IVS සමාගම හරහා 2024දී E-Visa නිකුත් කිරීමෙන් රජයට ඩොලර් මි. 1.4ක් අහිමි වූ හැටි

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ හිටපු ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රතු පැහැ පසුබිමක පවත්වන මාධ්‍ය හමුවක්

ඡායාරූප මූලාශ්‍රය, MINISTRY OF PUBLIC SECURITY

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ වෙනසක් සිදු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 2024 වසරේදී කටයුතු කළ අතර, GBS Technology Service & IVS Globe - FZCO, VF Worldwide Holdings LTD සමාගම හරහා මාර්ගගත වීසා නිකුත් කිරීම සිදු කිරීම ආරම්භ කරන ලදී.

ඒ අනුව මෙම සමාගම 2024 අප්‍රේල් මස 17 වන දින සිට මාර්ගගත වීසා නිකුත් කිරීම ආරම්භ කර තිබිණි.

පසුව 2024 මැයි 01 වැනි දින සිට එම සමාගම හරහා On Arrival ක්‍රමයට වීසා නිකුත් කිරීම ආරම්භ කර තිබූ අතර එම අවස්ථාවේදී E-Visa නිකුත් කිරීමට ගතවූ කාලය සහ ගාස්තු සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ තුළ නොසන්සුන්තාවයක් ඇති විය.

ඉන්පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බලා එම සේවාවන් තාවකාලිකව නැවත්වීමට අධිකරණය නියෝග කළ ද එම නියෝගය පිළිනොපැදීම හේතුවෙන් එවකට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කිරීමේ වරද මත මේ වන විට වසර දෙකක සිර දඬුවම් විඳිමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදු කර ඇති නවතම විගණනයකින් හෙළිදරවු කර ඇත්තේ අදාළ සමාගම වීසා නිකුත් කිරීමේදී සමාජ ආරක්ෂණ බද්දක් සහ එකතු කළ අගය මත බද්දක් අය කර ඇති නමුත් එම බදු මුදල් දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කර නොමැති බව ය.

මෙමගින් රජයට අහිමි වූ බදු වටිනාකම් ගණනය කළ නොහැකි බව එහි සඳහන් ය.

ඒ අනුව 2024 අප්‍රේල් 16 සිට 2024 අගෝස්තු 02 වැනිදා දක්වා කාලය තුළ රජයට අහිමි වූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.41ක් විය හැකි බවට විගනණයෙන් දළ වශයෙන් ගණනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ Online Visa නිකුත් කළේ කොහොම ද?

1949 වසරේ සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන, ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන් සඳහා වීසා නිකුත් කිරීම ආරම්භ කර තිබෙන අතර, 2012දී ප්‍රථමවරට වීසා ඉල්ලුම්පත් මාර්ගගතව ඉදිරිපත් කිරීමේ පහසුකම ලබා දී තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2012 වසරේදී විද්‍යුත් සංචරණ අනුමැති ක්‍රමය (ETA) ශ්‍රී ලංකාවේ හඳුන්වා දී ඇත.

එම ක්‍රමය දකුණු ආසියාවේ හඳුන්වා දුන් පළමු රට ශ්‍රී ලංකාව බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවේ දැක්වේ.

මෙම ක්‍රමවේදය සී/ස මොබිටෙල් (පුද්ගලික)සමාගම හරහා ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය කර නොමැත.

මෙම ක්‍රමවේදය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය 2018 වර්ෂයේ පටන් හඳුනාගෙන ඇතැයි විගණන වාර්තාව පවසයි.

පවතින ETA පද්ධතිය වැඩිදියුණු කිරීමේ යෝජනාවකට 2021 වසරේ කැබිනට් අනුමැතිය හිමිව තිබී ඇති නමුත් එය 2024 දක්වා ක්‍රියාත්මක වී නොමැත.

