පැසිෆික් සුදු ඉස්සා: ශ්‍රී ලංකාවට ගෙන ඒම විවාදයකට තුඩුදෙයි

ඡායාරූප මූලාශ්‍රය, naqda.gov.lk
ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති පැසිෆික් සුදු ඉස්සන්ගෙන් දේශීය ඉස්සන්ට සහ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි සිදුවිය හැකි අනතුරු අඟවන පරිසරවේදීහු එම මුහුදු ජීවීන් ගෙන ඒමේදී ජාතික ප්‍රතිපත්ති සහ නීතිරීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා නගති.
පැසිෆික් සුදු ඉස්සන් (Litopenaeus vannamei) ජෝඩු 500 ක් පසුගිය අප්‍රේල් මස හවායි සිට ශ්‍රී ලංකාවට ගෙන ආ බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි.
එම ඉස්සන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ, නියමිත ක්‍රියාපටිපාටියට පරිබාහිරව බවට පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන චෝදනා කරයි.
එහෙත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. නිමල් චන්ද්‍රරත්න ඉහත කී චෝදනා බැහැර කරයි.

ඡායාරූප මූලාශ්‍රය, naqda.gov.lk
ශ්‍රී ලංකාව තුළට වෙනත් රටකින් සත්ව හෝ ශාක විශේෂයක් ගෙන ඒම, 'ආගන්තුක ආක්‍රමණික ජීවීන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති' මාලාවේ අඩංගු ක්‍රමවේදයට අනුව සිදු කළ යුතු බව නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දැන කරුණකි.
එකී ප්‍රතිපත්තිය, 2017 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව, අද වනවිට රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක වේ.
එම ප්‍රතිපත්තියට අනුව වෙනත් රටකින් සත්ව හෝ ශාක විශේෂයක් ගෙන ඒමට අපේක්ෂා කරන්නේ නම්, ඒ බව පරිසර අමාත්‍යංශයට දැනුම් දිය යුතුය.
ඉන් අනතුරුව, පරිසර අමාත්‍යංශය දෙනු ලබන නිර්ණායක අනුව ඒ පිළිබඳ අවදානම් තක්සේරුවක් සහ අවදානම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතුය.
ජාතික ප්‍රතිපත්ති සහ නීතිරීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති පැසිෆික් සුදු ඉස්සන්ගෙන්, දේශීය ඉස්සන්ට හානි සිදුවිය හැකි බවට පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන අනතුරු අඟවයි.
ඔහුට අනුව, පැසිෆික් සුදු ඉස්සන් ශ්‍රී ලංකාවේ බෝකිරීම තුළ දේශීය ඉස්සන් විශේෂවලට සිදුවිය හැකි හානි දෙකකි.
- පැසිෆික් සුදු ඉස්සා ආක්‍රමණික, විලෝපීය ජීවියකු බැවින් දේශීය ඉස්සන් ආහාරයට ගෙන විනාශ කර දැමීම
- පැසිෆික් සුදු ඉස්සා මගින් දේශීය ඉස්සන්ට රෝග බෝවීමට ඇති හැකියාව
පැසිෆික් සුදු ඉස්සන් වෙනත් ඉස්සන් සමග තරග කරන බව සහ රෝග බෝ කරන බව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි කී නීතිඥ ගුණවර්ධන, එම ඉස්සන් විශේෂය, දේශීය ඉස්සන් කර්මාන්තයට අයහපත් ලෙස බලපානු ඇති බවට ද අනතුරු ඇඟවීය.
