ගෝලීය වනජීවී ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වූයේ කෙසේ ද?

කෙන්යාවේ සිට ඩුබායි බලා යන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී එහි තිබූ ඇත් දළ 359 ක් සොයා ගැනීමට හැකි වූ අතර ඒවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ විය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Customs

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙන්යාවේ සිට ඩුබායි බලා යන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එහි තිබූ ඇත් දළ 359ක් සොයා ගැනීමට හැකි වූ අතර ඒවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ විය.
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

''කොළඹ වරාය හරහා හොංකොං යවන්න සැලසුම් කර තිබු ලෝකයේ මිල අධිකම 'රෝස් වුඩ්' අඩංගු කන්ටේනර් 28ක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ වැටලීමෙන් දවස් දෙකකට පසු මම කාර්යාලයට යන විට ලෝකයේ සුපිරි ධනවතුන් තුන් දෙනෙක් ඇවිත් හිටියා. ඒ, අපිට බලපෑම් කරලා කන්ටේනර් නිදහස් කර ගන්න පුළුවන් ද බලන්න.''

BBC සිංහල සේවයට ඉහත ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ හිටපු ප්‍රධානී සමන්ත ගුණසේකර විසිනි. ශ්‍රී ලංකාව හරහා සිදුවන ගෝලීය 'රෝස් වුඩ්' ජාවාරම සහ ඇත් දල ජාවාරම ඇතුළු පසුගිය කාලයේ ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු වූ වැටලීම් රැසක් ගැන ලෝකයේ අවධානය යොමු විය. වසර 30කට අධික කාලයක් විමර්ශන නිලධාරියෙකු ලෙස වෘත්තීය අත්දැකීම් ඇති ඔහු පවසන්නේ ගෝලීය වනජීවි ජාවාරම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමට ඇතැම් රටවල ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සහ රජයන් ද ක්‍රියා කරන බව ය.

අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාව අතර ප්‍රධාන මුහුදු මාර්ගක පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාව ගෝලීය වනජීවී ජාවාරම් ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. මෙම භූගෝලීය පිහිටීම සහ ජෛව විවිධත්වය නිසා ශ්‍රී ලංකාවේ සිට ගිනිකොනදිග ආසියාවට, චීනයට සහ මැදපෙරදිග විශාල වෙළඳපොලවල් වෙත ශාක සහ සතුන් නීතිවිරෝධී ලෙස පහසුවෙන් ප්‍රවාහනයට ඉඩ සැලසෙයි.

පරිසර සංරක්ෂණ දර්ශකයට අනුව (The Nature Conservation Index - 2024) රටවල් 180ක් අතරින් වඩාත්ම නරක රටවල් පහට ඉන්දියාව ඇතුලත් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Samantha Gunasekara

ඡායාරූප ශීර්ෂ වැකිය, පරිසර සංරක්ෂණ දර්ශකයට අනුව (The Nature Conservation Index - 2024) රටවල් 180ක් අතරින් වඩාත්ම නරක රටවල් පහට ඉන්දියාව ඇතුලත් වේ

ලෝකයේ ජෛව විවිධත්වය උණුසුම් ස්ථාන ( Biodiversity hot- spot) 34 අතරට අයත් ශ්‍රී ලංකාව, ආසියානු රටවල් අතර ගොඩබිම පරිසරයේ ඒකක වර්ගඵලයක ඉහළම ජෛව විවිධත්වය දක්නට ලැබෙන රට වේ. 2024 ඔක්තෝම්බර් මාසයේ නිකුත් කෙරුණු පරිසර සංරක්ෂණ දර්ශකයට අනුව (The Nature Conservation Index - 2024) රටවල් 180ක් අතරින් වඩාත්ම නරක රටවල් පහට ඉන්දියාව ඇතුළත් වේ.

