චොකලට් හදන ලාංකික මහාචාර්යවරයා: 'අපි කන්නේ හැබෑම චොක්ලට් නෙමෙයි'

ඡායාරූප මූලාශ්‍රය, Nilantha Liyanage| Facebook
ලොකු කුඩා කවුරුත් රස විඳින්නට කැමැති කෑමකි චොක්ලට්.
අද වන විට ශ්‍රී ලංකාවේ චොක්ලට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා කිහිපයක්ම තිබුණත්, ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කිරීමට පෙළඹී සිටියි.
මීට දින කිහිපයකට පෙර නිවසේ දීම චොක්ලට් නිෂ්පාදනයකර ගත හැකි බවට ෆේස්බුක් ඔස්සේ පළ කර තිබු සටහනක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබු අයුරු දක්නට ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Nilantha Liyanage/Facebook
ෆේස්බුක් සටහන තැබූ ඔහු කවුද?
වසර 23ක කාලයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කටයුතු කරන ඔහු නමින් මහාචාර්ය නිලන්ත ලියනගේ ය.
මේ වන විට මහාචාර්ය ලියනගේ රුහුණු විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යා තාක්ෂණ අධ්‍යයන අංශයේ සේවය කරනු ලබයි.
දේශීයව කොකෝවා ගස් වැවීමට සහ චොක්ලට් නිෂ්පාදනය කිරීමට කැමති ඕනෑම අයෙකුට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ සහාය ලබාදීමට සූදානම්යැ යි ඔහු විසින් තබන ලද ෆේස්බුක් සටහන දහසකට අධික පිරිසක් සමාජ මාධ්‍ය තුළ බෙදාහැර තිබුණි.
"මගේ පොස්ට් එකේ අරමුණ වුණේ අලුතෙන් කොකෝවා වගා කරන්න කැමති අයව ඒ සඳහා උනන්දු කරවන්න. ඒකට විශාල ප්‍රතිචාරයක් හිමිවුණා."
"ප්‍රදේශයෙන් ප්‍රදේශයට කොකෝවා වගා කිරීම ප්‍රචලිත කරලා ඔවුන්ට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික මඟපෙන්වීම ලබාදීලා ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය කරන්න උනන්දුවක් ඇති කරවන එක මගේ බලාපොරොත්තුව," මහාචාර්යවරයා පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Nilantha Liyanage/Facebook
'විද්වතුන් හැටියට අපි දුක් වෙනවා'
බීබීසී සිංහල සමග අදහස් දක්වමින් මහාචාර්ය ලියනගේ පැවසුවේ මේ වන විට ආර්ථික සහ ආහාර අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාව තුළ ඇති ස්වභාවික සම්පත් ලොව වෙනත් කිසිදු රටකින් ඔහුට දකින්නට ලැබී නොමැති බවය.
"මේ ලෝකයේ තියෙන හොඳම දේශගුණික තත්ත්ව, ඒ වගේම හොඳම පස තියෙන, හොඳම ජෛව විවිධත්වයක් තියෙන රටක් ලංකාව කියන්නේ. ඒ හැර වෙනත් රටක් ලෝකයේ මම දැකලා නැහැ. විද්වතුන් විදිහට මේ රට පවතින තත්ත්වය ගැන අපිට දුකක් වගේම කලකිරීමක් තියෙනවා. ඇයි මේවා හරියට කළමනාකරණය වෙන්නේ නැත්තේ කියන එක සම්බන්ධයෙන්."
"විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට අපි ඉන්නේ උගන්වන්න විතරක් නෙමෙයි. එතකොට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කියන්නේ සමාජයේ පවතින ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් වපසරියක ඉන්න ඕන පිරිසක් කියල යි මම දකින්නේ."
"මගේ විෂය කේෂ්ත්‍රය ඇතුළත ඒවාට විසඳුම් දෙන්න පුළුවන් අවස්ථා ගැන සොයා බලලා ඒ වෙනුවෙන් කටයුතු කරනවා," ඔහු පවසා සිටියේ ය.
