ආහාර ගැනීමෙන් පසු අධෝවාතය පිට කිරීමට ඇවිදීමෙන් ඔබට ලැබෙන වාසි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සාරා බෙල්
- Role, ගෝලීය සෞඛ්‍ය, බීබීසී ලෝක සේවය
අධෝවාතය පිට කිරීම යනු අප බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේ සිදුකිරීමට අකැමති දෙයකි.
නමුත් අතිරික්තව එකතු වූ වායුව මුදා හැරීමට උපකාර කිරීම සඳහා ආහාර ගැනීමෙන් පසු ඇවිදීමේ පුරුද්දක් වන 'අධෝවාත ඇවිදීම' සමාජ මාධ්‍යවල සුවතා ප්‍රවණතාවක් බවට පත්ව ඇත. සෑම කෙනෙකු ම එය කළ යුතු ද?
එහි පුරෝගාමීන්ගෙන් එක් අයෙකු වන්නේ, වෘත්තීය ගෘහ ආර්ථික විද්‍යාඥවරියක සහ නිළියක වන මෙයර්ලින් ස්මිත් ය. ඇය තම සැමියා සමග ඇවිද යන දර්ශන ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක්හි මිලියන ගණනක් නැරඹුම් ලබාගෙන ඇත.
"අවුරුදු ගාණකට කලින්, අපි රාත්‍රී ආහාරයෙන් පසු අපේ බල්ලා ඇවිද්දෙව්වා. අපි ඒකට 'ෆාර්ට් වෝක්' කියලා කියන්න පටන් ගත්තා. මොක ද අපි එළියට ගිහින් අධෝවාතය පිට කළා, ඒක බල්ලාගේ පිටින් යැව්වා," ඇය පැහැදිලි කරයි.
'අධෝවාත ඇවිදීමක්' ඔබට යහපත් ඇයි?
එහි අදහස සහ නම විහිළුවක් ලෙස පෙනුණත්, 'අධෝවාත ඇවිදීමට" සැබෑ සෞඛ්‍ය ප්‍රතිලාභ ඇත. ඒවා ප්‍රධාන වශයෙන් ආහාර ගැනීමෙන් පසු ආමාශයේ එකතු වන වාතය මුදා හැරීමට උපකාරී වේ.
මෙයට හේතුව ඔබ ආහාර, ජලය හෝ කෙළ ගිලින විට, ආහාර ජීර්ණ පද්ධතියේ එකතු වන වාතය කුඩා ප්‍රමාණයක් ද ගිල දැමීමයි.
ආහාර දිරවීමේදී වායූන් ද සෑදිය හැක. දිරවීමට අපහසු ආහාර අනුභව කිරීම, ඇතැම් ඖෂධ ගැනීම හෝ ආහාර අජීර්ණය නිසා ඔබට නිතර නිතර අධෝවාතය පිටවිය හැකි ය.
"ඔයා ඇවිදින එකෙන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය මෘදු ලෙස සම්බාහනය කරනවා. මෙය ඔබේ ශරීරයෙන් වායුව ඉවත් කිරීමට උපකාරී වෙනවා වගේ ම ඔබේ සෞඛ්‍යයට හිතකරයි," කැනඩාවේ ටොරොන්ටෝහි වැඩියෙන් ම අලෙවි වන ඉවුම් පිහුම් පොත් අටක කතුවරිය වන මෙයර්ලින් පවසයි.
ව්‍යායාම මගින් බඩවැල් ක්ෂුද්‍ර ජීවීන් තුළ ධනාත්මක වෙනස්කම් ඇති කරයි. මහා අන්ත්‍රය තුළ, එය බඩවැල් සෞඛ්‍යයට හිතකර කෙටි දාම මේද අම්ල නිපදවන ක්ෂුද්‍ර ජීවීන් වැඩි කරයි.
"බඩවැල් ක්ෂුද්‍ර ජීවීන් බඩවැලේ ඇති බයිල් අම්ල ලෙස හඳුන්වන ද්‍රව්‍ය ද වෙනස් කරනවා. මෙම වෙනස්කම් බඩවැල් වඩා හොඳින් චලනය වීමට උපකාරී වන අතර එමගින් මළබද්ධය අවම වන අතර වායුව පිටවීම පහසු කරනවා," ආහාර ජීර්ණ සෞඛ්‍ය පුණ්‍යායතනයක් වන Guts UK හි තොරතුරු කළමනාකාරිනී ජූලි තොම්සන් පැහැදිලි කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Mairlyn Smith
ඇවිදීම හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට හේතු වන බව ප්‍රසිද්ධ කරුණකි. රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගැනීමෙන් සහ හදිසි උච්චාවචනයන් වළක්වා ගැනීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කිරීමට ද එය උපකාරී වේ.