විශේෂයෙන් ඉන්දියාවේ වනජීවී වෙළඳාමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගන්නා බව අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව හරහා වනජීවී වෙළඳාම සිදුවන රටවල්

රටවල් 180ක් අතරින් වඩාත්ම නරක රටවල් පහට ඉන්දියාව ඇතුලත් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Samantha Gunasekara

ඡායාරූප ශීර්ෂ වැකිය, පක්ෂීන්, බෙල්ලන්, මත්ස්‍ය විශේෂ, මුහුදු පැළෑටි, මෝර වරල්, පොකිරිස්සන්, කැදලි තුරිතයාගේ කැදලි, ගෝනුස්සන්, කොතල හිඹුටු, සමනලුන්, බත් කුරන් සහ කෘමි සතුන් ආදිය නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථා රැසක් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් ව්‍යර්ථ කර තිබේ

ශ්‍රී ලංකාවේ ජෛව සම්පත් ඉන්දියාව, චීනය, හොංකොං, ඩුබායි, රුසියාව, තායිලන්තය, මැලේසියාව, එක්සත් රාජධානිය, මාලදිවයින සහ දකුණු අප්‍රිකාව වැනි රටවල්වලට නීති විරෝධී ලෙස රැගෙන යන බවට සාක්ෂි ලැබී ඇත. එමෙන්ම ගෝලීය වනජීවී අපරාධ ජාලයේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද ශ්‍රී ලංකාව යොදා ගැනේ.

මෙය ජෛව මංකොල්ලයක් මෙන්ම ජාන මංකොල්ලයක් ද වන අතර එමගින් පරිසර විද්‍යාත්මක පාඩුවකට අමතරව ඩොලර් මිලියන ගණනක ආර්ථික පාඩුවක් ද සිදු වේ. ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සත්ත්ව විශේෂ රැසක රසායනික සංයෝග වෙන් කරගෙන ඖෂධ, සුවඳ විලවින් වැනි මහා පරිමාණ කර්මාන්ත සඳහා විදේශිය සමාගම් පේටන්ට් බලපත්‍ර හිමි කර ගෙන තිබේ.

'ලෝකයේ ශාකයකට වැඩිම පේටන්ට් ඉල්ලලා තියෙන්නේ කොතල හිඹුටුවලට'

නිදසුනක් ලෙස දේශීය ශාකයක් වන කොතල හිඹුටු (Salacia reticulata) ශාකයේ රසායනික සංයෝග භාවිත කර පේටන්ට් බලපත්‍ර 150 ක් පමණ ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ. දියවැඩියාව, හෙපටයිටිස් වැනි රෝග සුව කිරීමට, තරබාරු බව අඩු කිරීමට සහ ආහාර දිරවීමට වැදගත්වෙන රසායනික සංයෝග සහිත ඉහළ ඖෂධීය වටිනාකමක් ඇති කොතල හිඹුටු, අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය සඳහා භාවිත කරන ඖෂධීය ශාකයකි. කොතල හිඹුටු ශාකයේ රසායනික සංයෝග භාවිත කර ඖෂධ නිපදවන රටවල් අතරින් ජපානය ප්‍රමුඛස්ථානයක් ගනී. නමුත් ඉන් කිසිඳු ආර්ථික ප්‍රතිලාභයක් ශ්‍රී ලංකාවට නොලැබේ.

''දැනට ලබාගෙන තිබෙන පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව සහ අයදුම් කරලා තියෙන පේටන්ට් සංඛ්‍යාව බැලුවහම එක ශාකයක ගුණ හෝ රසායනික සංයෝගවලට අදාළව ලෝකයේ වැඩිම පේටන්ට් ලබාගත් හෝ ඉල්ලුම් කළ ශාකය වෙන්නේ කොතල හිඹුටු. ලංකාවේ කොතල හිඹුටුවලට අදාළව තමයි මේ පේටන්ට් අරගෙන තියෙන්නේ. ඒක ශ්‍රී ලංකාවට සතුටු වෙන්න බැරි වාර්තාවක්'' යනුවෙන් පරිසර නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.