'කොකෝවා වගාව නැවත ජනතාව අතරට ගෙන යා යුතු යි'
මෙරට තුළ බෝග වගාවක් ලෙස පැවති කොකෝවා බෝගය නැවත ජනප්‍රිය කරවීම හරහා ජනතාවට එය අත්වැලක් වන බව මහචාර්ය නිලන්ත ලියනගේ පවසා සිටියේ ය.
"කොකෝවා වගාව ලංකාවට හඳුන්වා දුන්නේ උපාලි විජයවර්ධන විසින්. නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ ඒ බෝගය ගැන තිබු උන්නදුව හීනවෙලා ගියා. ලංකාවේ ගොඩක් පළාත්වල කොකෝවා වගාකර තිබූ ඉඩම් දැන් ඒවා අතහැර තිබෙනවා. ඒකට කර්මාන්තයක් ලංකාවේ බිහිවෙලා නැහැ.
"ලංකාවේ යම් යම් කර්මාන්ත ශාලාවල චොක්ලට් නිෂ්පාදනය කළාට මෙරට වගා කරන කොකෝවා භාවිත කරන්නේ නැහැ. ඒ නිසා අමුද්‍රව්‍ය පිටරටින් ගෙනල්ලා තමයි චොක්ලට් නිෂ්පාදනය කරන්නේ. මේ නිසා අපි බැලුවා ලංකාවේ කොකෝවා යොදාගෙන චොක්ලට් නිෂ්පාදනය කරන්න. ඒකෙ විද්‍යාත්මක පැත්ත හදාරා ලංකාවේ වගා කරන කොකෝවාවලින් ඒ දේ කරන්න අපි පටන් ගත්තා," ඔහු කියා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Nilantha Liyanage/Facebook
නව සැලසුම ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය යි
නිවසේ වගාකර ඇති කොකෝවා ගස්වලින් ලැබෙන අමුද්‍රව්‍ය භාවිතාවට ගනිමින් ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය කිරීමට ජනතාව පෙළ ගැස්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව මහාචාර්ය ලියනගේ පවසා සිටියේ ය.
"ඇත්තටම අපි දැන් කන්නේ චොක්ලට් නෙමෙයි. චොක්ලට් වෙනුවට හදාගත් ආදේශකයක් අපි මේ රස විඳින්නේ. කොකෝවා යොදාගෙන කොහොමද ඇත්ත චොක්ලට් හදන්නේ කියන එක කියලා දෙන්නයි මම සූදානම් වෙන්නේ."
"විශාල ප්‍රමාණයේ කර්මාන්තයක් විදිහට වඩා අවම වශයෙන් ගෙදරක කොකෝවා ගස් 2-3ක් වගා කරලා තියෙන ඒවායින් ප්‍රයෝජනයක් අරන් ජනතාවට ගෘහාශ්‍රිත කර්මාන්තයක් විදිහට කොහොම ද මේ චොක්ලට් නිෂ්පාදනය කරන්නේ කියන එක කියලා දෙන්න."
"මගේ ෆේස්බුක් සටහනින් පස්සේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙලා මට කතා කරන්න පටන් ගත්තා. මම ඒ අයට උපදෙස් දුන්නා කොකෝවා වගා කරන්න පටන් ගන්න කියලා."
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
"සාමාන්‍යයෙන් අක්කරයට කොකෝවා පැළ 300ක් සිටවන්න පුළුවන්. සාමාන්‍යයෙන් සැලකිය යුතු අස්වැන්නක් ලබාගන්න පුළුවන්."
"කොකෝවා ඇට මඟින් චොක්ලට් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා කොකෝවා බටර් කිලෝග්‍රෑම් එකක මෙරට මිල රුපියල් නව දහසක් වනවා. නමුත් කොකෝවා බටර් හදන්න යන්නේ කොකෝවා ඇට කිලෝග්‍රෑම් දෙකක් විතරයි," ඔහු පැවසුවේ ය.
කොකෝවාවලින් නිපදවන්න පුළුවන් චොක්ලට් පමණ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රධාන වශයෙන් චොක්ලට් නිපදවීමට පමණක් කොකෝවා යොදා ගන්නා බවට සඳහන් කෙරුණ ද, ඒ හරහා වෙනත් නිෂ්පාදන කර්මාන්ත සඳහා කොකෝවා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගත හැකි බව මහාචාර්ය නිලන්ත ලියනගේ අවධාරණය කළේ ය.
