E – Visa නිකුත් කිරීම පෞද්ගලික සමාගම්වලට පැවරීමට ගත් තීරණයට එරෙහි පෙත්සම ගැන අධිකරණය තීරණයක් ගනී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට එවකට පැවති අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (නොවැ: 20) අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
හිටපු ආගමන විගමන පාලක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව දන්වයි
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ, එම නඩුකරවල පළමු වන වග උත්තරකරු ලෙස නම් කර සිටින ආගමන හා විගමන හිටපු පාලක හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරිපත් කර තිබූ "පෙරකලාසිය" ඉවත් කර ගන්නා බව ය.
ඒ අනුව, එම වග උත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා ය.
ඉන් අනතුරුව වගඋත්තරකරුවන් කීප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සඳහා රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බවත් දන්වා සිටියහ.
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවකට අනුව රජයේ විගණකාධිපතිවරයා විගණනයක් කර වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළේ ය.
ඉකුත් වසරේ අප්‍රේල් මස 17 වන දා සිට අගෝස්තු මස 02 වන දා දක්වා මෙම ඊ වීසා ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ රටට සිදුවූ හානිය පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා එම වාර්තාව තුළින් සවිස්තරව කරුණු දක්වා ඇතැයි සඳහන් කළ පාඨලී චම්පික රණවක, එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කළේ ය.
මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද අධිකරණයට දැනුම් දුන්නේ, විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් නිර්දේශවලට අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා අදාළ අංශවලට දැනුම් දී ඇති බව ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාළව රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව අධ්‍යයනය කර ඊට අදාළව නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට කල් ලබා දුන්නේ ය.
ඒ අනුව, එම නිරීක්ෂණ ලිඛිතව ගොනු කරන ලෙසත් ඉන් අනතුරුව මෙම නඩුකර පෙබරවාරි මස 09 වන දා යළි කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පෞද්ගලික සමාගම්වලට පැවරීමට තීන්දු කෙරුණු බව පෙත්සමෙන් කියවේ.
එම ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම තුළින් රජයට අතිවිශාල පාඩුවක් සිදුවූ බවත්, මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බවට තීන්දුවක් ලබා දන ලෙසත් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.














