රටවල් රැසක් තහනම් කර ඇති රතු අංක 3 වර්ණකය සෞඛ්‍යයට හානිකර ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඇන්ජෙලා හෙන්ෂල්
- Role, බීබීසී - ලන්ඩන්
කප් කේක්වල සිට ස්ට්‍රෝබෙරි ස්ලූෂි දක්වා සෑම දෙයක් ම වර්ණ ගැන්වීමට භාවිත කරන ආහාර වර්ණකාරකය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ තහනම් කර ඇත්තේ ඇයි?
රතු අංක 3 යනු කෘත්‍රිම ආහාර වර්ණකයක් වන අතර අනෙකුත් සියලු ම කෘත්‍රිම ඩයි වර්ග මෙන් පෙට්‍රෝලියම්වලින් ලැබෙන රසායනික ද්‍රව්‍ය සමූහයකින් එය සකස් කරනු ලැබේ. ආහාර නිෂ්පාදන දහස් ගණනක එය දක්නට ලැබෙන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය කුඩා ප්‍රමාණයේ ඩයි අඩංගු අයිතම 3000කට වැඩි සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබේ.
ආහාර සමාගම් අතුරුපස, කැන්ඩි හෝ කැස්ස සිරප් වැනි ආහාරවලට ඩයි එකතු කරන්නේ ඒවා දෘශ්‍යමය වශයෙන් කුඩා දරුවන් ආකර්ෂණීය කර ගැනීමට හැකි නිසා ය. මින් තාපය වැනි පාරිසරික තත්ත්වයන් නිසා වර්ණය නැතිවීම වළක්වා ගත හැකි ය. මෙම ඩයි වර්ග කෘත්‍රිම හා ස්වාභාවික ආහාර ද්‍රව්‍යවලින් සෑදිය හැකි අතර ඇතැම් ඒවා වසර 100කට වැඩි කාලයක් වාණිජ වෙළෙඳපොළ තුළ භාවිතයේ පවතී.
එරිත්‍රොසීන්, FD&C Red No. 3 හෝ Red 3 dye ලෙස ද හඳුන්වනු ලබන අතර, 1969 දී ඇමෙරිකා එක්සත් ජනපද ආහාරවල භාවිතය සඳහා අනුමත කරන ලදී. ඒවාට ජනවාරි මස පැනවූ තහනම මගින් එය ආහාර, අතිරේක ආහාර සහ කැස්ස සිරප් වැනි මුඛ ඖෂධවල අනුමත ආකලන ලැයිස්තුවෙන් ඉවත් කෙරේ.
වසර 30කට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ තොල් ආලේපන සහ සමට ආලේප කරන දියර වැනි රූපලාවණ්‍ය ද්‍රව්‍යවල රතු අංක 3 වර්ණකය තහනම් කරන ලද්දේ, පිරිමි මීයන් යොදාගෙන කරන ලද විද්‍යාගාර අධ්‍යයනයකින් එම වර්ණකය වැඩි වශයෙන් ගැනීමෙන් තයිරොයිඩ් පිළිකා ඇති කරන බව අනාවරණය වීමෙන් පසුව ය. කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනය (FDA) පැවසුවේ, රතු අංක 3 වර්ණකයෙහි පිළිකා අවදානම මිනිසුන්ට අදාළ නොවන බව ය. සෑම රටකට ම ආහාර අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති ඇති අතර, සෑම රටකට ම තමන්ගේ ම ආහාර සුරක්ෂිතතා අධිකාරියක් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රතු අංක 3 වර්ණකය තහනම් කර ඇත්තේ කුමන රටවල ද?
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ බොහෝ රටවල් වසර කිහිපයකට පෙර බොහෝ ආහාරවල රතු අංක 3 වර්ණකය භාවිතය තහනම් කර හෝ දැඩි ලෙස සීමා කර තිබේ.
2023 දී, කැලිෆෝනියාව තමන්ගේ ම ස්ථාවරයක් ගෙන එය තහනම් කළ පළමු ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රාන්තය බවට පත්වූ නමුත් එම තහනම 2027 දක්වා ක්‍රියාත්මක නොවේ.
