ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය: ‘ලෝකයේ බලවත් ම අධිකරණය’ අර්බුදයකට මැදිව සිටින්නේ ඇයි?

 ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති 70,000කට අධික අභියාචනා සංඛ්‍යාවක් හසුරුවන්නේ විනිසුරුවරුන් 30කට මදක් වැඩි ගණනකි
    • Author, සුතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු

ලෝකයේ බලවත් ම ශ්‍රේෂ්ඨාධිකරණය, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය බවට විද්වතුන් උදම් අනන්නේ, හේතුවක් නැතිව නොවේ.

73 වසරක් පැරණි එම අධිකරණයට විධායක පනත්, පාර්ලිමේන්තු නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන බලරහිත කළ හැකි ය. ස්වාධීනව නඩු ආරම්භ කිරීමට ත්, නඩු විභාග කිරීමේදී සහය වීම සඳහා "ස්වේච්ඡා අධිකරණ උපදේශකයින්" පත් කිරීමට ත්, එහි තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහය වීමට විශේෂඥ මණ්ඩල පිහිටුවීමට ත් එයට බලය ඇත.

අද වන විට, විනිසුරුවරුන් 34 දෙනෙක් අභියාචන සහ පෙත්සම් 70,000ක් හසුරුවන අතර, වාර්ෂිකව තීන්දු 1000ක් පමණ නිකුත් කරති.

එහෙත්, එහි අතිමහත් අධිකාරියක් සහ බලයක් තිබියදී ත්, "උසාවිය අර්බුදයක පවතින," බව අපර්ණා චන්ද්‍ර, සීතල් කලන්ට්‍රි සහ විලියම් එච්.ජේ. හබාර්ඩ්, Court on Trial නමැති සම්පූර්ණ දත්ත පදනම් කර ගත් වාර්තාවක සඳහන් කර තිබේ. තව ද, පර්යේෂණයේ කර්තෘවරුන් සොයාගෙන ඇති පරිදි, නඩු විශාල වශයෙන් ගොඩගැසී තිබීමට බලපා ඇති එක් හේතුවක් වන්නේ, පැමිණිලිකරුවන් අවුල්සහගත තත්ත්වයකට පත් කර ඔවුන් මූල්‍යමය වශයෙන් දුර්වල කර දැමීම ය.

එම නීති විශාරද ත්‍රිත්වයේ නව කෘතිය, මිලියනයකට අධික ශ්‍රේෂ්ඨාධිකරණ නඩු වාර්තාවලින් ලබා ගත් වෙනස් සහ සුවිශේෂී දත්ත ගොනු පහකින් කැපී පෙනෙන සොයා ගැනීම් කිහිපයක් ඉදිරිපත් කරයි. ඉන් සමහරක් මෙසේ ය:

  • 2018 නොවැම්බරයේදී, අධිකරණයේ නඩු සංඛ්‍යාවෙන් 40% ක් වසර පහකට වැඩි කාලයක් තිස්සේ විභාග වෙමින් පැවතිණි. 2004 වසරේදී එහි ප්‍රතිශතය වූයේ, 7%කි.තවත් නඩු වලින් 8% ක් වසර 10 කට වැඩි කාලයක් විභාග වෙමින් පැවතුනි.
  • සාමාන්‍යයෙන්, අධිකරණයකින් නඩු විභාගයක් ආරම්භයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය එය අවසන් කරන දිනය දක්වා කාලය වසර 13 කුත් මාස හයක් පමණ වේ. ඉහළ අධිකරණයේ ක්‍රියාවලිය මුළු කාලයෙන් තුනෙන් එකක් පමණ වන අතර, අධිකරණයේ සෑම ස්ථරයක ම ක්‍රියාවලීන්ට ගත වන කාලය සාමාන්‍ය කාලසීමාවට සමාන වේ.
  • නඩු කාල සීමාවන් සැලකිය යුතු ලෙස වෙනස් වූ අතර, නඩු ගොනු කිරීමේ සිට අවසන් කිරීම දක්වා වඩා ත් මන්දගාමී නඩු විසඳීමට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වන අතර වේගවත් ම නඩු විසඳීමට මාස තුනක් පමණ ගත වේ. සාමාන්‍යයෙන්, අධිකරණයේදී බදු ගැටලු පිළිබඳ තීන්දු සඳහා වසර හතරක් පමණ ගත වූ අතර, ඒවා වැඩියෙන් ම කාලය ගත වන සහ මහා භාණ්ඩාගාරයට බලපෑම් ඇති කරන නඩු බවට පත් වී තිබේ.
  • 2018 නොවැම්බර් මාසය වන විට, නීතියේ වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ල සාමාන්‍යයෙන් වසර අට හමාරකට වඩා වැඩි කාලයක් නඩු විභාග වෙමින් පැවති අතර, සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් සහිත නඩු සඳහා වසර 16කට වැඩි කාලයක් දක්වා ගත වී තිබේ. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය පිළිබඳ කිසියම් ප්‍රබල ප්‍රශ්නයකට අදාළව නඩු විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හෝ ඊට වඩා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් අසුන් ගත යුතු ය..
මැතිවරණ බැඳුම්කරවලට එරෙහි පෙත්සම් වසරක කාලයක් විභාගයට නොගෙන තිබූ අතර අවසානයේ 2019 අප්‍රේල් මාසයේදී අධිකරණය විසින් විභාගයට ගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ බැඳුම්කරවලට එරෙහි පෙත්සම් වසරක කාලයක් විභාගයට නොගෙන තිබූ අතර අවසානයේ 2019 අප්‍රේල් මාසයේදී අධිකරණය විසින් විභාගයට ගන්නා ලදී.