ශ්‍රී ලංකාව භාවිත කරමින් සිදුවන වනජීවී අපරාධ ජාලය පාලනය සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් ජෛව විවිධත්වය, සංස්කෘතික සහ ජාතික උරුම ආරක්ෂණ ඒකකය (Biodiversity, Cultural and National Heritage Protection (BCNP) Branch) නමින් 1993 දී වෙනම අංශයක් ස්ථාපිත කළේය. මෙය ලොව ප්‍රථම රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම දඩය රුසියානුවන් දෙදෙනෙකුට නියම වෙයි

රුසියානු ජාතිකයන් දෙදෙනෙකුට 2024 ඔක්තෝම්බර් 15 වැනි දින රුපියල් එකලොස් කෝටි, හැට අට ලක්ෂ දසදහසක දඩයක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Department of Wildlife Conservation

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ජාතිකයන් දෙදෙනෙකුට 2024 ඔක්තෝම්බර් 15 වැනි දින රුපියල් එකලොස් කෝටි හැට අට ලක්ෂ දසදහසක දඩයක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී

ශ්‍රී ලංකාවේ විශාලම වැසි වනාන්තරය වන සිංහරාජයේ ශ්‍රී ලංකාවට ආවේණික සතුන් එකතු කරමින් සිටි රුසියානු ජාතිකයන් දෙදෙනෙකුට 2024 ඔක්තෝම්බර් 15 වැනි දින රුපියල් එකලොස් කෝටි, හැට අට ලක්ෂ දසදහසක දඩයක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අධිකරණයක් මගින් වනජීවී අපරාධයක් සඳහා නියම කළ ඉහළම දඩ මුදල වේ. එම සිදුවීමට අදාළව, සජීවී සතුන් 230ක් සමග අත්අඩංගුවට ගැණුන රුසියානුවන් දෙදෙනා චෝදනා 1067ක් සඳහා වරද පිලි ගන්නා ලදී.

මේ අතර යාල ජාතික වනෝද්‍යානය ආසනයේ දී කෘමි විශේෂ 101ක් සමග අත්අඩංගුවට ගැනුණු ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට 2024 සැප්තැම්බර් 24 වැනි දින රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ද නියම විය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධයන්ට සම්බන්ධ විදේශීය ජාතිකයින් රැසක් පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කටයුතු කළහ. අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් අතර විදේශීය විද්‍යාඥයින් සහ පර්යේෂකයන් ද සිටියි.

'කෘමි සතුන් වැඩි හරියක් යන්නේ 'කලෙක්ෂන්වලට'

''තැපැල් මගින් හෝ කුරියර් සේවා හරහා සතුන් වැඩි වශයෙන් රටින් පිට කිරීම සිදුවේ.''

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'තැපැල් මගින් හෝ කුරියර් සේවා හරහා සතුන් වැඩි වශයෙන් රටින් පිට කිරීම සිදුවේ.'

කෘමි සතුන් එකතු කරමින් සිටි විදේශිකයින් රැසක් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගැණුනි.

''මගේ අත්දැකීම්වල හැටියට කෘමි සත්තු බොහෝ විට යොදා ගන්නේ, 'කලෙක්ෂන්වලට' විකුනන්න. මේවා එකතු කරලා ලොකු ගණන්වලට විකුණනවා. විදේශීය රටවල පෞද්ගලික එකතු කිරීම්වලට, කෞතුකාගාරවලට මේවා ගන්නවා. සමහර විට සුබ පැතුම්පත් නිර්මාණයට, මේස අලංකරණය වගේ දේවල්වලට ලස්සන සමනල්ලු, කෘමි සත්තු යොදා ගන්නවා. සප්ලයර්ස්ලා ගොඩක් වෙලාවට රුසියානුවන්,'' යනුවෙන් ශ්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ හිටපු ප්‍රධානී සමන්ත ගුණසේකර පවසයි.

ඔහු විස්තර කළ ආකාරයට තැපැල් මගින් හෝ කුරියර් සේවා හරහා සතුන් වැඩි වශයෙන් රටින් පිට කිරීම සිදුවේ.

