'විශාල උත්සව ආහාර වේලක්' ලබා ගැනීමෙන් ඔබේ මොළයට බලපෑමක් විය හැකි ද?

A multi-generation family sitting in the dining room eating Christmas Dinner together. One woman is helping her son eat while he is sitting in a high chair.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ජෙසිකා බ්‍රැඩ්ලි
    • Role, ජෙසිකා බ්‍රැඩ්ලි
    • වාර්තාකරණය, BBC Future

නත්තල් දිවා ආහාරය ගනිද්දී අපි බොහෝ දෙනෙකු විනීතව අහාර ගැනීමේ පුරුදු අමතක කරන්නෙමු. නමුත් උත්සව සමයේ ගන්නා විශාල ආහාර ප්‍රමාණය අපගේ ශරීරයට සහ මොළයට බලපාන්නේ කෙසේ ද යන්න සිතා බැලිය යුතු කරුණකි.

අපගේ මතකය සහ අවදානය ඇතුළු බොහෝ වැදගත් කාර්යයන් ඉටු කිරීමට අපගේ මොළයට ආහාර සහාය වන බොහෝ ක්‍රම තිබේ. සමබර ආහාර වේලක් අපගේ මානසික සෞඛ්‍යයට ප්‍රබල ආධාරකයක් විය හැකි ය.

නමුත් සියලු දේවල් සහිත නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයක් වැනි අති විශාල ආහාර වේලක් අනුභව කිරීම, අපගේ මොළයට ඇති කරන ක්ෂණික බලපෑම් මොනවා ද?

අධික ආහාර ප්‍රමාණයක් ගැනීම අපට බලපාන්නේ කෙසේ ද?

අපි ආහාර ගන්නා විට, ශරීරයේ විවිධ සංඥා එක්ව ක්‍රියා කරමින් මොළයට දැන් අපේ ආමාශය පිරී ඇති බව දැනුම් දෙයි. මෙම සංඥා අතරට බඩවැල්වලින් නිකුත් වන හෝමෝන සහ ශක්තිය සඳහා ආහාර බිඳ දැමීමට උපකාරී වන අණු වන පරිවෘත්තීය ද්‍රව්‍ය ඇතුළත් වේ.

මෙම හෝර්මෝන සිදු කරන තවත් කර්තව්‍යක් වන්නේ, අපගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා අග්න්‍යාශයෙන් ඉන්සියුලින් මුදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳව සංඥා කිරීමයි. මෙම සමස්ත ක්‍රියාවලිය "තෘප්තිමය උතුරා යාම" ලෙස හැඳින්වේ.

"මේ සංඥා අපගේ බඩවැල්වල විවිධ කොටස්වලින් පැමිණිලා මදක් වෙනස් කාල රාමු තුළ ක්‍රියා කරනවා," යනුවෙන් ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ සායනික සහකාර මහාචාර්ය සහ උපදේශක අන්තරාසර්ග විද්‍යාඥ ටෝනි ගෝල්ඩ්ස්ටෝන් පවසයි.

බඩවැල් සහ අග්න්‍යාශයෙන් හෝමෝන මුදා හැරීම සහ ඒවා මොළයට යවන සංඥා, විශාල ආහාර වේලක් ගැනීමෙන් පසු මිනිසුන්ට බොහෝ විට ඇති වන නිදිමත හැඟීම සමඟ සම්බන්ධ විය හැකිය. මෙම හැඟීම 'ආහාර ගැනීමෙන් පසු නිදිමත' ලෙස හැඳින්වේ. කෙසේ වෙතත්, මේ සඳහා නිශ්චිත හේතු තවමත් පැහැදිලිව වටහාගෙන නොමැති බව ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ජාතික සෞඛ්‍ය ආයතනවල පශ්චාත් ආචාර්ය උපාධිධාරීන් සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු වන ආරොන් හෙන්ගිස්ට් පවසයි.

