ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානය සම්බන්ධයෙන් ඉස්ලාමීය රටවල් මෙතරම් බෙදී සිටින්නේ ඇයි?
- Author, රවුනක් බහිරා
- Role, බීබීසී වාර්තාකරු
"මුස්ලිම් රටවල් ගැටුම් අවුස්සන සහ ඒවා බෙදා වෙන් කරන බාහිර පුද්ගලයින්ගේ (ඇමෙරිකා එක්සත් ජනපදය) පීඩනයට යටත් නොවිය යුතු යි. මුස්ලිම් රටක් ශක්තිමත් වන සෑම අවස්ථාවක ම මුස්ලිම්වරුන් සතුටු විය යුතු යි. අපගේ ශක්තිය ඔබගේ ශක්තිය යි, ඔබගේ ශක්තිය අපගේ ශක්තිය යි,"ඉරානයේ එවකට විදේශ අමාත්‍ය මනූචෙහර් මොටාකි 2010 වසරේදී පැවති සමුළුවකදී පැවසුවේ ය.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මුහුණට මුහුණ හමුවන්නේ කවදා වුව ද, ඉරානය සිය ඉස්ලාමීය අනන්‍යතාව කැපී පෙනෙන ලෙස අවධාරණය කරයි.
කෙසේ වෙතත්, එම අනන්‍යතාව තවමත් එතරම් ප්‍රබල වී නොමැති අතර ඉස්ලාමීය රටවල් තම ජාතික අවශ්‍යතාවට වඩා ආගමික අනන්‍යතාවයට ප්‍රමුඛත්වය දීමට පෙළඹී ඇත.
1979 විප්ලවයෙන් පසු, ඉරානය යනු කලාපයේ එක්සත් ජනපද ආධිපත්‍යය දරන පද්ධතියට අභියෝග කරන එකම රට විය. ඉතිරි ඉස්ලාමීය රටවල් එක්සත් ජනපදයේ සමීප සගයන් වන අතර එය තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරයි.
ඉරානය චීනයට සහ රුසියාවට සමීප නමුත් එම රටවල් දෙක ම ඇමෙරිකාව සමග ඍජු හමුදා ගැටුමකට එළඹීමෙන් වැළකී සිටියි.
තුර්කිය ප්‍රසිද්ධියේ ඉරානයට සහාය දක්වන බව පෙනෙන්නට තිබුණ ද, ඔවුන් නේටෝ සාමාජික රාජ්‍යයකි. මෙම කලාපයේදී තුර්කියේ අභිලාෂයන් සෑමවිටම ඉරානයේ අභිලාෂයන් සමග ගැටී ඇත.
තුර්කියේ සහාය නොමැතිව, ඉරානයට සහය දක්වන බෂාර් අල්-අසාද්ගේ රජය සිරියාව තුළදී බිඳ වැටීමක් සිදුවන්නේ නැත. මෙම තත්ත්වය නොසලකා ඉස්ලාමීය අනන්‍යතාවය මත පදනම් වූ ජනතා බලමුළු ගැන්වීම් සඳහා කරන ආරාධනා කලින්කලට පැන නගී.
ඇතැම් පුද්ගලයින් ඉරානයේ වත්මන් අර්බුදය දෙස මෙම අනන්‍යතාවයේ කැඩපතෙන් ද බලයි.
රුසියානු දේශපාලන විශ්ලේෂක ඇලෙක්සැන්ඩර් ඩුගින් සිය X ගිණුමේ මෙලෙස සඳහන් කළේය, "ඉස්ලාමීය ලෝකය අන්කවරදාටත් වඩා බෙදී පවතී. පොදු දැක්මක්, පොදු උපාය මාර්ගයක්, පොදු තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් එහි නැහැ. මෙය ප්‍රභූ පැලැන්තියේ පාවාදීම පිළිබිඹු කරනවා. අධිරාජ්‍යවාදයේ නව රැල්ලක් මතුවෙමින් පවතින ට්‍රම්ප්ගේ ලෝකයේ, මෙයින් අදහස් කරන්නේ ඉස්ලාමීය රටවල් යටත් විජිතකරණයට යටත් වන බව. එක්සත්භාවයක් හෝ ස්වෛරීත්වයක් නැහැ."
ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද පැවසුවේ, වොෂින්ටනය ඉරානයට පහර දීම නවත්වන ලෙස ඉරානය කලාපයේ ඇමෙරිකානු සගයින්ගෙන් ඉල්ලා ඇති බවයි.
ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළ හොත්, එම රටවල ස්ථාපිත ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල වනු ඇතැයි ඉරානය සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කිය වැනි රටවලට පැහැදිලිව අනතුරු අඟවා ඇති බව ඔහු පැවසුවේය.