සිවිල් සහ සාපරාධී අභියාචන සඳහා වන විශේෂ අවසර පෙත්සම්වලින් (SLPs) අධිකරණයේ සමස්ත ලේඛනයේ 90%කට වඩා වැඩි ප්‍රතිශතයක් සමන්විත වේ. මෙම තත්ත්වය නිසා, අධ්‍යයනයේ කතුවරුන් පවසන පරිදි, රිට් පෙත්සම් සහ ව්‍යවස්ථාමය අභියෝග විභාග කිරීමට ඇති අවස්ථා අවහිර වේ. "විශේෂ අවසර පෙත්සම් මාර්ගය යටතට ඇතුළත් විය යුතු නඩු වර්ග මොනවා ද යන්න තීරණය කිරීම සඳහා පැහැදිලි මිනුම් දඬුවක් නැත," ඔවුන් සටහන් කර තිබේ.

පර්යේෂකයින් පවසන පරිදි ඇතැම් නඩු පෝලිම් පනිමින් නියමිත පිළිවෙළට කලින් ලැයිස්තුගත කරන "තෝරා ගැනීමේ ආකෘතියක්" හේතුවෙන් ගැටලු ඇති වී තිබේ.

2020 ජූලි මාසයේදී සිය නඩුවට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකර ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ ඇප ඉල්ලුම් පතකට ප්‍රමුඛත්වය දීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කළ අවස්ථාවක් පිළිබඳව පර්යේෂකයින් සඳහන් කර තිබේ. මාධ්‍යවේදියාගේ නඩුව කඩිනමින් ලැයිස්තුගත කිරීම විනිසුරුවරුන් විසින් සාධාරණීකරණය කරනු ලැබුවේ, එය "මාධ්‍යයේ ස්වාධීනත්වයට සහ නිදහසට" අදාළ වන බව පවසමිනි.

පර්යේෂණයේ කතුවරුන් පවසන පරිදි, කලාපයේ ඉන්ටර්නෙට් සීමා කිරීම් පිළිබඳ තීරණ සමාලෝචනය කිරීමට අධිකරණය විසින් මෙහෙයවන ලද යාන්ත්‍රණයක් නොමැතිකම ප්‍රශ්න කරමින් ජම්මු සහ කාශ්මීරයේ සන්ධීය පාලනයට එරෙහිව ගොනු කරන ලද මිලියන ගණනක් පුරවැසියන්ගේ "මාධ්‍යයේ ස්වාධීනත්වය සහ නිදහස" පිළිබඳ පෙත්සමක් සමග සැසඳීමට මෙය හේතු විය.

අධික අතපසුවීම් නිසා දුෂ්කර නඩු ලැයිස්තුගත නොකිරීමෙන් ඒවා විභාග කිරීම වළක්වා ගැනීමට අධිකරණයට ඉඩ ලැබී ඇතැයි පර්යේෂණයේ කතුවරු පවසති. මෙම "අධිකරණ ක්‍රියාවලිය මගහැරීමේ" ක්‍රමය හේතුවෙන් "වඩා ත් ලෞකික කරුණු කෙරෙහි අවධානය යොමු කරද්දී වැදගත් නඩු පසෙකට විසි වෙයි."

