කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවරයන් දැල්වලින් මසුන් මැරීමේ දී ඉතාම කුඩා කෙලවලු පැටවුන් පවා අල්ලා ගන්නා බව වාර්තා වී ඇතැයි පවසන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, එය දිගින් දිගටම සිදුවුවහොත් කෙලවල්ලන් වඳ වී යාමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවයි.
එබැවින් කෙලවලු (ටූනා) පැටවුන් අල්ලා ගැනීමෙන් වළකින මෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සහ දැල්වලට අසුවන කෙලවලු පැටවුන් පිළිබඳව තොරතුරු රැස්කිරීමේ ක්‍රියාදාමයක් දියත් කරන මෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
"ඒ වගේම දෙවැනි අදියර විදියට අපි මේ පිළිබඳව ලැබෙන තොරතුරු අනුව අවශ්‍ය වුනොත් එම මසුන් මැරීම තහනම් කිරීමට ක්‍රියා කරනවා," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
කිසියම් ලෙසකින් එවැනි තහනමක් පණවනු ලැබුවහොත්, එය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ධීවර අමාත්‍යවරයා කියා සිටියේ ධීවරයන් විසින් අදාළ දැල් වරායවලින් රැගෙන යාම වැළැක්වීම ඉතා පහසු කටයුත්තක් බවය.

ඡායාරූප මූලාශ්‍රය, News.lk
කෙලවලු මත්ස්‍යයන් මැරීමෙන් වළකින මෙන් තමන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ ධීවරයන්ගෙන් ඉල්ලා නොසිටින බව පවසන අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරන්නේ තමන් අවධානය යොමු කරන්නේ "ග්‍රෑම් 100, 200 පවා ඉතා කුඩා ප්‍රමාණයේ කෙලවල්ලන් ඇල්ලීම" පිළිබඳව පමණක් බවය.
"කෙලවල්ල කිලෝ 120, 130 ට ලොකු වෙනවා. ග්‍රෑම් 100, 200 මේ පොඩි අය ගත්තම වඳ වීමේ තර්ජනයකට මුහුණ දෙනවා. ඒක පාලනය කිරීම සඳහා තමයි අපි කටයුතු කරන්නේ."
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.7% කට දායක වන අතර, ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවලට ශ්‍රී ලංකාව කෙලවල්ලන් අපනයනය කරයි.
සබැඳි පුවත්;








