"විෂ සහිත භාණ්ඩ" විනාශ කළේ "නීති ගරුක වෙළෙඳුන් ආරක්ෂා කිරීමට"

විනාශ කෙරුණු භාණ්ඩ

2017 දී නීති විරෝධී ලෙස රට තුළට ආනයනය කළ රුපියල් ලක්ෂ 310ක් වටිනා භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රසිද්ධියේ විනාශ කරන ලදි.

ශ්‍රී ලංකා රේගුවේ බුද්ධිමය දේපල අයිතීන් සම්බන්ධ නීති බලාත්මක කිරීමේ අංශය මගින් 2017 වසරේ අත්අඩංගුවට ගෙන තිබුණු මෙම භාණ්ඩ තොගය, සඳුදා (ජනවාරි 22) ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී විනාශ කෙරුනි.

ප්‍රසිද්ධ සන්නාම නමින් ගෙන් වූ ව්‍යාජ භාණ්ඩ රැසක් මෙලෙස විනාශ කෙරුණු අතර පාසල් උපකරණ, සෙල්ලම් බඩු, ජංගම දුරකථන අමතර කොටස් සහ වාහන අමතර කොටස් ද ඒ අතර විය.

මෙම බොහෝ උපකරණ නිෂ්පාදනය කර තිබුණේ ලොව ප්‍රසිද්ධ සමාගම් වල සන්නාම නමිනි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

එම උපකරණ බහුතරයක් විනාශ කෙරුනේ, ගල් රෝලක් යොදාගෙන තලා දැමීමෙනි.

"රේගු පනත හා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කරමින් ගෙනාපු උපකරණ තමයි අපි අද විනාශ කළේ," යනුවෙන් රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න භාණ්ඩ විනාශ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

එහි ප්‍රධාන අරමුණ නීති ගරුකව රට තුළට මුල් නිෂ්පාදන ආනයනය කරන වෙළෙන්දන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඔහු පැවසීය.

මෙවැනි භාණ්ඩ නිරපරාදේ විනාශ නොකර නැවත භාවිතයට ගත හැකි නේදැයි නැගෙන ප්‍රශ්නයට ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න එහිදී පිළිතුරු ලබා දුන්නේය.

විනාශ කෙරුණු භාණ්ඩ

"නිරන්තරයෙන්ම වෙළෙඳපොළවල ගොඩගහල තියෙනවා මේ බාල භාණ්ඩ, මුල් නිෂ්පාදනයට සමාන භාණ්ඩ. මේවා පිළිකා කාරක භාණ්ඩ. මේ පාසල් වලට භාවිත කරන පැන්සල් පෙට්ටි කවකටු පෙට්ටි ඉතා බාල වර්ගයේ අධික විෂ සහිත ප්ලාස්ටික් යොදාගෙන හදපු ඒවා."

"මේ බාල ජංගම දුරකථන අමතර කොටස් පුපුරලා වෙන හානි අපි දැකල තියෙනවා. මේක සෞඛ්‍යයටත් විශාල වශයෙන් බලපාන දෙයක්," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එබැවින් බුද්ධිමය දේපල අයිතීන් උල්ලංඝනය කරමින් භාණ්ඩ ආනයනය කිරීමක් සිදුවන්නේ නම් ඒ ගැන පැමිණිලි තමන්ට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවත් කියවන්න: