නිදන කාමරයේ රූපවාහිනිය ළමුන්ට හිතකරද?

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
නිදන කාමරය තුළ රූපවාහිනියක් පැවතීම ළමුන්ගේ ශරීරය තරබාරුවීමට හේතුවිය හැකි බව නවතම පර්යේෂණයකින් සනාථවී තිබේ.
මෙම පර්යේෂණ අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ යූසීඑල් විශ්ව විද්‍යාලයේ (University College London) විද්‍යාඥයන් පිරිසක් විසිනි.
මෙම පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ රූපවාහිනිය නරඹන කාලය දීර්ඝ වන තරමට ළමුන්ගේ සිරුර තරබාරුවීම ද වැඩිවන බවය.
ගැහැණු ළමුන්ට මෙම තත්වය විශේෂයෙන් බලපාන බව විද්‍යාඥයෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන ද ශරීර ස්ථුලවීමට බලපාන්නේද යන්න පිළිබඳව කඩිනමින් සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් බව ඔවුන්ගේ අදහසයි.
මෙම පර්යේෂකයන් කියා සිටින්නේ තිරයක් දෙස දීර්ඝ වෙලාවක් බලා සිටීම ළමුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බවය.
මෙම නව පර්යේෂණය සඳහා බ්‍රිතාන්‍යයේ ළමුන් 12,000කට අධික පිරිසකගෙන් ලබා ගත් දත්ත විශ්ලේෂණය කර තිබේ.
මෙම ළමුන්ගෙන් අඩකටත් වැඩි පිරිසකට වයස අවුරුදු හත සම්පුර්ණ වෙද්දී සිය නිදන කාමරයට රූපවාහිනියක් ලැබී ඇති බව පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි.

මෙම ළමුන්ගේ වයස අවුරුදු එකොළහ වනවිට ශරීරයේ උසට සමානුපාතිකව බර විශ්ලේෂණය කර තිබේ.
ඉන් ඔප්පු වී ඇත්තේ නිදන කාමරයේ රූපවාහිනියක් සහිතව වැඩෙන ගැහැණු ළමුන්ට පසුකාලීනව තරබාරු දේහයකට හිමිවීමේ අවදානම 30%කින් ඉහළ යන බවය. පිරිමි ළමුන්ට එම අවදානම ඉහළ ගොස් ඇත්තේ 20%කිනි.
"අපේ අධ්‍යයනයෙන් පැහැදිලිවම පෙනී යනවා, ළමයෙක් හැටියට තම නිදන කාමරයේ රූපවාහිනියක් තිබීමත් සහ පසුකාලීනව ඔවුන් තරබාරු වීමත් අතර සම්බන්ධයක් පවතින බව." යනුවෙන් වෛද්‍ය අන්ජා හේල්මාන් පැවසුවාය.