මේ අතර 2020 ජනවාරි 07 දින අනුමැතිය ලැබී තිබූ කැබිනට් පත්‍රිකාවක් අනුව ETA පද්ධතිය හරහා චීන ජාතිකයන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට, සී/ස ට්‍රැවර්ල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විස් (ෂැංහයි) සමාගමට බලය ලබාදී ඇති අතර, එම ක්‍රමය 2023 සැප්තැම්බර් 06 සිට ක්‍රියාත්මක වී තිබේ.

මාර්ගගත වීසා කොන්සියුලර් සේවා, වීසා සේවා, ජීවදත්ත සේවා සහ සංචාරක ප්‍රවර්ධනය සඳහා වූ සවිස්තරාත්මක යෝජනාවක් 2023 සැප්තැම්බර් 08 වන දින තාක්ෂණික සහකරු ලෙස, වාර්තාවේ දැක්වෙන පරිදි (IVS - GBS Global Service Powered with VFS Global as a Technical Partner) ආයතනය විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය හා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලද බවට දක්වා ඇති අතර, එම යෝජනාව එදින ම, එනම් 2023 සැප්තැම්බර් 08 වන දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එයට 2023 දෙසැම්බර් 11 කැබිනට් අනුමැතිය ලබාදී ඇති අතර 2023 දෙසැම්බර් 21 වන දින සමාගම හා ගිවිසුම්ගතව තිබේ.

කෙසේවෙතත් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ සිට ගිවිසුම් අත්සන් කිරීම දක්වා ක්‍රමවේදයේ ප්‍රශ්න සහගත තැන් විශාල ප්‍රමාණයක් විගණනයේදී හෙළිව තිබේ.

නිදසුනක් ලෙස, සමාගමේ ඒකපාර්ශවික යෝජනාව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ම එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගිවිසුමේ කෙටුම්පතක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබී ඇත.

එලෙස සිදු වූයේ කෙසේ ද යන්න "මතභේදයට තුඩු දෙන ගැටළුවක්" බවට වාර්තාව පෙන්වා දෙයි.

ගුවන්තොටුපොළේ නොසන්සුන්තාවයක් ඇතිවූයේ ඇයි?

2023 දෙසැම්බර් 21 එළැඹුණු ගිවිසුම අනුව 2024 අප්‍රේල් 17 වන දින පැය 00:00ට පළමුවරට මෙම GBS Technology Service & IVS Globe - FZCO, VF Worldwide Holdings LTD සමාගම හරහා මාර්ගගත වීසා නිකුත් කිරීමේ වීසා සේවා ආරම්භ කර තිබේ.

කෙසේනමුත් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ දැක්වෙන ආකාරයට, ගිවිසුම යටතේ වූ ඉතිරි සේවාවන් සැපයීම ආරම්භ කරන දිනවකවානු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සමග එකඟතාවයක්, වැඩපිළිවෙලක් හෝ කාලවකවානු පිළිබඳ සැලැස්මක් සකස් කර තිබූ බවට විගණනයට සාක්ෂි ඉදිරිපත් වී නොමැත.

2024 අප්‍රේල් 17 සිට 2024 අගෝස්තු 02 දක්වා කාලය තුළ ගිවිසුම්ගත සේවා, සැපයුම්කාර ආයතනය හරහා නිකුත් කර තිබූ බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය තොරතුරු ඉදිරිපත් කර තිබේ.

GBS Technology Service & IVS Globe - FZCO, VF Worldwide Holdings LTD විසින් 2024 මැයි 01 දින සිට On Arrival ක්‍රමයට වීසා නිකුත් කිරීම ආරම්භ කරනු ලැබ තිබූ අතර, එතෙක් එම ක්‍රමයට කටුනායක ගුවන්තොටුපොළේ සේවාවන් සැපයීම සිදු කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත එම සේවාවන්ගෙන් ඉවත්ව සිට ඇත.