එක්සත් ජනපදයට මැද පෙරදිග රටවල් කිහිපයක ස්ථාපිත හමුදා කඳවුරු පවතී. එබැවින් එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ආගමික අනන්‍යතාව මත පදනම්ව කලාපයේ අනෙකුත් රටවල් ඉරානයට පක්ෂව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කිරීම හාස්‍යජනක ය.
ඉස්ලාමීය රටවල් දරන ස්ථාවරය
පසුගිය වසරේදී ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ විට, මුස්ලිම් රටවල් 21ක් එය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය.
සෞදි අරාබිය, තුර්කිය, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ඊජිප්තුව, කටාර්, සුඩානය, සෝමාලියාව, බෲනායි, චැඩ්, බහරේන්, කුවේට්, ලිබියාව, ඇල්ජීරියාව සහ ජිබුටි වැනි රටවල් ඊට ඇතුළත් විය.
"එදා ප්‍රහාරය හෙළා දුටු මුස්ලිම් රටවලට අවශ්‍ය වුණේ තමන්ටත් ලෝකයේ පැවැත්මක් ඇති බව පෙන්වීම පමණයි. ඔවුන් ලැජ්ජාව වහ ගනිමින් හිටියා. මුස්ලිම් රටවල් ඔවුන්ගේ ප්‍රතිරූපය බේරා ගැනීම සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරනවා." මැදපෙරදිග කටයුතු පිළිබඳ විශේෂඥයෙකු සහ ICWA හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආචාර්ය ෆසුර් රහ්මාන් පවසයි.
The Spectator හි වාර්තාවක සඳහන් වන්නේ එම අවස්ථාවේදී ඉරානය පිළිබඳ මුස්ලිම් රටවල් දැරූ ස්ථාවරය හෝ 'මුස්ලිම්වරුන්ගේ එකමුතුව' පෙන්වීම හුදෙක් සංදර්ශනයක් පමණක් බවයි.
මෙම රටවල් බොහෝමයකට ඊශ්‍රායලය සමග යහපත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබේ. එකල ලෙබනන් බලධාරීන් ඉරානයට සහාය දක්වන හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමටද කටයුතු කළහ.
සිරියාවේ සිටි ඉරානයට පක්ෂපාතී බෂාර් අල් අසාද් බලයෙන් පහ කර ඇති අතර, දැන් අහ්මද් අල් ශාරාගේ නායකත්වයෙන් යුත් රජය බලයේ සිටියි. වත්මන් සිරියානු රජය, අසාද්ගේ රජය මෙන් ඊශ්‍රායලයට එරෙහිව දැඩි ආක්‍රමණශීලීත්වයක් දක්වන බව නොපෙනෙයි.
ඉරානයේ ප්‍රතිරූපය
ඉරානය යනු ෂියා නිකායිකයින් බහුතරයක් සිටින රටක් වන අතර ෂියා සහ සුන්නි නිකායිකයින් අතර පවතින එදිරිවාදිකම් අලුත් දෙයක් නොවේ.
1979 ඉරාන විප්ලවයේ පටන් සුන්නි රටවල ඉරානය කෙරෙහි පවතින අවිශ්වාසය වර්ධනය වී ඇත. ගල්ෆ් රටවල් රාජාණ්ඩු වන අතර ඉරානය තුළ එවැනි ව්‍යාපාර පැතිරීම ගැන සැලකිලිමත් වේ.
බහරේනය වැනි රටවල සිටින සුන්නි පාලකයින්ට එරෙහිව, ෂියා කැරලි ඇති කිරීමට පෙළඹවීම් කරන බවට ඉරානයට චෝදනා එල්ල වී තිබේ. ඉරාකයේ සහ යේමනයේ සුන්නි පාලකයින් අස්ථාවර කරන බවට ද ඉරානයට චෝදනා එල්ල වී ඇත.
ඉරානය න්‍යෂ්ටික අවි පසුපස හඹා යමින් සිටියි. ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන් අවස්ථාවේදී මැද පෙරදිග ඉස්ලාමීය රටවල් බොහෝමයක් නොසන්සුන් වූ බව පැවසේ.
දැන් ඉස්ලාමීය රටවල ස්ථාවරය කුමක්ද?
විදේශ සබඳතා කවුන්සිලයට අනුව, ඉරානයේ ඉස්ලාමීය රජයේ බිඳවැටීම ගල්ෆ් රටවලට සැලකිය යුතු ප්‍රතිලාභයක් ගෙන දිය හැක. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාරය වැනි ප්‍රධාන ගල්ෆ් රටවල් දෙසැම්බර් අග සිට ඉරානයේ විරෝධතා සම්බන්ධයෙන් මුණිවත රකිමින් සිටියහ.
කටාරයට, ඉරානය සමඟ දිගුකාලීන හා යහපත් සම්බන්ධතාවයක් පවතින අතර සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වසර ගණනාවක් පුරා පැවැති එදිරිවාදිකම්වලින් අනතුරුව ඉරානය සමඟ සබඳතා වැඩිදියුණු කර ගෙන තිබේ. ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථාතත්ත්වයට පත් කර ආයෝජන අංශයට යම් ස්ථාවරත්වයක් රැගෙනවිත් ඇත.
කෙසේ වෙතත් ඉරානයේ පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දැක්වීමේදී ආක්‍රමණශීලී වී ඇති ඉරානය කෙරෙහි සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තවමත් පූර්ණ විශ්වාසයක් නොමැත.
ඕමානය යනු මෙම කලාපයේ පිහිටි තවත් එක් රටක් වන අතර, සියලු ආකාරයේ විරෝධතා විසඳීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරයි.
ඕමානය බොහෝ විට එක්සත් ජනපදය සහ ඉරානය අතර සංවාදය සඳහා පාලමක් ලෙස කටයුතු කරයි. ජනවාරි 10 වන දින, ඕමාන විදේශ අමාත්‍යවරයා ටෙහෙරානයේදී ඉරාන විදේශ අමාත්‍යවරයා හමුවිය.
එම හමුවේදී දෙපාර්ශවය සහයෝගීතාව ඉහළ නැංවීම සහ ආතතීන් උත්සන්න කළ හැකි ප්‍රතිපත්ති වළක්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කළ අතර, ඉරානය සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව එක්සත් ජනපදයට සංඥා කර තිබිණි.
සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින එදිරිවාදිකම් තවමත් අවසන් වී නොමැත.
මෙම එදිරිවාදිකම් සුන්නි නිකායින්ට එරෙහිව ෂියා නිකායිකයින්ගේ සිට සෞදි අරාබි රාජාණ්ඩුවට එරෙහිව ඉරානයේ ඉස්ලාමීය විප්ලවය දක්වා පැතිරී පවතී. අසර්බයිජානය ෂියා බහුතරයක් වෙසෙන මුස්ලිම් රටකි, නමුත් එය ඊශ්‍රායලයට සමීප වන අතර ඔවුන් ෂියා බහුතරයක් වෙසෙන ඉරානය සමඟ ගැටෙයි.
ඇමෙරිකාව ඉරාකයට පහර දී සදාම් හුසේන් එල්ලා මැරීම තහවුරු කළ විට, ඉරානය ඇමෙරිකාවට විරුද්ධ වූයේ නැත.
ඉරානය තුළ ඉස්ලාමීය විප්ලවය සිදු වූ වසරේදීම ඊජිප්තුව ඊශ්‍රායලය රටක් ලෙස පිළිගෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගත්තේය. ජෝර්දානය ද 1994 දී ඊශ්‍රායලය පිළිගත්තේය.
2020 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ සුඩානය ද ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
ඉස්ලාමීය රටවල් මුහුණදෙමින් සිටින අභියෝග
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධයක් ආරම්භ වුවහොත් එය මුස්ලිම් රටවලට විශාල අභියෝගයක් වනු ඇතැයි මැදපෙරදිග කටයුතු පිළිබඳ විශේෂඥ ආචාර්ය ෆස්ලූර් රහ්මාන් විශ්වාස කරයි.
"මේ රටවල්වලට ඇමෙරිකාව සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න ඕනේ. ඒ වගේම ලෝකයේ ඉන්න මුස්ලිම් ජනතාව අතර ඔවුන්ගේ කීර්තිනාමයට හානි කරගන්නත් ඔවුන් කැමති නැහැ. විශේෂයෙන් අරාබි රටවල් ඇමෙරිකාව සමඟ සාමාන්‍ය සබඳතා පවත්වනවා, ඔවුන් ඒවට හානි කරගන්න කැමති වෙන එකක් නැහැ." ඔහු පැවසුවේය.
"මුස්ලිම් රටවලට මේ සඳහා සෘජු භූමිකාවක් නැතිවෙන්න පුළුවන්. නමුත් එක්සත් ජනපදය කැමති නම් ඔවුන් එහි ඉදිකර ඇති හමුදා කඳවුරු භාවිතයට ගනී." හමුදා ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ආචාර්ය රහ්මාන් පවසයි.
"මෙම රටවලට එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බැහැ" ආචාර්ය ෆස්ලූර් රහ්මාන් පවසයි. "2003 වසරේදී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කළ විට තුර්කිය එක්සත් ජනපදයට ඒ සඳහා අවසර දුන්නේ නැහැ. නමුත් එතැන් සිට බොහෝ දේ සිද්ධ වෙලා තියෙනවා."