සෑම රටකට ම තමන්ගේ ම ආහාර නියාමන ආයතනයක් ඇත. මෙයින් අදහස් කරන්නේ විවිධ සෞඛ්‍ය ගැටලු හෝ පවතින විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කිරීම හේතුවෙන් එක් රටක තහනම් කරන ලද ඩයි වර්ගයක් තවත් රටක ආරක්ෂිත යැයි සැලකිය හැකි බව ය. ආහාර වර්ණක අධ්‍යයනයන්හි එක් විවේචනයක් නම් ඔවුන් කුඩා සාම්පල ප්‍රමාණ භාවිත කර තිබීම ය.
රතු අංක 3 වර්ණකය හානිකර ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආහාරවලට එකතු කරන ඩයි වර්ග අසාත්මිකතා ප්‍රතික්‍රියාවල සිට ළමුන්ගේ අධික්‍රියාකාරීත්වය දක්වා බහුවිධ සෞඛ්‍ය ගැටලුවලට සම්බන්ධ වී ඇති නිසා සෞඛ්‍ය විශේෂඥයින් ඒ පිළිබඳ කනස්සල්ල මතු කර ඇත. වර්ණකාරක වර්ග පිළිකාකාරක විය හැක. මීයන්ගේ අධ්‍යයනය සම්බන්ධයෙන් ඇතැමුන් තර්ක කළ ද, පිළිකා ඇති කිරීමට තරම් විශාල ප්‍රමාණයකින් මිනිසුන් කිසිවිටෙක වර්ණකාරක පරිභෝජනය නොකරනු ඇත.
දරුවන්ගේ හැසිරීම් ගැටලුවලට ආහාර වර්ණකාරක සම්බන්ධ බවට වන සාක්ෂි වැඩි වෙමින් පවතී. අධ්‍යයනවලින් පෙනී යන්නේ, රතු අංක 3 ඇතුළු සමහර වර්ණක වර්ගවලින් කුඩා දරුවන් සහ නව යොවුන් වියේ පුද්ගලයින්ට අධික්‍රියාකාරී, ප්‍රකෝපකාරී, නොසැලකිලිමත් මනෝභාවයක් ඇති විය හැකි බව ය..
2007 වසරේදී එක්සත් රාජධානියේ සදම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ, කෘත්‍රිම ආහාර වර්ණක සහ කල් තබා ගන්නා සෝඩියම් බෙන්සොයිට් මිශ්‍රණයන් පරිභෝජනය කරන කුඩා ළමුන්ගේ අධික්‍රියාකාරීත්ව මට්ටම් වැඩි වී ඇති බව ය.
ටාට්‍රසීන් ලෙස ද හැඳින්වෙන කහ අංක 5 ඇතුළු තවත් කෘත්‍රිම ආහාර වර්ණක වර්ග 6ක් ගැන ද මෙවැනි ම අවධානයක් යොමු වී ඇති අතර එය ඇතැම් දරුවන්ගේ කෝපය, නොසන්සුන් බව සහ මානසික අවපීඩනයට සම්බන්ධ කර ඇත. සිදුකළ සත්ව අධ්‍යයනයන්වල සාක්ෂි මගින් පෙන්වා දී ඇත්තේ කෘත්‍රිම ආහාර වර්ණකාරක වර්ග කිහිපයක් මතකයට සහ ඉගෙනීමට ද බලපෑම් කරන බව ය.
අවදානම්සහගත වන්නේ වර්ණ පමණක් නොවේ, ඩයි වර්ග සමග බොහෝ විට භාවිත කරන කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ රස වර්ධක වැනි ආහාර ආකලන විශාල ප්‍රමාණයකින් හෝ විශේෂිත සංවේදීතාවක් ඇති පුද්ගලයින් විසින් පරිභෝජනය කරන්නේ නම් හෝ ඒ හරහා සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි ය.
