රනිල් වික්‍රමසිංහ: පෝලිම් මැද රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් නායකයා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී අදට (ජූලි 21) වසරක කාලයක් සම්පූර්ණ වන්නේ ය. ඇතැමුන් ඔහු ‘රනිල් රාජපක්ෂ’ ලෙස හඳුන්වයි. තවත් සමහරෙක් ඔහුට 'පිං ජනපති' ලෙස ද විවේචන කරති.
ඒ කෙසේ වෙතත්, ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් නෙරපා හැරීමෙන් පසු, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරය භාර ගන්නා අවස්ථාවේ රටේ පැවතියේ ඉතාම අභියෝගාත්මක කාල වකවානුවක් බව නොරහසකි.
ජනාධිපතිධුරයට පත්වී වසරක කාලයක් ගතවන මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ ඔහුගේ පාලන සමය තුළ දී සාක්ෂාත් කර ගනු ලැබූ ඉලක්ක සහ සපුරා ගැනීමට අපොහොසත් වූ ඉලක්ක මොනවා ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමයි මේ.
අගමැති ධුරයෙන් ජනපති ධුරයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් වසරේ ජූලි මස 13 වැනිදා රටින් පළාගියේ, පැවති දැඩි ආර්ථික පීඩනය හමුවේ රටේ ජනතාව වීථි බැසීමෙන් සහ විරෝධතා පවත්වමින් ජූලි මස නවවැනිදා ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව යි.
ජූලි මස 14 වැනිදා ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ සිට ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරනු ලැබීය.
ඒ අනුව ජනාධිපති මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත (1981 අංක 2) යටතේ පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්ද විමසීමකට අනුව ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීය.
අනතුරුව මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2022 වසරේ ජූලි මස 21 වැනිදා පාර්ලිමේන්තු සංකිර්ණයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
‘අරගලයට මර්දනයක්’
ජනාධිපතිධුරයේ දිවුරුම් දී පැය 12ක් ගතවීමටත් පෙර රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අංශ යොදවා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම සිදුවීමේදී පොලිසිය අරගල ක්‍රියාකාරීන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ය.
අනතුරුව විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් පෝලිම් ආදී ආර්ථික පීඩන හේතුවෙන් අප්‍රේල් මස නවවැනිදා සිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ආරම්භ වූ මහජන විරෝධය සමග ඇරඹි අරගල භූමිය දින 127ක ඇවෑමෙන් පසු, අගෝස්තු මස 10 වැනිදා සිට ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් තීරණය කරනු ලැබීය.
"මම ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ. නමුත් අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම මම පිළිගන්නවා.
"මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සිදු කිරීමට සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ උත්සාහ ගන්නවා. නමුත් එය ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා. සාමකාමී අරගලකරුවෙකුට අසාධාරණයක් සිදු වුණොත් ඒ කාර්යාංශයට දවසේ පැය 24 පුරා ඕනෑම වේලාවක දැනුම් දෙන්න පුළුවන්. එවැනි දැනුම් දීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවනවා.
"නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීතිවිරෝධී ක්‍රියාවලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ හවුල් වූ අය ඉන්නවා නම්, ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා. නමුත්, චේතනාන්විතව නීතිය උල්ලංඝණය කරමින්, ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන්හී යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නවා. නීතියට පිටින් කටයුතු කරන්නට කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත්, මටත්, සියලුදෙනාටත් එක යි," ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වූ දිනයේ සිට අගෝස්තු මස 28 වැනිදා තෙක් වූ දින 38ක් තුළ දී අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන් සහ විරෝධතාකරුවන් 143 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව සිවිල් සංවිධාන උපුටා දක්වමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.
කෙසේ වුවත්, ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට සාමකාමී අරගලකරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට යෝජනා කළ කාර්යාංශය මේ දක්වා පිහිටුවීමට හැකිවී නොමැත.

විදුලි, ගෑස්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය
රටේ පැවති විදෙස් විනිමය හිඟය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍යවල හිඟය සහ මිල ඉහළ යෑම සහ විදුලි කප්පාදුව 2021 වර්ෂයේ අගභාගයේ සිට මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙනයෑමට දැඩි බලපෑමක් එල්ල කළේ ය.
2022 වසරේ ආරම්භයේ සිට මෙරට වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ සැපයුම් ජාලයට විටින් විට බාධා එල්ලවිය.