මීට අමතරව විසිතුරු සතුන් ලෙස ශ්‍රී ලංකාවෙන් සජීවී සතුන් සහ පැළෑටි වෙනත් රටවලට රැගෙන යනු ලැබේ. ඒවා ඉතා ඉහළ මිලකට විදේශ රටවල අලෙවි වේ. ස්වභාවිකව ශ්‍රී ලංකාවේ පමණක් ජීවත්වෙන, ශ්‍රී ලංකාවට ආවේණික ඇතැම් ජීව විශේෂ අලෙවියට ඇති බව අන්තර්ජාල දැන්වීම්වල දක්නට ලැබෙයි.

ඩොලර් බිලියන හතරක් වටිනා 'රෝස් වුඩ්' කන්ටේනර් 28ක් අත්අඩංගුවට ගත් මෙහෙයුම

වනජීවී අපරාධ ජාලය මැඩලීමට උත්සාහ කිරීමේ දී නිලධාරීන් බිය වැද්දීම් සහ ජීවිත තර්ජන වලට මුහුණ දුන් අවස්ථා මෙන්ම නීතිමය ගැටලුවලට මුහුණ දුන් අවස්ථා ද තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Samantha Gunasekara

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මේ වැටලීමෙන් දවස් දෙකකට පස්සේ මම ඔෆිස් එකට එනකොට ලෝකයේ සුපිරි ධනවතුන් තුන් දෙනෙක් භාෂා පරිවර්තකයෙකුත් එක්ක මගේ ඔෆිස් එකට ඇවිත් හිටියා. ඔබ විශ්වාස කරන්නේ නෑ අපිට දෙන්න හදපු ඔෆර් එක කිවුවොත්.'
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලෝකයේ දැවමය වටිනාකම අධිකම ශාකය වූ 'රෝස් වුඩ්' අඩංගු කන්ටේනර් තොගයක් මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාව හරහා චීනයට රැගෙන යෑමේ සැලසුමක් ගැන 2012 දී ශ්‍රී ලංකා රේගුවට තොරතුරු ලැබීම තුළින් ගෝලීය වනජීවී ජාලය ගැන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව විමර්ශන නිලධාරීහු පවසති.

''ඒ කන්ටේනර් ටැන්සානියාවෙන් නැවට දාලා තිබුණේ හොංකොංවලට ගෙනියනවා කියලා. නමුත් අපිට ලැබුණු තොරතුරු අනුව කොළඹ වරායේ දී ඒ කන්ටේනර් චෙක් කළාම දැනගන්න ලැබුණා මේවා ඇත්තටම යන්නේ චීනයට කියලා. මේ අය කන්ටේනර් වෙන නැවකට මාරු කරන්න ප්ලෑන් කරලා තිබුණේ.'' යනුවෙන් පැවසූ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ හිටපු ප්‍රධානි සමන්ත ගුණසේකර වැටලීමෙන් අනතුරුව ඔහු මුහුණ දුන් අත්දැකීමක් මෙලෙස විස්තර කළේය.

''මේ වැටලීමෙන් දවස් දෙකකට පස්සේ මම ඔෆිස් එකට එනකොට ලෝකයේ සුපිරි ධනවතුන් තුන් දෙනෙක් භාෂා පරිවර්තකයෙකුත් එක්ක මගේ ඔෆිස් එකට ඇවිත් හිටියා. ඒ සුපිරි ධනවතුන්ගේ නම් අහල තිබුණත් දැක්කේ එදා. ඒ අය හැදුවේ අපිට බලපෑම් කරලා කන්ටේනර් නිදහස් කර ගන්න. ඔබ විශ්වාස කරන්නේ නෑ අපිට දෙන්න හදපු ඔෆර් එක කිවුවොත්. නමුත් අපි ඒවාට යට වුණේ නෑ. මේ වැඩේ පිටිපස්සේ එක්තරා රජයක සහය තියෙන බව අපිට විමර්ශන වලදී අනාවරණය වුණා. මේක නිත්‍යානුකූල කරන්න ඔවුන් ලිපි ලේඛන සකස් කරලා දීලා තිබුණා.''