On Arrival ක්‍රමයට වීසා ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණි විදේශිකයන්ට ඉහත ආයතනයේ පද්ධතිය හරහා වීසා අයදුම් කිරීමට සිදුව තිබිණි.

ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 18.50ක ගාස්තුවක් ද ගෙවීමට සිදු විය.

කෙසේවෙතත් මෙම ආයතනයේ පද්ධතිය හරහා වීසා නිකුත් කිරීමේදී On Arrival ක්‍රමයට මීට පෙර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගත කළ කාලයට වඩා සැලකිය යුතු කාලයක් ගත වීමත් සමග ගුවන්තොටුපොළේ විශාල තදබදයක් නිර්මාණය විය.

2024 මැයි 01 වන දින එලෙස ගුවන්තොටුපොළේ ඇතිවූ කළහකාරී තත්ත්වය හමුවේ එදින ම සැපයුම්කාර ආයතනයේ නිලධාරීන් ඉවත් කර නැවත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා On Arrival ක්‍රමයට වීසා නිකුත් කිරීම අරඹා ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

එකතු කළ බදු මුදල් ශ්‍රී ලංකා රජයට නොගෙවීමේ පාඩුව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.41ක්

GBS Technology Service & IVS Globe - FZCO, VF Worldwide Holdings LTD සමාගම විසින් 2024 අප්‍රේල් 30 වන දින නිකුත් කළ ඉන්වොයිසියක් ඉදිරිපත් කරමින් වීසා අයදුම් කළ කැනඩා ජාතිකයෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

එහිදී වීසා සඳහා එම සංචාරකයාගෙන් ඇ. ඩො. 232.69ක ගාස්තුවක් අය කර තිබේ.

වීසා ගාස්තුව ලෙස ඇ. ඩො. 200ක්, සේවා ගාස්තුව ලෙස ඇ. ඩො. 18.50ක්, පහසුකම් සැපයීමේ ගාස්තුව ලෙස ඇ. ඩො. 14.19ක් ලෙස කැනඩා ජාතිකයාගෙන් අය කරගෙන ඇත.

මෙම ඉන්වොයිසියේ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් සටහනක් තබා ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් ගාස්තු සඳහා කිසිදු බදු මුදලක් අය නොකරන බවත්, VFS ආයතනය හරහා අය කරනු ලබන සියලු ගාස්තු සඳහා 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් සහ 18%ක VAT බද්දක් අය කරන බවත් එහි දක්වා තිබේ.

මෙම ඉන්වොයිසිය නිකුත් කළ දිනට, කැනඩා රජය සඳහා සංචාරක වීසා ගාස්තුව දින 30කට ඇ. ඩො. 50ක් ද, දින 30 සිට 60 දක්වා ඇ. ඩො. 150ක් ද, දින 181 සිට 270 දක්වා ඇ. ඩො. 200ක් ද වී ඇති නමුත් එම ඉන්වොයිසිය කුමන වර්ගීකරණයට අයත් වන්නේ ද යන්න සඳහන්ව නොමැති බව විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.

වීසා ගාස්තුව ලෙස ඇ. ඩො. 200ක්, සේවා ගාස්තුව ලෙස ඇ. ඩො. 18.50ක්, පහසුකම් සැපයීමේ ගාස්තුව ලෙස ඇ. ඩො. 14.19ක් ලෙස කැනඩා ජාතිකයාගෙන් අය කරගෙන ඇත.
මෙම ඉන්වොයිසියේ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් සටහනක් තබා ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් ගාස්තු සඳහා කිසිඳු බදු මුදලක් අය නොකරන බවත්, VFS ආයතනය හරහා අය කරනු ලබන සියලු ගාස්තු සඳහා 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් සහ 18%ක VAT බද්දක් අය කරන බවත් එහි දක්වා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NATIONAL AUDIT OFFICE

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ඉන්වොයිසියේ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් සටහනක් තබා ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් ගාස්තු සඳහා කිසිදු බදු මුදලක් අය නොකරන බවත්, VFS ආයතනය හරහා අය කරනු ලබන සියලු ගාස්තු සඳහා 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් සහ 18%ක VAT බද්දක් අය කරන බවත් දක්වා තිබේ