"මේ සත්වයා යම් හෙයකින් ලංකාවේ ස්වභාවික පරිසරයට මුදා හැරුණොත්, අපේ රටේ ජලජ පරිසරයේ ජීවත්වන මත්ස්‍යයන් සහ විශේෂයෙන් ඉස්සන්, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි සතුන්ට විලෝපිකයෙක් විය හැකි වගේම, ආගන්තුක ආක්‍රමණික ජීවියෙක් වශයෙන් ඔවුන්ගේ ගහනය වර්ධනයත් සමග විය හැකි හානිය කුමක්ද කියන දේ, අප හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයයි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පොකුණු හෝ ටැංකි ආශ්‍රිතව ඉස්සන් බෝ කළ ද, ජල ගැලීම් වැනි ස්වභාවික විපතක් හෝ ජලය බැහැර කරන අවස්ථාවක කීටයන් ස්වභාවික පරිසරයට එක්වීමේ වැඩි ඉඩක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
ඉහත කී ඉස්සන් විශේෂය ආනයනය කිරීමට අවසර ලැබෙන්නේ 'වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ' 37 වෙනි වගන්තිය යටතේ වුවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි අනුමැතියක් ලබා දී නොමැති බව නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.
"ඒ අනුව මේ ආනයනය කාගේ අවසර තිබුණත් නීති විරෝධියි, රේගුව මේ සඳහා අවසර දීම ගැනත් අප පුදුම වෙනවා. මොකද, වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 37 වෙනි වගන්තියේ තිබෙන ප්‍රතිපාදන, රේගු ආඥා පනතේ ප්‍රතිපාදන වශයෙන් ක්‍රියාත්මක කළ හැකි බව එහි සඳහන් වෙනවා. රේගුව එය නොසලකා කටයුතු කිරීම ගැන අපේ ලොකු කනස්සල්ලක් තිබෙනවා"
- වර්ධන වේගය වැඩි වීම
- තැන්පතු ඝනත්වය වැඩි වීම (වර්ග මීටරයට 150 ක්)
- විශාල ලවණ පරාසයක් දරාගත හැකි වීම
- උෂ්ණත්වය දරා ගැනීමේ හැකියාව
- කීට අවස්ථාවේ ජීව්‍යතාව වැඩිවීම
- රෝග සඳහා ඔරොත්තු දීම
ඉහත කී චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. නිමල් චන්ද්‍රරත්න කියා සිටියේ, පැසිෆික් සුදු ඉස්සන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේදී, සත්ව ආරක්ෂණ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ජෛව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනු ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, naqda.gov.lk
එසේම එය මන්නාරම ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
"පුත්තලම දිස්ත්‍රික්කයට අප එය හඳුන්වා දෙන්නේ නැහැ. අපි මේක කරන්නේ මන්නාරමේ"
"පෞද්ගලික අංශයේ එක්කෙනෙක් තමයි ප්‍රපෝසල් එකක් දාල, අමාත්‍යංශය අනුමත කරලා ක්‍රියාවට නංවන්න අපේ ආයතනයට දුන්නේ"
ඊට පරිසර අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇත්දැයි කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්, පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව ඉස්සන් ආනයනය සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් සිදු කර ඇති බව ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉස්සන්, අදාළ යෝජනාව ඉදිරිපත් කළ පෞද්ගලික ඉස්සන් වගකරුවාට අයත් වයික්කාලේ පිහිටි ඉස්සන් බෝකිරීමේ මධ්‍යස්ථානයක ඇති නිරෝධායනය කරන ලද ටැංකියක රඳවා ඇති බව ද ඔහු පැවසීය.
"එය ජෛව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කර හදලා තිබෙන්නේ. නිරෝධායනය කරන ලද ටැංකිය හැදුවේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග කතා කරලා"
"මේ ඉස්සා ජෛව විවිධත්වයට හානියක් වෙන්නෙත් නැහැ, ඒ සඳහා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. මොවුන් හදන්නේ කෘතීම පොකුණුවල. ඔවුන් පරිසරයට ගියත් එහි සිටින විලෝපිකයන් සමග තරග කරන්න බැරි නිසා මැරිලා යනවා"
එමෙන්ම පැසිෆික් සුදු ඉස්සන් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීම නියාමනය කර ඇති බැවින්, ඉන් දේශීය වෙළෙඳාමට බලපෑමක් එල්ල නොවනු ඇති බව ද ඔහු කියා සිටියේය.
පැසිෆික් සුදු ඉස්සන් ගෙන්වීමේදී සපුරාලිය යුතු සියලුම අවශ්‍යතා සපුරා ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සුනිල් ජයරත්න බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසීය.