ආණ්ඩුවේ ජෛවමිතික හැඳුනුම්පත් ලබා දීමේ යෝජනාවට එරෙහිව එල්ල වූ අභියෝගය සම්බන්ධයෙන් තීන්දුවක් දීමට අධිකරණයට වසර පහක් ගත විය

ඡායාරූප මූලාශ්‍රය, MANSI THAPLIYAL

ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුවේ ජෛවමිතික හැඳුනුම්පත් ලබා දීමේ යෝජනාවට එරෙහිව එල්ල වූ අභියෝගය සම්බන්ධයෙන් තීන්දුවක් දීමට අධිකරණයට වසර පහක් ගත විය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කතුවරු බලගතු උදාහරණ ගෙන හැර දක්වති.

නිදසුනක් වශයෙන්, කිසිදු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් නොකර, ආණ්ඩුවේ ජෛවමිතික හැඳුනුම්පත් යෝජනා ක්‍රමය වන ආධාර් පතට එරෙහිව ගොනු කර තිබූ අභියෝගය සම්බන්ධයෙන් තීරණය කිරීමට උසාවිය සම්පූර්ණයෙන් වසර පහක කාලයක් ගත කළේ ය. මෙම කාල පරිච්ඡේදය තුළ, අභියෝගයේ බලපෑම යටපත් කරමින්, යෝජනා ක්‍රමය සඳහා බිලියනයකට අධික පිරිසක් ලියාපදිංචි වූහ. (2018 වසරේදී, අධිකරණය අදාළ යෝජනා ක්‍රමය ව්‍යවස්ථානුකූල බව ත් පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය උල්ලංඝණය නොකළ බව ත් පවසමින් එය තහවුරු කළේ ය.)

ඉන්පසු, දේශපාලන පක්ෂවලට පරිත්‍යාග කිරීම සඳහා පොළී රහිත මූල්‍ය උපාංග වන මැතිවරණ බැඳුම්කර පිළිබඳව ප්‍රශ්න කරන පෙත්සම් කිහිපයක් විය. 2018 පෙබරවාරි මාසයේදී මෙම බැඳුම්කර හඳුන්වා දෙනු ලැබුවේ, නීතිවිරෝධී මුදල් භාවිතයෙන් ඉවත් කිරීම සහ දේශපාලන මූල්‍යකරණය කෙරෙහි වඩා ත් විනිවිදභාවයක් ඇති කිරීම සඳහා ය. විවේචකයින් පවසන්නේ, බැඳුම්කර "ව්‍යවස්ථා විරෝධී සහ ගැටලුසහගත" බව ය. ඒ, එක් එක් බැඳුම්කර මිල දී ගත්තේ කවුරුන් ද සහ පරිත්‍යාගය කළේ කාට ද යන්න පිළිබඳ පොදු වාර්තාවක් නොමැති හෙයිනි.

කතුවරුන් විසින් විශේෂ අවධානයක් යොමු කරන ලද එම නඩුව වසරක් පුරා පැවති අතර, අවසානයේ 2019 අප්‍රේල් මාසයේදී මහ මැතිවරණයට සමගාමීව විභාග විය. පසුගිය ජනවාරි මාසයේදී අධිකරණය විසින් පෙත්සම් යළි කැඳවූ අතර මාර්තු මාසයේදී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ලකට යොමු කළ යුතු ද යන්න පිළිබඳව සලකා බලමින් සිටියේ ය. මෙය "ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ස්වභාවය සහ එය යටපත් කිරීම ස්පර්ශ කරන," සිද්ධියක් බව කතුවරු පවසති.

අධිකරණ පද්ධතියේ ඇති ගැටලුවලට වඩා නොවැදගත් නඩුවලට ප්‍රමුඛත්වය දීම, "දේශපාලනික වශයෙන් සංවේදී කරුණු මග හැරීමට අධිකරණය පළිහක් ලෙස තම අතපසුවීම් භාවිත කරයි" යන විවේචනය කිරීමට ආරාධනා කරන," බව හාවර්ඩ් නීති විද්‍යාලයේ සාමාජිකයෙකු වන නික් රොබින්සන් පවසයි.

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පෙබරවාරි මාසයේ පැවති විරෝධතාවක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පෙබරවාරි මාසයේ පැවති විරෝධතාවක්.