වනජීවී අපරාධ ජාලය මැඩලීමට උත්සාහ කිරීමේ දී නිලධාරීන් බිය වැද්දීම් සහ ජීවිත තර්ජන වලට මුහුණ දුන් අවස්ථා මෙන්ම නීතිමය ගැටලුවලට මුහුණ දුන් අවස්ථා ද තිබේ.

ශ්‍රී ලංකාවෙන් නීති විරෝධී ලෙස කෙකටිය (Aponogeton) රැගෙන යාමේ අවස්ථා ව්‍යර්ථ කිරීමට උත්සාහ කිරීම නිසා සමන්ත ගුණසේකරට නඩු හයකට සහ විමර්ශන හයකට මුහුණ දෙන්නට සිදු විය.

''කෙකටිය අපනයනයට සම්බන්ධ පුද්ගලයින් මට නඩු හයක් දැම්මා. මම හයම දිනුවා. ඒ වගේම ඔවුන් පැමිණිලි කිරීම නිසා මාව පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශ මට්ටමේ කමිටු හයකට කැඳවලා ප්‍රශ්න කළා. එක වරක් පොකිරිස්සෝ රට යවන්න ගිය එකක් අල්ලලා කැබිනට් අමාත්‍යවරයෙකු වූ ෆිලික්ස් පෙරේරා මට තර්ජනය කළා. ඒවාට මම බය වුණේ නෑ. මමත් නීතිමය පියවර ගත්තා.'' යනුවෙන් පැවසූ සමන්ත ගුණසේකර තමාට ජීවිතාරක්ෂාව වෙනුවෙන් නොයෙකුත් උපක්‍රම අනුගමනය කිරීමට සිදු වූ බව ද විස්තර කළේය.

ඉන්දියාවේ වනසතුන් ශ්‍රී ලංකාව හරහා වෙළඳාම

ඉන්දියාවේ සිට වෙනත් රටකට රැගෙන යෑමට සැලසුම් කර තිබිය දී සජීවී තාරකා ඉබ්බන් 2089ක් ශ්‍රී ලංකාවේ, කල්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී සොයා ගැනීමට හැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ සිට වෙනත් රටකට රැගෙන යෑමට සැලසුම් කර තිබිය දී සජීවී තාරකා ඉබ්බන් 2089ක් ශ්‍රී ලංකාවේ, කල්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී සොයා ගැනීමට හැකි විය

ඉන්දියාවේ වනසතුන් මුහුදු මගින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් පසුව වෙනත් රටවලට යැවීමේ සැලසුම් අවස්ථා ගණනාවක දී අනාවරණය වී තිබේ.

විශේෂයෙන් ඉන්දියාවේ තාරකා ඉබ්බන් සජීව සතුන් ලෙස ශ්‍රී ලංකාව හරහා වෙළඳාම් කිරීම දැක්විය හැකිය. එවැනි සිදුවීම් අතර ප්‍රමුඛ වැටලීමක් 2017 දී සිදු විය. එහිදී ඉන්දියාවේ සිට වෙනත් රටකට රැගෙන යෑමට සැලසුම් කර තිබිය දී සජීවී තාරකා ඉබ්බන් 2089ක් කල්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී සොයා ගැනීමට හැකි විය.

තාරකා ඉබ්බන් ලංකාව හරහා මැලේසියාව, සිංගප්පුරුව සහ ජර්මනිය යන රටවල් රැගෙන යනු ලැබේ.

පක්ෂීන්, බෙල්ලන්, මත්ස්‍ය විශේෂ, මුහුදු පැළෑටි, මෝර වරල්, පොකිරිස්සන්, කැදලි තුරිතයාගේ කැදලි (Indian Swiftlet / Indian Edible-nest Swift), ගෝනුස්සන්, කොතල හිඹුටු, සමනලුන්, බත් කුරන් සහ කෘමි සතුන් ආදිය නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථා රැසක් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් ව්‍යර්ථ කර තිබේ.

ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධ පාලනය අපහසු ඇයි?

