SriLankan ගුවන් යානයක් හදිසියේ ඉන්දුනීසියාවට ගොඩබැස්වීම ගැන ගුවන් සමාගම කියන්නේ කුමක් ද?

UL - 306

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතෙන් ගුවන් යානයක් ගෙන ඒමේ උණුසුම පහව යාමටත් පෙර එම ගුවන් සේවයට අයත් ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටි UL-306 ගුවන් යානය ඉන්දුනීසියාවේ ගුවන්තොටුපොළකට හදිසියේ ගොඩබස්වා තිබේ.

ඊයේ දිනයේ (ජූනි 05) මෙම ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබෙන්නේ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනි.

"ඊයේ ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව බලා යමින් සිටි ගුවන් යානය හදිසි කාර්මික දෝෂයකට ලක්වීම නිසා ගුවන් නියමුවා විසින් තීරණය කරලා ඒ මොහොතේ ළඟ ම තියෙන ගුවන්තොටුපොළ වෙන ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළට ගොඩ බැස්වූවා," යැයි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සන්නිවේදන කළමනාකාර දීපාල් පෙරේරා බීබීසි සිංහල වෙත පැවසුවේ ය.

SL

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මගීන්ට සිදුවුණේ මොකක් ද?

මෙම ගුවන් යානයේ මගින් 93 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 08 දෙනෙකු සිට තිබේ.

දීපාල් පෙරේරා පැවසුවේ, මෙම ගුවන් යානය පරීක්‍ෂා කර බලා ඉංජිනේරුවරුන් එම කාර්මික දෝෂය නැවත සකස් කිරීමට යම් වේලාවක් ගත වන බව පැවසූ නිසා මගීන්ව එම ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටලයකට රැගෙන යාමට උත්සහ කළ බවය.

"නමුත් මෙඩාන් එයාපෝර්ට් එකේ ආගමන නිලධාරීන් කැමති වුණේ නෑ මගීන්ව එළියට ගන්න දෙන්න. එත් අපේ තානාපතිවරයා සහ ගුවන් සමාගම ඒ රටේ රජයට කතා කරලා අවසර ගත්තා මගීන්ව එළියට ගන්න. එතනින් මගීන් පිරිසක් කැමති වුණේ නෑ යන්න. අපි වෙනත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ සිට යවන්න හැදුවත් මෙඩාන් ගුවන්තොටුපොළෙන් ඒකට අපට අවසර ලැබුණේ නෑ," ඔහු පැවසුවේ ය.

කෙසේ වෙතත්, එම අවසරය අද දින ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ වුවහොත් එලෙස ගුවන් යානයක් යැවීමට සූදානම් කර ඇති බවත් ඔහු පැවසුවේ ය.

මෙම දෝෂයට ලක්වූ ගුවන් යානය වසර කීයක සිට භාවිත කරන ගුවන් යානයක් දැයි බීබීසී සිංහල විමසූ නමුත් දීපාල් පෙරේරා පැවසුවේ, ඔහු ඒ සම්බන්ධයෙන් නොදැනුවත් බව ය.