"ඔබ ආහාර ගැනීමෙන් පසු වාඩි වී සිටීම වෙනුවට චලනය වෙද්දී, ඔබේ මාංශ පේශි ඔබේ රුධිරයේ ඇති සීනි අවශෝෂණය කර ගන්නවා. මේක ආහාර ගැනීමෙන් පසු රුධිර ග්ලූකෝස් වැඩිවීම පාලනය කිරීමට උපකාරී වෙනවා," මෙයර්ලින් පැහැදිලි කරයි.
"ඔයාගේ අවදානම අඩු කර ගැනීමට ඇති එක ම ක්‍රමය ඒක නොවුණත් ඒක කාලයත් සමග ඔබේ සෞඛ්‍යය බෙහෙවින් වැඩිදියුණු කළ හැකි කුඩා පුරුද්දක්."
'අධෝවාත ඇවිදීම' සහ තන්තු
තන්තුමය ආහාර සම්බන්ධයෙන් ග්‍රන්ථයක් සම්පාදනය කළ එක්සත් රාජධානියේ ලියාපදිංචි පෝෂණවේදිනියක වන එමා බාර්ඩ්වෙල් පවසන්නේ, 'අධෝවාත ඇවිදීම' මගින් මිනිසුන්ට කෙඳි සහිත ආහාරවලින් ලැබෙන සුවය වඩාත් පහසුවෙන් ලබා ගත හැකි බව ය.
ලොව පුරා, මිනිසුන්ගෙන් 90%ක් පමණ දිනකට නිර්දේශිත තන්තු ප්‍රමාණය වන ග්‍රෑම් 30ක් අනුභව නොකරති. බොහෝ දෙනෙක් තන්තුවලින් වැළකී සිටින්නේ, එය බඩ පිපීම සහ වායුව ඇති කළ හැකි බැවින් ය. මෙම අතුරු ආබාධ අඩු කිරීමට උපකාරී වන පරිපූර්ණ ක්‍රමයක් ලෙස ඇය පවසන්නේ 'අධෝවාත ඇවිදීම' ය.
මෙය වැදගත් වන්නේ තන්තු සහිත ආහාර ගැනීමෙන් පුළුල් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙන බැවිනි.

ඡායාරූප මූලාශ්‍රය, Emma Bardwell
"එය කොලෙස්ටරෝල් අඩු කිරීමට, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සහ මළබද්ධය වැළැක්වීමට උපකාරී වෙනවා. හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ සමහර පිළිකා, විශේෂයෙන් මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට ද උපකාරී වෙනවා," එමා පවසයි.
තන්තු ඔබේ බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන් ද පෝෂණය කරයි.
"මිනිස්සු තන්තු අනුභව කරන විට, බඩවැල් ක්ෂුද්‍ර ජීවීන් එය පැසවීම සිදු කරලා ශරීරය පුරා ගමන් කරන පරිවෘත්තීය ද්‍රව්‍ය නිර්මාණය කර බොහෝ ප්‍රතිලාභ ලබා දෙනවා. මේවාට B12 වැනි විටමින් සහ සෙරොටොනින් වැනි ස්නායු සම්ප්‍රේෂක සෑදීම ඇතුළත් වන අතර, එය මනෝභාවය වැඩි දියුණු කිරීමට පවා උපකාරී වෙනවා," ඇය පැහැදිලි කරයි.
මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ
එළිමහනට ගොස් ඇවිදීමෙන් මානසික සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි ය. ව්‍යායාම කිරීමෙන් එන්ඩොර්ෆින් සහ සෙරොටොනින් වැනි හොඳ හැඟීමක් ඇති කරන රසායනික ද්‍රව්‍ය නිපදවයි. ඇවිදීමෙන් ඔබේ මනස කරදරවලින් ඉවත් කර වඩා හොඳින් නිදා ගැනීමට උපකාරී වේ.