ඒ, රටේ පැවති විදෙස් විනිමය හිඟය හමුවේ බැංකු මඟින් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීම හේතුවෙන් නියමිත පරිදි ගෑස් තොග ජාත්‍යන්තර වෙළඳපලෙන් මිලදී ගැනීමට මෙරට සමාගම්වලට නොහැකිවිම හේතුවෙනි.
ලෝක බැංකුව විසින් ලබා දුන් ඩොලර් මිලියන 400ක පරිභෝජන ණය පහසුකම් යටතේ ගෑස් තොග ඇනවුම් කිරීමට රජය ජුනි මාසයේ දී පියවර ගනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් වසරේ අගෝස්තු මස තෙවැනිදා පාර්ලිමේන්තුව අමතමින් ගෑස් හිඟය ගැන මෙසේ ප්‍රකාශ කළේ ය: "ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම පාහේ නිමවෙමින් පවතිනවා. පෝලිම්වල රස්තියාදු නොවී සාමාන්‍ය පරිදි ගෑස් ලබා ගැනීමට තව ටික දිනකින් හැමෝටම පුළුවන් වෙනවා. ඒ අනුව ඇනවුම් කළ පළමු ගෑස් තොගය ජූලි මස 11 වැනිදා මෙරටට ළඟාවුව ද, වෙළඳපළේ ඇතිව තිබූ ගෑස් හිඟය සම්පූර්ණ කිරීමට හැකිවූයේ 2022 වසරේ අගෝස්තු මාසයේ මැද භාගයේ දී යි.
"ඉන් පසුව ගතවූ වසරක කාල සීමාව තුළ අඛණ්ඩව මහජනතාව වෙත හිඟයකින් තොරව ගෑස් සැපයීමට රජයට හැකිවී තිබේ."
ඉන්ධන පෝලිම් අවසන්
2021 වසරේ අගෝස්තු මාසයේ සිට මෙරට බලශක්ති ක්ෂේත්‍රය අර්බුදකාරී කාල සීමාවකට එළඹිය. ඒ, පැවති විදෙස් මුදල් හිඟය සමග අවශ්‍ය ඉන්ධන තොග මිල දී ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
පැවති ඉන්ධන හිඟය නිසා ජනතාව ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටීමට පවා සිදුවිය.
තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා රජයට පාසැල් පවා වසා දැමීමට සිදුවූ අතර, රටේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබා දෙන ලෙස මහජනතාව විරෝධතා පවා සිදුකරනු ලැබුවේ ය.
රටේ පැවති ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය නියාමනය කිරීමට රනිල් වික්‍රමසිංහගේ රජයට සිදුවිය.
ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අමතා සිදුකළ සිය පළමු කතාවේ දී රනිල් වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කළේ ය: "ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය ආධාර ලැබෙන තුරු බලා සිටීමේ ක්‍රමය අපි අවසන් කළ යුතු ය. ඒ නිසා අපේ රටේ අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් අප ආරම්භ කරනවා. මෙහිදි ඉන්ධන සඳහා ගෙවීම් සමබර කර ගැනීම සඳහා තෝරාගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. අනික් අතින් ඉන්ධන සැපයීම සීමා කරන්න සිදුවෙනවා. ඒ නිසා මේ අවුරුද්ද අවසන්වන තුරු මේ අපහසුකම් රට වෙනුවෙන් අපි දරා ගනිමු."
ඒ අනුව 2022 වසරේ සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ සංවිධාන ආයතනය විසින් පියවර ගනු ලැබීය.
එලෙස හඳුන්වා දුන් QR කේත ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මක වන අතර විදේශ විනිමය හිඟය කළමනාකරණය කර ගැනීම හරහා අඛණ්ඩව ඉන්ධන සැපයුමක් රට තුළ දක්නට ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඉහළ ගිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සහ උද්ධමනය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වසරේ මාර්තු මාසයේ හත්වැනිදා සිට ඇමෙරිකානු ඩොලරයේ අගය පාලනය කිරීම අත්හිටුවීම නිසා, එහි අගය සීඝ්‍ර ලෙස ඉහළ යන්නට විය.
මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර විදෙස් විනිමය හිඟය නිසා රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ද ඇතිවිය.
මේ අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව 2022 වසරේ මාර්තු මාසයේ උද්ධමනය 21.5%ක් දක්වා ඉහළ යන ලදී. එම වසරේ ජූලි මාසය අවසන් වන විට මෙරට උද්ධමනය වූයේ 66.7%කි.
ඉහළ ගිය උද්ධමනය 2023 වසරේ මැයි මාසයේ දී 25.2%ක් ලෙස සටහන් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
උද්ධමනය ක්‍රමයෙන් අඩු වුව ද, පසුගිය වසරේ සිට රුපියල් 372ක අගයක් ගෙන තිබූ ඇමෙරිකානු ඩොලරයේ වත්මන් අගය රුපියල් 318ක් දක්වා අඩු වී තිබුණ ද, අත්‍යවශ්‍ය භාණ්ඩ ද්‍රව්‍යවල මිල ගණන් සැලකිය යුතු පහළ බැස නොමැති බව ජනතාව චෝදනා කරති.
ඖෂධ හිඟය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය අමතමින් කියා සිටියේ "රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම ආරම්භ කර තියෙනවා," යනුවෙනි.
ඒ කෙසේ වුවත්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජය සමයේ මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය තුළ ඇති වූ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය පාලනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයට වසරක් ගතවන විට ද නොහැකිවී තිබේ.
ඉකුත් ජුනි මස 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මුදල් ලබා ගැනීමේ පවතින ගැටලු හේතුවෙන් පවතින ඖෂධ හිඟයට පිළියම් සොයා ගැනීමට දුෂ්කරතාවයන් මතුව ඇති බවය.
රසායනික පොහොර ගෙන්වීම
ගොවිතැන් කටයුතු සඳහා ගොවීන් කාබනික පොහොර සඳහා යොමුකිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට තීරණය කෙරුණි. ඊට අදාළ ගැසට් නිවේදනය 2021 අප්‍රේල් 27 දා නිකුත් කළ අතර ඒ සමග මෙරට කෘෂි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය.
දිගින් දිගටම එල්ල වූ විරෝධතා හේතුවෙන් රසායනික පොහොර, කෘමිනාශක, හා වල්නාශක ආනයනය කිරීමට 2021 වසරේ නොවැම්බර් 24 වැනිදා සිට අවසර දීමට සහ ඊට අදාළ නව ගැසට් නිවේදනය නිකුත් කිරීමට එවකට පැවති රජය පියවර ගන්නා ලදී.
කෙසේ වුවද රටේ පැවති විදේශ විනිමය හිඟ වීම නිසා මෙරටට රසායනික පොහොර ගෙන්වීම ප්‍රමාද විය.
"දේශීය කෘෂිකර්මාන්ත නඟා සිටුවීමට රසායනික පොහොර අවශ්‍ය යි. වී එළවළු පළතුරු ප්‍රධාන අනෙක් බෝග සඳහාත්, තේ රබර් පොල් ඇතුළු අපනයන බෝග සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට වසරකට ඩොලර් මිලියන 600ක් වැය වෙනවා.
"වගාවක ආරම්භයේ සිට අවසානය දක්වා වරින් වර පොහොර යෙදීමට සිදුවන නිසා මේ පොහොර අපනයනය අඛණ්ඩව හිඟයකින් තොරව කිරීම අවශ්‍ය යි. නැත්නම් මුදලත් වෙහෙසත් අපතේ යැවීමක්," වික්‍රමසිංහ ඉකුත් වසරේ ජුනි මස හත්වැනිදා අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව අමතා කියා සිටියේ ය.
ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ කතාවේ දී ඔහු පොහොර සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි: "වගා කටයුතු සඳහා ඉදිරියේ දී අවශ්‍ය වන පොහොර ගෙන්වා ගැනීමේ වැඩ කටයුතු දැන් සිදු කෙරෙමින් පවතිනවා."
ඒ අනුව 2022/23 මහ කන්නයේ වී වගාව සඳහා ජූලි මාසයේ දී මෙරටට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට ඉන්දියාව විසින් පියවර ගන්නා ලදී.
ඉන් පසුව ජනාධිපතිගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය ආරම්භ කළ අතර ඊට අවශ්‍ය ණයවර ලිපි ද බැංකු මඟින් නිකුත් කිරීමට පියවර ගනු ලැබීය.