මෙය ඇතැමුන් "ආහාරමය කෝමා තත්වයක්" ලෙස හඳුන්වන අතර, බොහෝ දුරට රුධිරය මොළයෙන් ඉවතට සහ ආමාශය දෙසට ගමන් කිරීමේ බලපෑමක් බවට විශ්වාස කෙරේ. කෙසේ නමුත්, පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ විශාල ආහාර වේලකින් පසු රුධිර ප්‍රවාහය අඩු නොවන බව යි.

හෙන්ගිස්ට් පවසන්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළ යුතු බවත්, හෝර්මෝන රැසක එකතුවකින් සිදුවන මෙම ක්‍රියාවලියේදී කුමන හෝර්මෝනය මොළයේ කුමන කොටසක නිදිමත තත්වයක් ඇති කරනවාදැයි තවමත් නොදන්නා බවත් ය.

"බඩවැල්වල හෝමෝන ප්‍රතිචාරය කොක්ටේල් එකක් වගේ, මොළයේ කුමන මධ්‍යස්ථානවල නිදිමත ඇති කළ හැකි නිශ්චිත හෝමෝන මොනවද කියලා අපි දන්නේ නෑ," ඔහු පවසයි.

අධික ලෙස ආහාර ගැනීම හානිදායක ද?

හෙන්ගිස්ට්ට අනුව, විශේෂ අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම හරහා අපගේ පරිවෘත්තීය ක්‍රියාවලියට ඇතිවන්නේ ඉතා අඩු බලපෑමකි.

2020 වසරේදී ඔහු පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රසිද්ධ කළ අතර, එම පර්යේෂණයෙන් අවධානය යොමු කළේ පහසු මට්ටමකට පමණක් කුස පිරෙන ලෙස ආහාර ගත් විට සහ කුස පැලෙන හැගීමක් දැනෙන මට්ටමට ආහාර ගත් විට සිදුවන්නේ කුමක්ද යන්න යි.

ඉන් පෙනී ගියේ, පර්යේෂණයට සහභාගී වූ පිරිසේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ආහාර වේලකට වඩා වැඩි නොවූ බවත්, රුධිරයේ මේද ප්‍රමාණය පවා වැඩි නොවූ බවත් ය.

මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ, එක් වරක් අධික ලෙස ආහාර ගැනීම ඔබ සිතූ තරම් හානිකර නොවන බවයි. කෙසේ නමුත්, හෙන්ගිස්ට් පවසන්නේ මෙම අධ්‍යනය සිදුකළේ නිරෝගී පිරිමි පුද්ගලයින් සමග බැවින්, මේ ප්‍රතිඵලය ම ගැහැනු පුද්ගලයින් සහ ස්ථුල හෝ තරබාරු පුද්ගලයින් සම්බන්ධයෙන්ද පවතී ද යන්න අධ්‍යනය කළ යුතුව බව යි.

අපි වැඩිපුර ආහාර ගන්නා ආකාරය වැදගත් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක් වරක් අධික ලෙස ආහාර ගැනීම ඒ මොහොතේදී හානිකර නොවිය හැකි මුත්, ඇතැම් පර්යේෂණවලින් පෙන්වන්නේ පැය කිහිපයක් හෝ දිනක් පුරාවට එසේ ආහාර ගැනීම පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා සහ ශරීරයට ආතතිය ඇති කළ හැකි බවත්, ඒ මගින් මොළයට බලපෑමක් ඇති විය හැකි බව ය.

2021 දී, දිගු කාලයක් තිස්සේ අධික ලෙස ආහාර ගැනීම පරීක්ෂා කළ අධ්‍යයනයකින් හෙන්ගිස්ට්ගේ පීසා අධ්‍යයනයට වඩා බෙහෙවින් වෙනස් ප්‍රතිඵල හමු විය. මෙම පර්යේෂණය 'ද ටේල්ගේට් අධ්‍යයනය' ලෙස නම් කරන ලදී. මෙම නම පැමිණෙන්නේ ක්‍රීඩාවලට පෙර පවත්වනු ලබන සාදවල ඇමරිකානු සම්ප්‍රදායකින් ය. එහිදී මිනිස්සු විශාල ප්‍රමාණයක් ආහාර අනුභව කරන අතර මත්පැන් පානය කරති.

