නාමල් රාජපක්ෂට එරෙහිව යහපාලන සමයේ පැවරූ නඩුවකට CIDය නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (පෙබරවාරි 13 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksa

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (පෙබරවාරි 13 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙනි.

පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විමර්ශනය අවසන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර එහි උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව ය.

ඊට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් එම නිලධාරීහු අධිකරණය හමුවේ සඳහන් කළහ.

ඒ අනුව, පැමිණිල්ල අගෝස්තු මස 7 වන දා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.