1979 මැයි මස 04 වන දින ශ්‍රි ලංකාව වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හෙවත් සයිටීස් (CITES) සම්මුතියට එකඟ විය.

ඡායාරූප මූලාශ්‍රය, Samantha Gunasekara

ඡායාරූප ශීර්ෂ වැකිය, 1979 මැයි මස 4 වන දින ශ්‍රි ලංකාව වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හෙවත් සයිටීස් (CITES) සම්මුතියට එකඟ විය

වනජීවී අපරාධ පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන විවිධ උත්සාහයන් ගෙන තිබේ. නමුත් අත්අඩංගුවට ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව හොර රහසේ සිදුවන කටයුතු වැඩි බව පරිසරවේදීහු පවසති.

''වනජීවී හා වෘක්ෂලතා අඥා පනතේ, වන සංරක්ෂණ ආඥා පනත, ධීවර සහ ජලජ සම්පත් පනත අනුව මේ වනජීවී ජාවාරමට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. නමුත් තියෙන්නේ මේ පනත් ක්‍රියාත්මක කිරීමේ ගැටලු. අලුත් ප්‍රවණතා අනුව මේවා පාලනයට පියවර ගත යුතුයි. කල්තබා තොරතුරු රැස් කිරීම හෝ ඒ සඳහා සිටින නිලධාරී මණ්ඩලය ප්‍රමාණවත් නෑ. ඒ වගේම නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව යාවත්කාලීන වෙන්න ඕනා. නිලධාරීන්ගේ විමර්ශන හැකියාවන් දියුණු කරන්න ඕනා. එවිට ජාත්‍යන්තර වනජීවී වෙළඳාම පාලනය තවත් ශක්තිමත් කරන්න පුළුවන්.'' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන විස්තර කළේය.

1979 මැයි මස 04 වන දින ශ්‍රි ලංකාව වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හෙවත් සයිටීස් (CITES) සම්මුතියට එකඟ විය. ඒ අනුව අන්තර්ජාතික වෙළඳාම නිසා තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ පැළෑටි අදාළ වෙළඳාම පාලනය කිරීම මඟින් එම ජීවීන් සංරක්ෂණය කිරීමට ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව බැඳී සිටී.

කෙන්යාවේ සිට ඩුබායි බලා යාත්‍රා කරන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී එහි තිබූ ඇත් දළ 359 ක් සොයා ගැනීමෙන් පසු 2016 වසරේ දී ඒවා කොළඹ, ගාලු මුවදොර පිටියේ දී ප්‍රසිද්ධියේ විනාශ කිරීමට රජය කටයුතු කරන ලදී. එම අවස්‌ථාව නිරීක්ෂණය සදහා එවකට CITES සම්මුතියේ ලේකම් ජෝන් ස්‌කැන්ලොන් පැමිණි අතර ඔහු BBC යට පැවසුවේ මෙලෙස ඇත් දළ විනාශ කළ පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව බවය.

ජෛව මංකොල්ලයේ පාරිසරික බලපෑම

සුප් සඳහා ඉල්ලුමක් ඇති කැදලි තුරිතයාගේ (Indian Swiftlet / Indian Edible-nest Swift) කැදලි තොගයක් අත්අඩංගුවටගත අවස්ථාවක් මේ ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Samantha Gunasekara

ඡායාරූප ශීර්ෂ වැකිය, සුප් සඳහා ඉල්ලුමක් ඇති කැදලි තුරිතයාගේ (Indian Swiftlet / Indian Edible-nest Swift) කැදලි තොගයක් පොලිස් භාරයට ගත් අවස්ථාව

ගෝලීය වනජීවී වෙළඳාම, ජාන මංකොල්ලය සහ පේටන්ට් ලබා ගැනීමේ ක්‍රියාවලිය හරහා පරිසර හා ආර්ථික හානියකට අමතරව සම්ප්‍රදායික කටයුතු වලට සීමා පැනවීමක් සිදු වේ.