ඉහත සඳහන් කළ ආකාරයට GBS Technology Service & IVS Globe - FZCO, VF Worldwide Holdings LTD ආයතනය සංචාරකයන් හට නිකුත් කළ ඉන්වොයිසි විගනණයෙන් පරීක්ෂා කිරීමේදී "All VFS Fees are inclusive of 2.5% SSCL and 18% VAT" ලෙස දක්වා තිබී ඇත.

නමුත් වාර්තාව පෙන්වා දෙන්නේ එලෙස එකතු කරගත් බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර නොමැති බව ය.

මෙම සමාගම විසින් සිදු කළ වීසා නිකුත් කිරීම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දෙන ක්‍රමවේදයක් නොතිබූ නිසා මෙමගින් රජයට අහිමි වූ සමාජ ආරක්ෂණ [SSCL] සහ එකතු කළ අගය මත ගෙවීම් බදු [VAT] ඇතුළු බදු වටිනාකම් ගණනය කිරීමට නොහැකි වූ බව විගණනය පෙන්වා දී තිබේ.

2024 අප්‍රේල් 16 සිට 2024 අගෝස්තු 02 දක්වා කාලය තුළ එකතු කරන ලද වීසා ආදායම මත ගණනය කළ හැකි සමාජ ආරක්ෂණ හා VAT බදු ආදායම් අවම වශයෙන් ඇ. ඩො. 1,418,360ක් පමණ විය හැකි බව විගනණයෙන් ගණනය කර තිබේ.

තව ද එහි වැඩි දුරටත් මෙසේ දැක්වේ.

"අධික වටිනාකමක් ආදායම් ලෙස රැස් කරගෙන තිබුණ ද GBS Technology Service & IVS Globe - FZCO ආයතනය, VF Worldwide Holdings LTD ආයතනය විසින් කිසිදු බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවා නොතිබුණි."

අධිකරණයේ තහනම

මෙලෙස ගුවන්තොටුපොළ ආශ්‍රිතව E-Visa ලබාදීමේ සේවාව විදේශීය සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය අත්හිටුවා පෙර පැවති ක්‍රමවේදය යටතේ වීසා නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශවයන් 08ක් අධිකරණයට ගොනු කර තිබූ පෙත්සම්, විගණනය සිදු කරන අවස්ථාව වන විටත් අධිකරණයේ විභාග වෙමින් තිබී ඇත.

එයින් පෙත්සම් තුනක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 අගෝස්තු 02 වන දින තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර එහි, GBS Technology Service & IVS Globe - FZCO, VF Worldwide Holdings LTD ආයතනය හරහා වීසා නිකුත් කිරීමේ ක්‍රමය නතර කර පෙර පැවති ක්‍රමවේදය හරහා වීසා නිකුත් කරන ලෙස සඳහන්ව තිබිණි.

එම නියෝගය මාසයකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එවකට ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය 2024 සැප්තැම්බර් 25 දින අත්අඩංගුවට ගැණුනි.

අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට එරෙහිව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, රවූෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය 2025 සැප්තැම්බර් 23 වන දින තීන්දු කළ අතර, හිටපු ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට වසර දෙකක සිර දඬුවමක් නියම කළේ ය.

2025 සැප්තැම්බර් 23 වන දින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රැගෙන යන බන්ධනාගාර නිලධාරියෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය 2025 සැප්තැම්බර් 23 වන දින තීන්දු කළේ ය

VF Worldwide Holdings LTD නිකුත් කළ නිවේදනය

මේ අතර ජාතික විගණන කාර්යාලය විසින් සිදු කර ඇති මෙම විශේෂ විගණනය සම්බන්ධයෙන් VF Worldwide Holdings LTD සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන අන්දමට එම සමාගම IVS-GBS සමග තාක්ෂණික සහකරුවෙකු ලෙස සීමිත වගකීමක් ඉටු කර තිබේ.

ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති මෙම ලිපියේ සඳහන් වන ආකාරයට "විගණනයක් පැවැත්වීමට නියමිත බව දැනගත් වහාම, VFS Global ආයතනය 2024 නොවැම්බර් 07 වන දින විගණකාධිපති කාර්යාලයට සම්පූර්ණ සහාය සහ අවශ්‍ය විය හැකි ඕනෑම තොරතුරක් ලබා දීමට හැකි බවට," සන්නිවේදනය කර ඇති නමුත් "විගණකාධිපති කාර්යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත."

කෙසේනමුත් ඉල්ලා සිටින විටෙක හෝ අවශ්‍ය විටෙක විගණකාධිපති කාර්යාලයට හෝ ශ්‍රී ලංකා රජයේ වෙනත් අධිකාරියකට තම පූර්ණ සහය ලබා දීමට බලාපොරොත්තු වන බව එහි සඳහන් ය.

නිර්දේශ

මෙම දීර්ඝ විගණන වාර්තාව අවසානයේ වැඩබලන විගණකාධිපති ජී. එච්. ඩී. ධර්මපාල විසින් නිර්දේශ ගණනාවක් ලබා දෙනු ලැබ තිබේ.

ඉන් ප්‍රධාන නිර්දේශයක් වන්නේ GBS Technology Service & IVS Globe - FZCO, VF Worldwide Holdings LTD ආයතනය කටයුතු කළ කෙටි කාලය තුළ, එම ආයතනය විසින් වීසා අයදුම්කරුවන්ගෙන් ලබාගත් බදු මුදල් සහ උපයාගත් ආදායම මත ගෙවිය යුතු බදු මුදල් අය කරගැනීමට අදාළ බලයලත් ආයතනවල අවධානය යොමු කරවීම ය.

එමෙන් ම මෙම සමාගම විසින් ඒකපාර්ශවික යෝජනාව ඉදිරිපත් කිරීමේ සිට කෙටිකාලීන වශයෙන් ක්‍රියාත්මක වීමේ තත්ත්වය දක්වා කටයුතු කිරීමේදී,

  • කැබිනට් පත්‍රිකා පිළියෙළ කිරීම
  • කමිටු පත් කිරීම
  • කමිටු වාර්තා ඇගයීමට ලක් කිරීම
  • රාජ්‍ය ආදායම රැස් කිරීමට බලය පවතින මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබා නොගැනීම
  • නිසි අවසරයකින් තොරව වීසා ආදායම විදේශීය රටක බැංකු ගිණුමකට රැස් කිරීමට ඉඩ හැරීම

වැනි මූලික කාර්යන් ඉටු කරනු ලැබූ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කර විනය පරීක්ෂණයක් කරන ලෙස ද නිර්දේශ කර තිබේ.

මෙම ව්‍යපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් රජයට සිදුව ඇති අලාභය සහ අහිමිව ගිය ආදායම ගණනය කර වගකිවයුතු අයගෙන් එම මුදල් අය කරගැනීමට ද වැඩබලන විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

මෙම විගණනය විගණකාධිපති සතු බලතලවලට සීමා වී සිදු කර ඇති නිසා එම සීමාව තුළ නිගමනය කළ නොහැකි මට්ටමේ නීතිවිරෝධී හෝ සාපරාධී කටයුතු සිදුවී ඇත්දැයි පරික්ෂාවට ලක්වී නොමැති හෙයින්, එවැනි පරීක්ෂාවක් කළ යුතු බවට හැඟී යන්නේ නම් ඒ සඳහා වූ විශේෂිත ආයතනයන්හි හෝ කොටසක සහය ලබා ගැනීමට ද වැඩබලන විගණකාධිපතිවරයා අවසන් වශයෙන් නිර්දේශ කර තිබේ.