විදුලි කප්පාදුවට තිත
විදේශ විනිමය හිඟය නිසා ප්‍රමාණවත් අයුරින් ගල් අඟුරු සැපයුම් ලබාගැනීම, ජලාශ ආශ්‍රිත ප්‍රදේශ යන්ට ප්‍රමාණවත් ලෙස වැසි නොලැබී යාම සහ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට රට පුරා විදුලි සැපයුම දෛනිකව කප්පාදු කිරීමට රජයට සිදුවිය.
ඒ අනුව, දෛනිකව පැය කිහිපයකින් ඇරඹුණු විදුලි කප්පාදුව 2022 වසරේ මාර්තු මාසය වන විට දෛනිකව පැය 13ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවිය.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වී අගෝස්තු මස තුන්වැනිදා පාර්ලිමේන්තුවේ දී සිදුකළ සිය කතාවේ දී, "මේ වන විට විදුලි කප්පාදුව අවම කර ගැනීමට අපට හැකි වී තියෙනවා,"යි ප්‍රකාශ කළේ ය.
ඒ වන විට දෛනිකව සිදුකරන විදුලි කප්පාදුව පැය තුනකට සීමා කිරීමට හැකිව තිබුණි.
එයට හේතුව වූයේ, රටට ලැබුණු ලෝක බැංකු ආධාර සහ විදේශ විනිමය සමග ක්‍රමයෙන් ඉන්ධන සැපයුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීමට රජයට හැකිවීම නිසා දෛනිකව විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවිතෙල් නිකුත් කිරීමට හැකිවීම යි.
එමෙන්ම, 2023 වර්ෂය සඳහා ගල් අඟුරු නෞකා 38ක් සපයා ගැනීමට අවශ්‍යව තිබූ අතර, ඉන් පළමු නෞකාව ඉකුත් වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා මෙරටට ලඟා විය.
ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව යමින් 2023 වසරේ පෙබරවාරි මාසයේ දී සිදුකළ 66%ක විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව වසරකට අධික කාලයක් පැවති දෛනික විදුලි කප්පාදුව සම්පූර්ණයෙන් නතර කිරීමට රජයට හැකි විය.
ආනයන භාණ්ඩ සඳහා සීමා පැනවීම
රට තුළ පැවති දැඩි ආර්ථික පසුබෑම සහ විදේශ විනිමය හිඟය හේතුවෙන් 2022 වසරේ මාර්තු මස නවවැනිදා සිට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබීය. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ දී ය.
වත්මන් ජනාධිපති බලයට පත්වීමෙන් පසු 2022 වසරේ අගෝස්තු මාසයේ 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි චොක්ලට් ද ඇතුළුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 300ක් සඳහා ආනයන සීමා පැනවීමට පියවර ගනු ලැබීය.
එලෙස සීමා පනවනු ලැබූ භාණ්ඩ අතරින් තෝරාගත් කෘෂිකාර්මික උපකරණ, කාර්මික යන්ත්‍රෝපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ, මෙවලම්, යන්ත්‍ර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග 159ක් සඳහා පනවා තිබූ ආනයන සිමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බර් 13 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කටයුතු කරනු ලැබීය.
ඉන් පසු ජුනි මස නවවැනිදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 243කට ආනයන සීමා පනවමින් තිබූ තහනම ඉවත් කිරීමට රජය කටයුතු කළේ, මෙරටට විදේශ ප්‍රේෂණ ලැබීම සලකා බැලීමෙන් අනතුරුව ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවීම
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින උග්‍ර ආර්ථික පීඩනයට පිළියම් සොයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට රජය තීරණය කරනු ලැබුවේ 2022 වසරේ දී ය.
ඒ අනුව, එවක මුදල් අමාත්‍යවරයාව සිටි ජනාධිපති නීතීඥ අලී සබ්‍රි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස අප්‍රේල් මාසයේ දී ඇමෙරිකාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවී සාකච්ජා කරන ලදී.
එහිදී ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා මෙරට ණයහිමියන් සමග එකඟතාවයන් ඇතිකර ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය.
"යළි නැගී සිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ සිට අප ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙන යනවා. මූලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුව යි.
"ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමග එක්වී ණය ස්ථාවර කරලීමේ සැළසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා. මේ සැලැස්ම නොබෝ දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා. ඉන්පසුව අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමග සාකච්ඡා කරනවා. අනතුරුව පුද්ගලික ණයකරුවන් සමගත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමග එකඟතාවන්ට එළඹෙනවා," අගෝස්තු තුන්වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් නිකුත් කිරීම සඳහා වන කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී හැකිවිය.
ඉන් පසුව මෙම වසරේ මාර්තු මස 22 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම් යටතේ ණය මුදල් ප්‍රදානය කිරීමට තීරණය කළ බව නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
IMF ණය ලබා ගැනීමේ දී ඇතිකරගත් යෝජනා සම්පූර්ණ කිරීමට හැකිවූවා ද?
IMF වැඩසටහනේ රජයේ කැපවීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය මඟින් සමීක්ෂණයක් සිදුකර තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹී ගිවිසුම් අනුව පහත දැක්වෙන එකඟතාවයන් සම්පූර්ණ කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට හැකිවී තිබේ.
- ඉන්ධන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය
- 2023 සඳහා මූල්‍ය (ආදායම්) පියවර පිළිබඳ කැබිනට් අනුමැතිය
- සංචාරක සේවා මත ශුන්‍ය වැට් බද්ද ඉවත් කිරීම
- 2023 විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය
- සම්මත වැට් බදු අනුපාතය 15% දක්වා වැඩි කිරීම
- ආයතනික ආදායම් බදු නිදහස් කිරීම් ඉවත්කර සම්මත අනුපාතය 30% දක්වා වැඩි කිරීම.
- සමාජ ආරක්ෂණ දායක බද්ද හඳුන්වාදීම
- වැට් බදු සීමාව රුපියල් මිලියන 80 දක්වා අඩු කිරීම, බැංකු (විශේෂ විධිවිධාන) පනතට කැබිනට් අනුමැතිය
- නව මහ බැංකු පනතට කැබිනට් අනුමැතිය
- මධ්‍යසාර සහ දුම්කොළ සඳහා වන නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දැමීම
- දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.3%ක ඉන්ධන බද්දක් හඳුන්වාදීම
- ලාභාංශ හැර අනෙකුත් සියලුම ගෙවීම් සඳහා අවසාන නොවන රඳවා ගැනීමේ බද්දක් පැනවීම
- ලාභාංශ සඳහා අවසාන රඳවා ගැනීමේ බද්දක් පැනවීම
- පුද්ගලික ආදායම් බදු ව්‍යුහය සංශෝධනය කිරීම, රැකියා ආදායම මත අනිවාර්ය රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වා දීම
- සේවා ගෙවීම් සඳහා 5%ක රඳවා ගැනීමේ බද්දක් පැනවීම.
- සහාධිපත්‍ය නේවාසික මහල් නිවාසවල වැට් බදු නිදහස් කිරීම ඉවත් කිරීම
- පිරිවැය ප්‍රතිසාධන විදුලි මිල සඳහා කැබිනට් අනුමැතිය
- අවම වශයෙන් සම්පූර්ණ පිරිවැය ප්‍රතිසාධනය සහතික කරන විදුලි මිල ගණන් ස්ථාපිත කිරීම
- අවම වශයෙන් සම්පූර්ණ පිරිවැය ප්‍රතිසාධනය සහතික කරන ඉන්ධන මිල ස්ථාපිත කිරීම
- සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පාර්ලිමේන්තු අනුමැතිය
නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතාවන් අනුව බදු ආදායම 2023 මාර්තු වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1%දක්වා (රුපියල් බිලියන 650) වැඩිකර ගැනීම, නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම, ඔට්ටු සහ සුදූ ඇල්ලීමේ ක්‍රීඩා ගාස්තු ඉහළ දැමීමේ පනත් සම්මත කර ගැනීමට මේ දක්වා නොහැකිවී තිබේ.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම
මෙරට මැතිවරණ න්‍යාය පත්‍රය අනුව දැනටත් ප්‍රමාද වී තිබෙන පළාත් සභා සහ පළාත් පාලන ජන්ද විමසීම පැවැත්වීම වත්මන් ජනාධිපතිවරයා බලයට පත්ව ගෙවීයන වසරක කාල සීමාව තුලදී ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඒ, ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ජන්ද විමසීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ය.
තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බවත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවූ අවස්ථාවේදී පවසා සිටියේ ය.