කෘත්‍රිම ආහාරමය ඩයි වර්ග, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ රසකාරක බහුලව දක්නට ලැබෙන්නේ මිල අඩු අතිශයින් සැකසූ ආහාරවල ය. අඩු ආදායම්ලාභී පවුල් මෙම ආහාර සඳහා වැඩි වශයෙන් නිරාවරණය වන බව පර්යේෂණ මගින් අවධාරණය කර තිබේ. මෙයට දීප්තිමත්, වර්ණවත් සහ හිතාමතා ම ළමයින්ට කැමැත්තක් ඇති කිරීමට සැලසුම් කර ඇති සීනි සහිත කෙටි ආහාර සහ බීම ඇතුළත් වේ. ඒවා පහසුවෙන් මිල දී ගත හැකි අතර දැරිය හැකි මිලකට අලෙවි කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔබේ රට තුළ රතු අංක 3 වර්ණකය තහනම් කර නොමැති නම් ඔබට කළ හැක්කේ කුමක් ද?
ඉතින්, ඔබේ ආහාරයේ රතු අංක 3 වර්ණකාරකය තිබේ දැයි ඔබ දැනගන්නේ කෙසේ ද? දීප්තිමත් චෙරි රතු පැහැය ඔබේ පළමු ඉඟිය වන අතර එය ඔබේ දත් මත පැල්ලම් ඇති කිරීමට පවා ඉඩ ඇත.
ලේබලය පරීක්ෂා කරන්න: ආහාර ඇසුරුම්වල පිටුපස ඇති අමුද්‍රව්‍ය ලේබල් හරහා ප්‍රවේශමෙන් කියවීමෙන් ඔබට ඇති වන අවදානම අවම කර ගත හැක.
සෞඛ්‍ය ප්‍රවීණයන්ගේ මූලික උපදෙස් වන්නේ හැකිතාක් දුරට ශාක පදනම් වූ ආහාර, පලතුරු සහ එළවළු, බෝංචි සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසු බව ය. අමතර වර්ණක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය සඟවා තිබිය හැකි සංකීර්ණ නිෂ්පාදන භාවිතයෙන් වැළකීම පහසු කරවන බැවින්, මුල සිට ම ආහාර නිවසේදී ම පිස ගැනීම ඊට උපකාරී වේ. ප්‍රවීණයන් තරයේ නිර්දේශ කරන්නේ, දරුවන් පරිභෝජනය කරන සියලු සැකසූ ආහාර සීමා කර, ඒවා ආහාරයට ගැනීම උපන් දින සාද වැනි විශේෂ අවස්ථා සඳහා පමණක් තබා ගන්නා ලෙස ය.
සුබ ආරංචිය නම් ස්වභාවික විකල්ප පැවතීම ය. පලතුරු සහ එළවළුවලින් ආහාර සායම් සෑදිය හැකි ය. උදාහරණයක් ලෙස, ශාක කඳන් සහ පත්‍රවල ඇති ක්ලෝරෝෆිල්වලින් හරිත වර්ණ ලබා ගත හැකි ය.
මිරිස් කුඩු සහ කහ කුඩු වැනි කුළුබඩු, චීස් බර්ගර් වැනි ක්ෂණික ආහාර නිෂ්පාදනවල පවා කෘත්‍රිම ආහාර වර්ණක සඳහා විකල්ප ලෙස භාවිත කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇතැම් ඇමෙරිකානු ආහාර නිෂ්පාදකයින් පවසන්නේ, ඔවුන් දැනටමත් රතු අංක 3 ඩයි වර්ගය ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ය. ඒ වෙනුවට ඔවුහු බීට්රූට් යුෂ, කාර්මයින් (කෘමීන්ගෙන් සාදන ලද සායම්) සහ දම් පාට බතල, රාබු සහ රතු ගෝවා වැනි එළවළුවලින් වර්ණක ලබා ගනිති.
ඇතැම් ඇමෙරිකානු නිෂ්පාදකයින් දැන් රතු අංක 03 වර්ණකය වෙනුවට රතු 40 වර්ණකය ආදේශ කර ඇත, ඍජු හුවමාරුවක් ලෙස මෙම සායම් යුරෝපීය සංගමය තුළ සම්පූර්ණයෙන් ම තහනම් කර නොමැති නමුත් එය සීමා කර ඇත.
විශේෂයෙන්, ළමයින් ඉලක්ක කර ගත් කෘත්‍රිම ඩයි වර්ග අඩංගු ආහාරවල අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමෙන් රජයයන් සහ නියාමකයින් තවදුරටත් වේගවත්ව පියවර ගත යුතු බව උපදේශකයෝ පවසති.














