ඉරාන විරෝධතා: සදාචාර පොලිසිය මතභේදාත්මක ලෙස යළි වීදි බසී

An Iranian morality policeman talks to a woman sitting in her vehicle in Tehran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ සදාචාර පොලිසිය දැඩි ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මතභේදාත්මක බලකායකි (සංරක්ෂිත ඡායාරූප)
    • Author, මසාර්ඩ් කොහියෙන්රූස්
    • Role, බීබීසී ලෝක සේවය

මේ මස මුල ටෙහෙරානයේ සුප්‍රසිද්ධ ස්ථානයක් වන මිලාඩ් ටවර්හිදී පැවති සංස්කෘතික උත්සවයකදී, විදුලි පහන් අඳුරු වූ අවස්ථාවක ප්‍රේක්ෂකාගාරයේ සිටි ඉරාන කාන්තාවෝ සංගීතයට අනුව නටමින්, ගයමින් සහ අත්පුඩි ගසමින් සිටියහ.

ඔවුන් තම හිස් ආවරණ ද ගලවා, ඒවා ඉහළට ඔසවා සොලවමින් සිටි අතර ඉරානයේ ඉස්ලාමීය නීතියට අනුව එය ප්‍රධාන සීමාවක් ඉක්මවා යාමකි.

හිජාබය යනු, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රබල දේශපාලනික සංකේතයක් වන අතර එය එරට පාලන බලය හිමි ආගමික නායකත්වය දරන දෘෂ්ටිවාදයේ පදනමකි.

අනිවාර්ය කරන ලද ඇඳුම් පැළඳිය යුතු බවට වන නීතිය කඩ කරන කාන්තාවන් දැඩි දඬුවම්වලට ලක් විය හැකි නමුත් නමුත් මහ්සා අමිනීගේ මරණයෙන් පසු විරෝධතා ආරම්භ වූ දා සිට, බොහෝ තරුණ ඉරාන ජාතිකයෝ ඉරානයේ පවතින දැඩි හිජාබ් නීති පිළිබඳව විවෘතව ප්‍රශ්න කරමින් සිටිති. ඇතැම් අවස්ථාවලදී ඔවුහු ප්‍රසිද්ධියේ සිවිල් නීති කඩ කිරීම ද සිදු කරති.

හිජාබ් රෙගුලාසි බලාත්මක කිරීමේ කාර්යය පැවරී ඇති එරට සදාචාර පොලිසියේ මුර සංචාර - දැඩි හිජාබ් නීති කඩ කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමෙන් පසු 2022 සැප්තැම්බර් මාසයේදී 22 හැවිරිදි අමිනී ඔවුන්ගේ භාරයේ සිටියදී මිය ගිය දා සිට පටන් මාස ගණනාවක් පුරාවට නතර කර තිබිණි.

එහෙත් පොලිස් ප්‍රකාශකයෙකුට අනුව, ඉරානය මෑතකදී සදාචාරාත්මක පොලිසියේ මුර සංචාර "හිජාබ් නීති නොසලකා හැරීම මැඩපැවැත්වීමේ පියවරක්" ලෙස වීදිවල යළි ක්‍රියාත්මක කර තිබේ.

එය බලධාරීන් සහ විරෝධතාකරුවන් අතර පවතින ගැටුම් තවදුරටත් වර්ධනය කිරීමට තුඩු දිය හැකි පියවරකි.

"මේක පැහැදිලිව ම ජනතාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක්," යැයි ඊට ප්‍රතිචාර දක්වමින් පුද්ගලයෙකු බීබීසී පර්සියානු ඉන්ස්ටග්‍රෑම් නාලිකාව වෙත ශ්‍රව්‍ය පණිවිඩයක් යොමු කරමින් පැවසීය.

මෙම අවස්ථාවේදී "ජනතාව, මේ පාලන තන්ත්‍රයේ නැවත නැවතත් සිදුවන වැරදිවලින් උපරිම ප්‍රයෝජන අරගෙන මුළු ක්‍රමය ම පෙරලා දමනු ඇතැයි" තමා බලාපොරොත්තු වන බව මුරණ්ඩු ස්වරයකින් ඔහු පවසයි.

Iranian protesters set their scarves on fire while marching down a street on 1 October 2022 in Tehran

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහජන විරෝධතා වලදී සමහර ඉරාන කාන්තාවන් සිය හිස් ආවරණ ගිනි තබා ඇත

සදාචාර පොලිසිය යළි පණ ගැන්වීමේ තීරණය ජනතා ඉල්ලීමක් මත ගෙන ඇති බව රජය අවධාරණය කරන අතර ම එය දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඩ් ඛටාමි පවසා ඇත්තේ, සදාචාරාත්මක පොලිසියේ වෑන් රථ නැවත මතුවීම ආණ්ඩුවේ ස්වයං-විනාශකාරී පියවරක් වන අතර එය සමාජය තුළ පවතින ආතතීන් තවදුරටත් වැඩි කරන බව ත් ඉන් "සමාජ පිපිරීමක්" ඇති විය හැකි බව ත් ය.

අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි හිටපු නිලධාරියෙකු රොයිටර්ස් පුවත් සේවය වෙත පැවසුවේ, "වැරදි තීරණ පාලන තන්ත්‍රයට වේදනාකාරී ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන්. මිනිස්සුන්ට මේ පීඩනය තවත් දරාගන්න බැහැ. ඒ පීඩනය දිගින් දිගට ම ආවොත්, වීදි පුරා අපිට ආයෙත් විරෝධතා දකින්න සිදු වේවි," යනුවෙනි.

අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ ඒ අවට සිටි පිරිස් අතර දැනටමත් ගැටුම් හට ගෙන තිබේ.