ඇවිදීම ඔබේ සබඳතා පෝෂණය කිරීමට ද උපකාරී වේ. දෙදෙනා ම ඔවුන්ගේ වෘත්තීය සහ පවුලේ සාමාජිකයින් සමග කාර්යබහුලව සිටියදී තම සැමියා සමග කාලය ගත කිරීමට එය කදිම ක්‍රමයක් බව මෙයර්ලින් පවසයි.
"දැන්, මගේ සැමියා ළඟ නැති වෙලාවට මම යාළුවෙක් හෝ අසල්වැසියෙක් එක්ක යනවා. ඒක එකිනෙකා සමග සම්බන්ධ වෙන්න අපූරු ක්‍රමයක්," ඇය කියනවා.
කොවිඩ් වසංගතය අතරතුර, මිනිසුන්ව සතුටු කිරීම සඳහා මෙයර්ලින් ඔවුන්ගේ 'අධෝවාත ඇවිදීම' ඉන්ස්ටග්‍රෑම්හි පළ කිරීමට පටන් ගත්තා ය. 2023 දී ඇය හිම මත වැටී මොළයේ බරපතළ තුවාලයක් ඇති විය. පසුව කෙටි වීඩියෝ සෑදීම ඇගේ සුවවීමේ කොටසක් බවට පත් විය.
"මම මගේ දුරකතනය අතට අරගෙන ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. මම හිතුවා, 'මිනිස්සු මාව මේක නිසා මතක තියාගත්තොත්, ඒක ලොකු සතුටක් වෙයි' කියලා," ඇය පවසයි.
'අධෝවාත ඇවිදීමක' නිරත වන්නේ කොහොම ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉතා මැනවින්, ඔබ සෑම ආහාර වේලකට ම පසු චලනය විය යුතු නමුත් ඒ සඳහා හොඳ ම කාලය ඔබේ ප්‍රධාන ආහාර වේලෙන් පසුව යි. එය සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට රාත්‍රී ආහාරය වේ.
දැඩි නීති අනුගමනය කිරීමක් අවශ්‍ය නොවන අතර එමා යෝජනා කරන්නේ, ආහාර ගැනීමෙන් පසු විනාඩි 30ක සිට පැයක් දක්වා ඔබේ ආහාර දිරවීමට පටන් ගන්නා බව ය. එහෙයින්, ඇවිදින කාලය දිගු හෝ දුෂ්කර වීමට අවශ්‍ය නොවේ.
"අපි කතා කරන්නේ විනාඩි 10ක් ගැන. අපිට දේවල් ඕනෑවට වඩා සංකීර්ණ කරන්න අවශ්‍ය නැහැ," ඇය පවසයි.
ඔබට අවශ්‍ය වන්නේ, සුවපහසු සපත්තු යුගලයක් සහ ඔබේ දේශගුණයට ගැලපෙන ඇඳුම් පමණි.
එමා පවසන්නේ, සමාජ මාධ්‍ය තුළ, මිල අධික හා සුඛෝපභෝගී ප්‍රවණතා සමග සෞඛ්‍යය සමහර විට ඕනෑවට වඩා සංකීර්ණ වන බව යි.
"ආහාර ගැනීමෙන් පසු ඇවිදීමේ සරල ක්‍රියාව ගැන කතා කිරීම ඇත්තෙන් ම සතුටක්, මොක ද බොහෝ දෙනෙකුට එය කළ හැකි යි. ඒකත් සම්පූර්ණයෙන් ම නොමිලේ," ඇය පවසයි.
'අධෝවාත ඇවිදීම' ඔබේ දින චර්යාවේ කොටසක් කර ගැනීම වඩා හොඳ සෞඛ්‍යයකට මග පෑදිය හැකි 'කුඩා නමුත් විශිෂ්ට පුරුද්දක්' බව මෙයර්ලින් පවසයි.
"මේ කුඩා උපදෙස් ඔබට නිරෝගීව සිටීමට සහ ඔබට උපරිම සහනයක් දැනීමට උපකාරී වේවි," ඇය පවසයි.
"ඒක ග්‍රහණය වුණ විදිහ ගැන මට සතුටු යි, මොක ද මගේ එක ම ඉලක්කය වුණේ මිනිස්සුන්ව සෝෆාවෙන් නැගිටින්න දිරිමත් කරන එක."