පර්යේෂකයන් මෙම සම්ප්‍රදාය නැවත නිර්මාණය කළේ අධික බරැති නමුත්, වෙනත් ආකාරයකින් සෞඛ්‍ය සම්පන්න පිරිමින් 18 දෙනෙකුට බර්ගර්, චිප්ස් සහ කේක් වැනි මේදය හා සීනි අධික ආහාර සහ මධ්‍යසාර පාන ලබා දීමෙනි. සාමාන්‍යයෙන්, සෑම මිනිසෙකු ම පැය පහක් පුරා කැලරි 5,087 ක් පරිභෝජනය කළහ. රුධිර පරීක්ෂණ සහ අක්මා ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගියේ ආහාර ගැනීමෙන් පසු බොහෝ පිරිමින්ගේ අක්මාවේ මේදය වැඩි වී ඇති බව යි.

දිගු කාලීනව අධික මේද, අධික සීනි ආහාර රටාවක් අනුගමනය කිරීම නිසා ඇති විය හැකි මධ්‍යසාර නොවන මේද අක්මා රෝගය හේතුවෙන් මොළයට ලැබෙන ඔක්සිජන් අඩුවීම සහ මොළයේ පටක ප්‍රදාහය ඇති කිරීමට හේතු විය හැකි අතර කාලයත් සමඟ ඉන් මොළයේ රෝග ඇතිවීමේ අවදානම වැඩි විය හැකි බව ද පර්යේෂණවලින් පෙනී යයි.

"මෙම 'ටේල්ගේට්' අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ පිරිමින්ගේ පරිවෘත්තීය වෙනස්කමක් ඇති වූ බවයි. පැය කිහිපයක් පුරා ආහාර සහ මධ්‍යසාර පරිභෝජනය කරන විට, ඉන් ඔවුන්ගේ ශරීරයට දරා ගත නොහැකි තරම් ආතතියක් ඇති වෙනවා," යැයි හෙන්ගිස්ට් පවසයි.

නත්තලට වැඩියෙන් ආහාර ගත්තාට කමක් නැද්ද?

දීර්ඝ කාලයක් පුරා ආහාර ගැනීම සහ විශේෂයෙන් සීනි සහ සංතෘප්ත මේද බහුලව අඩංගු ආහාර දීර්ඝ වේලාවක් පුරා ගැනීම මොළයට හොඳ නැති බව මනා ලෙස තහවුරු වී ඇත.

එක් වරක් අධික ලෙස ආහාර ගැනීමෙන් අපගේ ශරීරයට ඇතිවන බලපෑම් පිළිබඳව අවදානය යොමු කරන අධ්‍යයනයන් අඩු වූවත්, පවතින සාක්ෂිවලින් පෙනී යන්නේ එය අපගේ මොළයට අහිතකර නොවන බව යි.

"අපගේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ එක් වරක් පමණක් අධික ලෙස ආහාර ගැනීම ඔබ සිතූ තරම් හානිකර නොවන බවයි, ඔබේ නත්තල් රාත්‍රී ආහාරය රස විඳින්න," යැයි හෙන්ගිස්ට් පවසයි.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් පවසන්නේ ඊට වඩා වැඩියෙන් ආහාර ගැනීම ශරීරයට පීඩනයක් ඇති කිරීමට හේතු විය හැකි බව යි.

කුල්මන්ගේ පර්යේෂණයට අනුව, මොළයට දීර්ඝ කාලීන බලපෑම් ඇති කිරීමට දින පහක කාලයක් පවා ප්‍රමාණවත් විය හැකි ය.