ජූලි 16 වන දින රූගත කර ඇති බවට සැලකෙන බීබීසීය විසින් ලබා ගන්නා ලද වීඩියෝවක, උතුරු රාෂ්ට් නගරයේ මිනිසුන් පිරිසක්, ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් නීති කඩ කිරීම සම්බන්ධයෙන් ගැහැණු ළමයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීම වළක්වන අයුරු දක්නට ලැබේ.

රෙගුලාසි ක්‍රියාත්මක කිරීම බලධාරීන් විසින් වේගවත් කරනු ලබද්දී අනිවාර්ය හිජාබ් නීතියට විරුද්ධ පිරිස ඊට ප්‍රතිරෝධය දැක්වීම නොනවත්වා කර ගෙන යන බව දක්නට ලැබේ.

මෙම සතියේ, එරට ප්‍රමුඛතම කාන්තා දේශපාලන සිරකාරියක වන සෙපිඩේ ඝෝලියන්ගේ නඩු විභාගය නොපැවැත්වුණේ, ඇය අධිකරණය තුළ හිජාබයක් ඇඳීම ප්‍රතික්ෂේප කළ බැවිණි.

29 හැවිරිදි කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන ඇය නිරිතදිග ඉරානයේ කාර්මික අර්බුදයක් පිළිබඳව වාර්තා කිරීම හේතුවෙන් පසුගිය වසර හයක කාලය පුරාවට සිරගතව සිටියා ය.

සිර දඬුවම් විඳීමෙන් අනතුරුව ඇය මෙම වසර මුලදී නිදහස් වූ නමුත් ටෙහෙරානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කුප්‍රකට එවින් බන්ධනාගාරයෙන් පිටතදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එරෙහිව සටන් පාඨ කීම සම්බන්ධයෙන් වැඩි කලක් නොගොස් ඇය අත්අඩංගුවට ගෙන නැවත සිරගත කෙරිණි.

"අපි එකතැන පල් වෙන ස්වභාවයක් තියෙන්නේ," යැයි මිසූරි විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යා සහ අධ්‍යාපන කොලීජියේ පීඨාධිපති සහ එරට දේශපාලනය පිළිබඳ ග්‍රන්ථයක් වන Postrevolutionary Iranහි සම-කර්තෘ මසාර්ඩ් බොරොජෙරෙයි පවසයි.

ඔහු පවසන්නේ, ඉරානයේ අනාගතය ගොඩනැගීම සඳහා වන විශ්වාසයන් පිළිබඳ සටන අඛණ්ඩව පවතිනු ඇති බව ය.

"විපක්ෂයට ආගමික පාලනය පෙරලලා දාන්න බැරි වෙලා තියෙන්නේ සහ රාජ්‍යයට පුරවැසියන් දිනා ගන්න බැරි වෙලා තියෙන්නේ එහි කුරිරු මර්දනකාරී ක්‍රියාමාර්ග සහ පුරවැසියන්ගේ ඉල්ලීම් කිසිවක් විසඳීමට ඇති අකමැත්ත නිසා."

Afsaneh Baygan (L), Leila Bolukat (centre) and Azadeh Samadi (R) - three Iranian actresses

ඡායාරූප මූලාශ්‍රය, Baygan/Bolukat/Amirallisj

ඡායාරූප ශීර්ෂ වැකිය, අෆ්සනේ බේ (වම), ලෙයිලා බොලුකාට් (මැද) සහ සාදා සමදි (දකුණු) යනු හිජාබ් රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇති ඉරාන නිළියන් තිදෙනෙකි

හිජාබ් රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන පිරිස් සඳහා ක්‍රියාත්මක කරන ඇතැම් සම්ප්‍රදායික නොවන දඬුවම් මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.

එක් අවස්ථාවක, හිජාබ් නීති උල්ලංඝණය කළ බව කියන කාන්තාවකට තරමක් අසාමාන්‍ය ආකාරයේ ප්‍රජා සේවයක නිරත වන ලෙස අධිකරණය දඬුවම් නියම කළේ ය. ඒ අනුව, ඇයට මාසයක කාලයක්, භූමදානයට පෙර මෝචරියක සිදු කෙරෙන ආගමික චාරිත්‍රයක් වන මළ සිරුරු සේදීමට පැවරිණි.

ප්‍රමුඛ පෙළේ සිනමා නිළියන් දෙදෙනෙකු වන අෆ්සනේ බේගන් සහ සාදා සමදි යන කාන්තාවන් දෙදෙනාට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සෑම සතියක ම අනිවාර්ය මනෝචිකිත්සා පාඨමාලා සඳහා යොමු වන ලෙසට දඬුවම් නියම වූහ.

තෙවැන්නා වූ ලෙයිලා බොලුකාට්, මහ ජනයා සඳහා විවෘත වූ උත්සව අවස්ථාවකදී හිස් ආවරණ රෙදි කැබැල්ල වෙනුවට හිස් වැසුමක් පැළඳ පෙනී සිටීම හේතුවෙන් "හිජාබය ඉවත් කිරීම" සහ "මහජන මනස අවුල් කිරීම" යන වරදට වසරක සිර දඬුවමක් ලැබුවා ය.

ආගමික පාලන තන්ත්‍රය වෙත එල්ල වන නිර්දය විවේචන මධ්‍යයේ, රජයට සම්බන්ධ පුවත්පත් මෙම තීන්දු වෙනුවෙන් පෙනී සිටි අතර එම ක්‍රියාමාර්ග හරහා ප්‍රසිද්ධ පුද්ගලයින් "සුවපත්වනු ඇතැයි" තර්ක කළේ ය.