඒ අයගේ බදු කාලය ඉවර වුණාට පස්සේ නැවත බදු දෙන සමාගම්වලට භාර දෙන එක කරන්නේ නැහැ. ඒ ගුවන් සමාගම් නැවත නැවතත් මේ ගුවන් යානා බදු ගිවිසුම් අලුත් කරන එක යි කරන්නේ."
"එයාර්බස් 350 වර්ගයේ ගුවන් යානයක් මිල දී ගන්න නම් දැන් 2032 අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ දැන්." ඔහු පැවසීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
'මේක අපිට පුරුදු ෆ්ලයිට් මොඩ්ල් එකක්'
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් බද්දට ගත් මෙම එයාර්බස් A330-200 වර්ගයේ ගුවන් යානා මෙරට ගුවන් නියමුවන්ට මෙන් ම කාර්මික ශිල්පීන්ට ද හුරුපුරුදු මාදිලියේ ගුවන් යානයක් බව ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්‍රික් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ ය.
"මේ එයාර්බස් A330 කියන ගුවන් යානය බොහොම හොඳ එකක්. අපි 1999 ඉඳලා එයාර්බස් 330 යානා පදවලා තියෙනවා. පළවෙනි එයාර්බස් යානය ගේන්න මමත් ගියා ටුලුස්වලට. එතකොට ෆර්ස්ට් ඔෆිසර් කෙනෙක් හැටියට හිටියේ. අපි මේ වර්ගයේ එයාර්බස් ගුවන් යානා අවුරුදු 20-25ක් ඉඳලා පියාසර කරලා තියෙන නිසා ඒ ගැන ලොකු අවබෝධයක් තියෙනවා."
"මේ ගුවන් යානය තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා. සැටලයිට් නැවිගේෂන් වගේ ම, කමියුනිකේෂන්, කාලගුණ දත්ත ලැබෙන රේඩාර් එකක් වගේ ම කඳු ළඟින් යද්දී යම් විදිහකින් ෆ්ලයිට් එක අනතුරුදායක මට්ටමකට ආවොත් ඒ ගැන නියමුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ සංඥා පද්ධතියක් වගේ ම නියමුවන් රහිතව ගොඩබෑමේ පහසුකම් මේ යානයේ තියෙනවා. ඒ වගේ ම මේ ගුවන් යානයට එක දිගට කිලෝමීටර් 8,800ක් දුර පියාසර කරන්න පුළුවන් කිසි ම විදිහකින් නැවත ඉන්ධන සැපයීමකින් තොරව," ඔහු පැහැදිලි කළේ ය.
නව ගුවන් යානයත් සමග දැන් ශ්‍රීලංකන් ගුවන් සේවය සතු Wide-body ගුවන් යානා සංඛ්‍යාව 10ක් වන අතර, Narrow-body ගුවන් යානා 13ක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව පවතින බව ද ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්‍රික් ප්‍රනාන්දු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, SriLankan Airlines
'ගුවන් සේවයට ඇති ඉල්ලුම වැඩි වෙලා'
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුමට සාපේක්ෂව තම සේවාවන් පුළුල් කිරීමට ගුවන් සේවය සැලසුම් කර ඇතැයි එම සමාගමේ සභාපති සරත් ගනේගොඩ පැවසුවේ ය.
"මේක ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් මෙන් ම ගුවන් යානා එකතුව සම්බන්ධ දීර්ඝ කාලීන ක්‍රමෝපායෙහි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනවා. මෙමගින් අපගේ සේවාවන් සඳහා ක්‍රමයෙන් වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට වගේ ම සංචාරක කර්මාන්තයේ ජාතික මට්ටමේ ඉලක්ක ළඟා වීමට වැඩි දායකත්වයක් ලබා දෙන්න අපට පුළුවන් වේවි. ශ්‍රී ලංකාව ඉහළ ම තලයේ සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය වෙමින් පවතින මේ මොහොතේ, ජාත්‍යන්තර සංචාරකයන් ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කිරීම සඳහා මෙම ගුවන් යානය මගින් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු වෙයි," ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ පැවසීය.
මේ අතර, ගුවන් යානා සංඛ්‍යාව වැඩි වීම මගින් විශේෂයෙන් ම දිගු දුර ගුවන් ගමන් ඇතුළුව සමස්තයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම හා පහසු වනු ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.