"පසුගිය වසරේදී, එක්සත් ජනපදය ඉරානයට පහර දුන් අවස්ථාවේදී පවා, මෙම හමුදා කඳවුරු භාවිතා කළ බව අනාවරණ වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් 'රාජ්‍ය තාන්ත්‍රිකභාවය' ගැන කතා කරන්නේ නැහැ, ඔහු කතා කරන්නේ 'ක්‍රියාව' ගැන විතරයි. ඒකනිසා වර්තමානයේදී පවතින තත්වය මත මේ රටවල්වලට එක්සත් ජනපදයට එපා කියලා කියන්න හැකියාවක් නැහැ. "
පකිස්ථානයේ ස්ථාවරය කුමක් වෙයිද?
සීතල යුද්ධයේදී පටන් පකිස්තානය එක්සත් ජනපදයේ සමීප මිතුරෙකු වී ඇත. ඉරාන රජය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිරාජ්‍යවාදියෙකු ලෙස හඳුන්වන නමුත් පාකිස්තානය ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කර ඇත.
ඉරානය සහ පකිස්ථානය ද නිරන්තරයෙන් එකිනෙකාගේ භූමි ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කරයි. එබැවින්, ප්‍රහාරයකදී පකිස්ථානය සිය ඉස්ලාමීය අනන්‍යතාවය තුළ සිටිමින් ඉරානයට පක්ෂපාතීව සිටිමින් එක්සත් ජනපදයට විරුද්ධ වේද යන්න පැවසීම දුෂ්කරය.
පකිස්ථානයේ පළ කෙරෙන ඉංග්‍රීසි පුවත්පතක් වන The Express Tribune ඔස්සේ පළ වූ වාර්තාවක සඳහන් වූයේ පකිස්ථානයට ඉරානයේ අස්ථාවරත්වයට දැකීමට අවශ්‍ය නොවන බවයි.
"ප්‍රතිවිපාක දරුණු විය හැකි බැවින් පකිස්ථානයට ඉරාන රජයේ වෙනසක් සිදුවීම අවශ්‍ය නැත. ඉරානය සහ පකිස්ථානය කිලෝමීටර් 900 ක දේශ සීමාවක් බෙදා ගනී. මෙම දේශසීමාව පාකිස්තානයේ බලෝචිස්ථානය පළාත හරහා දිවෙයි. බලෝචිස්ථානය යනු පකිස්ථානයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පළාතයි." වාර්තාවේ සඳහන් විය.
ඉරානය තුළ සිදුවන ඕනෑම කැළඹීමක් පකිස්ථානයට ඍජුව බලපෑම් එල්ල කරයි. දේශසීමා ත්‍රස්තවාදය, ආයුධ ජාවාරම, සරණාගතයින් ගලා ඒම සහ ආර්ථික දුෂ්කරතා ගැටළු වලට හේතුවිය හැකිය."
"එය අභ්‍යන්තර හෝ බාහිර මැදිහත්වීමක් වේවා, ඉරානයේ සිදුවන ඕනෑම වෙනසක් පකිස්ථානයට සෘජු බලපෑමක් ඇති කරනවා. ඉරානය සහ බටහිර රටවල් අතර ආතතීන් අඩු කිරීමට පකිස්ථානය උදව් කරලා තියෙනවා. එක්සත් ජනපදයේ පිහිටි පකිස්ථාන තානාපති කාර්යාලය ඉරානයේ අවශ්‍යතා ද සොයා බලනවා." පකිස්ථානයේ හිටපු තානාපති අසීෆ් ඩුරානි Tribune වෙත පැවසුවේය.
"අවසන් වරට ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුමක් හටගත් අවස්ථාවේදී පකිස්ථානය ඉරානයේ භූමිය සහ ස්වෛරීභාවයට ඉතා පැහැදිලිව සහාය පළ කළා. නමුත් හමුදා ගැටුම නිසා ඉරානය දුර්වල වූ බව පැවසූ පකිස්ථානයේ ඉතා සුළු පිරිසෙන් මමත් එක් අයෙක්." පකිස්ථානයේ හිටපු විදේශ ලේකම් සොහාර් සලීම් Tribune වෙත පැවසුවේය.
''අපි අද දකින තත්ත්වය මෙම දේශපාලන අස්ථාවරත්වයේ ප්‍රතිඵලයක්. දැන්, ආර්ථික, සයිබර් හෝ හමුදා යන ඕනෑම බාහිර මැදිහත්වීමකදී තත්ත්වය තවත් නරක අතට හැරීමක් විතරක් සිදුවෙයි. ඉරානය දැනටමත් අභ්‍යන්තර හා බාහිර වශයෙන් එල්ල වන පීඩනය යටතේ අවදානමට ලක්වෙලා තියෙන්නේ."