ඉන්දීය ධීවර මත්ස්‍ය දඩයමෙන් පාඩුව රුපියල් කෝටි නවසීයක් -අමරවීර

ඉන්දීය ධීවර යාත්‍රා සතියකට දිනතුනක් වන බැගින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල්වී මසුන් මැරීම නිසා රටට අහිමි වෙන ආදායම රුපියල් කෝටි නවසීය ඉක්මවන බව ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර පවසයි.
සතියකට ඉන්දියානු ධීවර යාත්‍රා පන්සීයකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වීමෙන් අහිමි වෙන මත්ස්‍ය සම්පත ටොන් හයදාහක් පමණ වෙන බව ඇමතිවරයා පෙන්වාදෙයි.
එහෙත් ශ්‍රී ලංකාවට ඇතුල්වෙන ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාව මේවනවිට 50% කින් අඩු වී ඇති බවත් ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බලකාය විසින් අනවසර ඉන්දියානු ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම එම අඩුවීමට හේතු වී ඇතිබවත්, තමා පදවිය භාර ගනු ලැබීමෙන් අනතුරුව බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද කිසිදු ඉන්දීය ධීවර යාත්‍රාවක් නිදහස් නොකොට රාජසන්තක කරන ලද බවත් ඇමතිවරයා සඳහන් කළේය.

මානුෂීය කරුණු සලකා බලමින් එම යාත්‍රාවල සිටි ඉන්දීය ධීවරයන් නිදහස් කෙරුණ බව සඳහන් කළ ධීවර ඇමතිවරයා සියරටේ ධීවරයන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට පිවිස කරන විනාශය ඉන්දියානු බලධාරීන් පවා පිළිගත් බවත් කියාසිටියේය.




