නාමල් රාජපක්ෂගේ 'ක්‍රිෂ් ගනුදෙනු නඩුව' ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය

නාමල් රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (සැප්තැම්බර් 26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේ ය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය ඉල්ලා සිටි ලේඛන අතරින් ඇතැම් ලේඛන මෙතෙක් පැමිණිලි පාර්ශවය තමන්ට දී නොමැති බව පැවසුවේ ය.

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව ද ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිය ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබා දී ඇති බව ය.

මෙතෙක් ලැබී නොමැති බවට විත්තිය සඳහන් කරන ලේඛන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ලබා දිය හැකි ලේඛන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

මෙම අවස්ථාවේදී විනිසුරුවරිය පැවසුවේ, විත්තිය ඉල්ලා සිටින ලේඛන කඩිනමින් මීළඟ දිනට පෙර ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 18 වන දා කැඳවන ලෙසත් විනිසුරුවරිය නියම කළා ය.

ඊට අමතරව, මෙම නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ මුල් නඩු ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය එම වාර්තාව වහා ම තම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහාධිකරණ විනිසුරුවරිය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා ය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.