"චොකලට් කියන්නේ එක දෙයක් විතරයි. නමුත් මෙම කොකෝවා ඇටවලින් අපට වයින්, මත්පැන්, වොඩ්කා මෙන්ම විනාකිරි වුවත් නිපදවීමට හැකියාව තිබෙනවා," ඔහු කියා සිටියේ ය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කොකෝවාවල රසය ඉතා වෙනස් මෙන්ම එය මෙරටට සුවිශේෂී රසයකින් යුක්ත වන බව මහාචාර්යවරයා සඳහන් කර සිටියේ ය.
"අපේ රටේ මාතලේ, මහනුවර, කෑගල්ල, මොණරාගල වගේ ප්‍රදේශවල කොකෝවා වගා කරනවා. ඒ කොකෝවාවල දැනෙන රස සුවිශේෂ යි. අපිට හොඳ ඉල්ලුමක් ඇති කර ගන්න පුළුවන්," ඔහු කියා සිටියේ ය.
කොකෝවා ඇටවලින් අවසන් නිෂ්පාදනය සාදා ගැනීමට මෙරට ජනතාව නොදැන සිටීම අභාග්‍යසම්පන්න කරුණක් බවත්, එම තත්ත්වය මඟහරවා ජනතාවට කොකෝවාවලින් ලබාගත හැකි වාසිදායී තත්ත්වය ගැන අවබෝධයක් මෙන්ම ඊට අවශ්‍ය මඟපෙන්වීම ද ලබාදීම තුළින් හොඳ ප්‍රතිඵලයක් ළඟාකර ගැනීමට හැකිවන පරිදි චොක්ලට් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.
“මට මාතලේ ප්‍රදේශයේ තරුණයෙක් කතා කළා. ඔහු කොකෝවා මිල දී ගෙන වේලලා මැලේසියාවට අපනයනය කරනවා. හේතුව, ඔහු දන්නේ නෑ කොකෝවා ඇට වෙලුවට පස්සේ එතනින් එහාට සිදුකරන්න ඕන ක්‍රියාවලිය. ඒ කොකෝවා ඇටවලින් අවශ්‍ය ක්‍රීම් එක ගන්න තියෙන්නේ. මම ඔහුට කිව්වා දැන් කරන් ආපු තැනින් ඉදිරියට යන්න අවශ්‍ය උපදෙස් හා දැනුම මම ලබා දෙන්නම් කියලා,” ඔහු කියා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Nilantha Liyanage/Facebook
'මේක ඩොලර් ඉපැයිය හැකි මාර්ගයක්'
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන චොක්ලට් විදේශ රටවලට යැවීමෙන් හොද විදේශ විනිමයක් ඉපැයීමට හැකි බව සඳහන් කළ මහාචාර්ය නිලන්ත ලියනගේ, මේ වන විටත් එවැනි කටයුත්තක නිරත වෙන මෙරට තරුණ ව්‍යවසායකයින් කීපදෙනෙකු සිටින බව කියා සිටියේ ය.
"ලංකාවේ මේ වෙද්දීත් හෝම්මේඩ් චොක්ලට් හදලා අපනයනය කරන තරුණයින් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් යුරෝපයේ වෙළෙඳපළට තමන්ගේ නිෂ්පාදන යොමු කරන්නේ."
"ඒ වගේම මේ වෙද්දී සංචාරක කර්මාන්තය නැවත හොඳ මට්ටමකට ඇවිත් තියෙන නිසා කොහොමද කොකෝවා ඇට ප්‍රොසෙස් කරන්නේ, කොහොමද චොක්ලට් නිෂ්පාදනය කරන්නේ කියන එක්ස්පිරියන්ස් එක විදේශිකයින්ට පෙන්වලා අපේ මේ කර්මාන්තය දියුණු කරගෙන රටේ සහ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න හැකියාව තියෙනවා," මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.












