හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට තම පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේදී ම ඉරානයේ නව උත්තරීතර නායකයා ප්‍රතිඥා දෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, ගේබ්‍රියෙලා පොමරෝයි
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිදු කළ ප්‍රකාශයට අනුව, ලොව කාර්යබහුල ම තෙල් ප්‍රවාහන මාර්ගය වන හොමූස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව අවහිර කිරීමට ඉරානය පියවර ගනු ඇත.
ඔහුගේ පණිවිඩය ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය වූ නමුත් කමේනි පෞද්ගලිකව එහි පෙනී සිටියේ නැත. ඒ වෙනුවට ඔහුගේ පණිවිඩය ප්‍රවෘත්ති නිවේදකයෙකු විසින් කියවන ලදී.
එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමග යුද්ධයේදී මියගිය ඉරාන ජාතිකයින් වෙනුවෙන් ඉරානය පළිගන්නා බව කමේනි පැවසූ අතර, ඇමෙරිකානු හමුදා කඳවුරු සඳහා සත්කාරකත්වය සැපයීම නවත්වන ලෙස අසල්වැසි රටවලට ඔහු අනතුරු ඇඟවීය.
යුද්ධයේ පළමු දිනයේදී ඔහුගේ පියා වන අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු මාර්තු 8 වන දින ඔහු උත්තරීතර නායකයා ලෙස නම් කරන ලදී.
උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාරයෙන් මොජ්තාබා කමේනිට ඔහුගේ බිරිඳ සහ පුතෙකු අහිමි විය. ප්‍රහාරයෙන් ඔහුගේ මව ද මිය ගිය බව වාර්තා වුව ද, එක් ඉරාන මාධ්‍යයක් ඇය ජීවතුන් අතර සිටින බව පවසා තිබේ.
අනන්‍යතාව හෙළි නොකළ ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කළේ මොජ්තාබ් කමේනි ඉන් "සුළු තුවාල" ලැබූ බවය. නමුත් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත.
උත්තරීතර නායකයා බවට පත්වීමෙන් පසු ඔහුගේ ඡායාරූප හෝ වීඩියෝ කිසිවක් නිකුත් වී නොමැති අතර ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත.
ඉරාන රාජ්‍ය රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව ඔහු "රාමදාන් යුද්ධයේ විරුවෙකු" ලෙස හැඳින්වූ අතර, ඔහු තුවාල ලබා තිබේ ද යන්න පිළිබඳව වැඩිදුර තහවුරු කිරීමක්
සිදු කර නොමැත.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇති හැකියාව ඉරානයේ සතුරන් පීඩනයට ලක් කිරීමට භාවිත කළ හැකි බවට කමේනි තම පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේදී සඳහන් කළේ යැයි පැවසේ.
ඉරානය කලාපයේ ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කිරීම අඛණ්ඩව සිදු කරනු ඇතැයි කමේනි සිය ප්‍රකාශයේ සඳහන් කළේ ය.
ටෙහෙරානය අසල්වැසි රටවල් සමග "මිත්‍රත්වයේ" ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත්, ඒවායේ ඇති ඇමෙරිකානු කඳවුරු වසා දමන ලෙස ඔහු ඔවුන්ට අනතුරු ඇඟවීය.
"අසල්වැසි රටවල් 15ක් සමග අපි ගොඩබිමෙන් හෝ මුහුදෙන් දේශසීමා බෙදා ගන්නා අතර ඒ සියල්ල සමග ම හිතවත් හා ඵලදායී සබඳතා සැමවිට ම අපේක්ෂා කරනවා," ඔහු පැවසීය.
"අපේ මව්බිමට එරෙහි ආක්‍රමණය සහ අපේ ජනතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒ රටවල් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි."
"හැකි ඉක්මනින් ඒ කඳවුරු වසා දමන්න කියලා මම ඔවුන්ට උපදෙස් දෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, EPA
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉරානයේ නව නායකයා "දරුවන්ට එරෙහි අපරාධ, උදාහරණයක් ලෙස මිනාබ් පාසලේ හිතාමතා සිදු කළ අපරාධය" ගැන ද සඳහන් කළේ ය. ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, ඇමෙරිකානු විමර්ශකයින් විශ්වාස කරන්නේ ඇමෙරිකානු හමුදා දකුණු ඉරානයේ හමුදා කඳවුරක් අසල පිහිටි පාසලකට වැරදීමකින් ප්‍රහාර එල්ල කළ බවයි.
ඉරානයේ රාජ්‍ය රූපවාහිනි නාලිකාව හරහා තමන් ඉරානයේ උත්තරීතර නායකයා බවට පත්ව ඇති බව දැනගත් බව කමේනි පැවසීය.
"ගෞරවනීය විශේෂඥයින්ගේ සභාවේ ඡන්ද ප්‍රතිඵලය ගැන මම ඔබ වගේ ම දැන ගත්තේ ඉස්ලාමීය ජනරජයේ රූපවාහිනිය හරහා."
ටෙහෙරානයට නව ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයේ නව නායකයා විප්ලවවාදී ආරක්ෂකයින්ගේ "රූකඩයක්" ලෙස හැඳින්වූ අතර ඔහුට ප්‍රසිද්ධියේ පෙනී සිටිය නොහැකි බව පැවසීය.
කමේනි සහ හිස්බුල්ලා නායක නයිම් කාසෙම් ගැන විමසූ විට, කණ්ඩායමේ නායකයින්ගේ ජීවිත ආරක්ෂාව ගැන තමන්ට සහතියකයක් දිය නොහැකි බව නෙතන්යාහු පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ලෝකයේ තෙල්වලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉන්ධන නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය තර්ජනය කර තිබේ.
එලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් යාත්‍රා කිරීම අවහිර කිරීම සහ ගල්ෆ් කලාපයේ තෙල් නැව්වලට ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තෙල් මිල ඉහළ ගොස් ඇත.
බදාදා, ටෙහෙරානය පැවසුවේ ලෝකය තෙල් බැරලයක් ඩොලර් 200ක් දක්වා ඉහළ යාමට සූදානම් විය යුතු බව සහ එක්සත් ජනපදය ඊශ්‍රායලය සහ එහි හවුල්කරුවන් වෙත යන ඕනෑ ම තෙල් නැවක් සිය නීත්‍යනුකූල ඉලක්කයක් වනු ඇති බවයි.
ඉන්ධන වෙළෙඳපොළ මෙතෙක් සිදු වූ විශාලතම ඉන්ධන සැපයුම් බාධාවට මුහුණ දී සිටින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවා තිබේ.


