"ඔව් ඒක (අධිකරණමය මගහැරීමක් කියන විවේචනයට ආරාධනා කරනවා," ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන මදන් ලෝකූර් මට පැවසීය. "නමුත් අධිකරණය සමහර මතභේදාත්මක කරුණු විභාගයට ගෙන ඇති බව මට පිළිගන්න වෙනවා. ඒත් මැතිවරණ බැඳුම්කර නඩුව වැනි තව ත් කිහිපයක් ඉවත දාලා තියෙනවා."

රොබින්සන් විශ්වාස කරන්නේ, ගොඩගැසී ඇති නඩු නිසා අධිකරණයේ මූලික අරමුණුවලින් "විශාල ඈත් වීමක් සිදුව ඇති" බව ය. "සාමාන්‍ය නඩු රාශියක් විභාග කරන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍යතාවක් නෙවෙයි, නමුත් එය අධිකරණය ක්‍රියාකාරීව ගත් තීරණයක්."

"අධිකරණය කියන්නේ, ප්‍රවේශය වටා විවිධ තරගකාරී අවශ්‍යතා තුලනය කිරීම, ඉහළ උසාවි මගින් සිදු කරන ලද වැරදි නිවැරදි කිරීම සහ ප්‍රධාන නීතිමය ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි සහ බලයලත් පූර්වාදර්ශයක් සැකසීම" බව ඔහු පවසයි.

පැහැදිලිව ම, අධිකරණයේ ප්‍රමාදයන් සිදු වන්නේ නඩු සංඛ්‍යාව වැඩි වීම, සීමිත අධිකරණ සම්පත් සහ අභියාචනා විශාල සංඛ්‍යාවක් අධිකරණය විසින් භාර ගනු ලැබීම හේතුවෙනි. නව පර්යේෂණයේ කතුවරු නඩු ගොඩ ගැසීම් අඩු කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිති.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථර තුනකින් යුත් අධිකරණමය පද්ධතියකට නායකත්වය දෙයි: ඒ, දිස්ත්‍රික් අධිකරණ, මහාධිකරණ සහ ඉහළ අධිකරණය යනුවෙනි. අධ්‍යයනයේ කතුවරුන් පවසන්නේ, පහළ අධිකරණ බහුතර නඩු විසඳිය යුතු බව ත්, නව නීතිමය ගැටලු හඳුන්වා දෙන හෝ අනාගත තීන්දුවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට පහළ අධිකරණවලට සහය වීම සඳහා නව, පැහැදිලි නීතිමය මාර්ගෝපදේශ ස්ථාපනය කිරීමට ඉඩ සලසන නඩු පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා වෙන් කර ගත යුතු බව ත් ය.

එහෙත්, මහාධිකරණ ද ගැටලුවේ කොටසක් බව හිටපු විනිසුරු ලෝකූර් පවසයි. ඔහු පවසන්නේ, මහාධිකරණය දෙන ඇතැම් තීන්දු "සමපාත නොවන බව ත් අභියාචනයේදී ඒවාට මැදිහත් වීම හැර ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනත් විකල්පයක් නොමැති බව ත් ය". (කෙසේ වුව ද, ඉන්දියාවේ මහාධිකරණ 25ක නඩු මිලියන හයක් විභාග වෙමින් පවතී.)

රොබින්සන් පවසන්නේ, "ප්‍රමුඛතාව දිය යුතු ආයතනික අරමුණු මොනවා ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ යුතු" බව ය.

"බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්නේ නඩු සංඛ්‍යාව අඩු කරන්න කියලා. නමුත් ඒ නඩු විශාල, වඩා බලවත් විනිසුරු මඩුල්ලකින් විභාග කරද්දී , එය මහාධිකරණවලට ත් පැහැදිලි පූර්වාදර්ශයක් සපයනවා," රොබින්සන් පවසයි.

මිලියන 50කට වඩා වැඩි විස්මයජනක නඩු ගොන්නකින් ඉන්දියාවේ සියලු ම අධිකරණ අවහිර වී ඇති අතර, රටේ පීඩාවට පත් වූ වේදනාකාරී ඉබිගමනක නිරත වන අධිකරණ පද්ධතිය සාමාන්‍ය ජනතාවට දඬුවමක් බවට පත්ව තිබේ.ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ම ගොඩගැසී ඇති තමන්ගේ නඩු අවසන් කළ යුතු ය. "සෑම වරදක් ම නිවැරදි කරන්න බැරි බව අධිකරණය වටහා ගත යුතු යි," ලෝකූර් පවසයි.