ආවේණික විශේෂ වෙළඳාම එම සතුන් මුළු ලොවින්ම වඳ වී යෑමට හේතු විය හැකිය. එමෙන්ම වාණිජමය අරමුණු මුල් කරගෙන ඇතැම් ශාක හා සතුන් අධික ලෙස ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම මඟින් දේශීය ජෛව විවිධත්වය හීන වී ගොස් පරිසර පද්ධතිවලට තර්ජනයක් විය හැකි බව ජීව විද්‍යාඥ, ආචාර්ය ඉරේෂා හරිස්චන්ද්‍ර පවසන්නීය.

''සම්ප්‍රදායික දැනුම සහ සම්පත් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඒවා වාණිජකරණය කරන බොහෝ අවස්ථාවලදී පාරිසරික තිරසාරභාවය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සාම්ප්‍රදායික වගාවන්හි සිට මහා පරිමාණ කාර්මික වගාවන්ට මාරුවීම දේශීය පරිසර පද්ධතිවලට හානි කළ හැකි අතර, වඩා පරිසර හිතකාමී ක්‍රමවලින් ජනතාව ඈත් කිරීමට ද හේතු වෙන්න පුළුවන්.''

''උදාහරණයක් ලෙස කොහොඹ ගස (Azadirachta indica), ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නොවූවත්, සියවස් ගණනාවක් තිස්සේ කලාපයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් භාවිත කරනවා. නමුත් කොහොඹ සහ එහි අතුරු නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුවන ජෛව සොරකම්, මෙම ශාඛයේ දේශීය භාවිතය සීමා කර ඇති අතර සම්ප්‍රදායක වෛද්‍ය විද්‍යාව තුළ එයට ලැබී තිබූ සංස්කෘතික වැදගත්කම ද තර්ජනයට ලක්ව තිබෙනවා'' යනුවෙන් ආචාර්ය ඉරේෂා හරිස්චන්ද්‍ර පැවසුවාය.

CRISPR වැනි ජාන වෙනස් කිරීමේ ක්‍රම මගින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ස්වදේශික ශාඛ සහ සත්ත්ව විශේෂයන්ගෙන් ජාන වෙන් කර ගැනීමට සහ වෙනස් කිරීමට හැකියාව පවතී. ඒ ඔස්සේ වාණිජමය වාසි සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගෙන නව ප්‍රභේද නිර්මාණය කිරීමට නවීන තාක්ෂණය ඔස්සේ හැකි වී තිබේ. මෙම පේටන්ට් බලපත්‍ර මගින් දේශීය ගොවීන්ට සාම්ප්‍රදායිකව ඔවුන්ට ලබා ගත හැකිව තිබූ ශාඛ සහ සත්ත්ව විවිධත්වය සීමා කිරීමේ ඉඩ පවතී.

පෝෂණ අන්තර්ගතය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ප්‍රකටව ඇති ශ්‍රී ලංකාවේ දේශීය සහල් ප්‍රභේද, පළිබෝධ ප්‍රතිරෝධය ඇති හෝ නියං සඳහා ඔරොත්තු දීම වැනි ලක්ෂණ ඇතුළත් වන සේ ජාන වෙනස් කළ හැකිය. මෙම නව ප්‍රභේද, පේටන්ට් බලපත්රය ලබා ගෙන සම්ප්‍රදායික ඒවාට වඩා ප්‍රවර්ධනය කළහොත්, දේශීය ගොවීන් එම සාම්ප්‍රදායික සහල්වල ප්‍රභේද අතහැර දැමිය හැකි අවදානම මඟින් එම ජාන විවිධත්වය කාලයත් සමඟ අවම වී යාමේ සම්භාවිතාවක් පවතින බව ආචාර්ය ඉරේෂා හරිස්චන්ද්‍ර වැඩිදුරත් සඳහන් කළා ය.

තව ද අනීතිකව මෙසේ ජානමය ද්‍රව්‍ය එක් රැස් කිරීමේ ක්‍රියාදාමය තුළ රටක ආරක්ෂිත සහ සංවේදී පරිසර පද්ධති හා වාසස්ථාන හායනයට ලක්වීමේ අවදානමක් ද පවතී.