චෙම්මනි කැණීම් සඳහා තවත් සති 8කින් කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීමක්: මෙතෙක් හමුවූයේ මොනවා ද?

- Author, බීබීසී සිංහල
චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදුකෙරෙන කැණීම් කටයුතු අවම වශයෙන් තවත් සති 8ක පමණ කාලයක් සිදුකළ යුතු බවට කැණීම් සම්බන්ධ විශේෂඥයින් ඊයේ (14) අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසයි.
චෙම්මනි කැණීම් සිදු කරන ස්ථානයේ ස්කෑන් වාර්තාව හා කැණීම් කටයුතු පිළිබඳ විමර්ශන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ඊයේ (14) සිදුකෙරිණි.
එහිදී නීතිඥ සුමන්තිරන් පැවසුවේ, තවත් අවම වශයෙන් සති අටක කාලයක් සමූහ එහි කැණීම් කටයුතු සිදුකළ යුතු බවට කැණීම් කටයුතුවලට සහභාගි වී සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව ය.
සුමන්තිරන් පැවසුවේ, කැණීම් කටයුතු නැවතත් අගෝස්තු 22 වන දා ආරම්භ කිරීමට අධිකරණය නියෝග ලබා දී ඇති බව ය.
මීට පෙර යාපනය මහාධිකරණයේ විභාග වූ චෙම්මනි කැණීම් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකදී සෝමරත්න රාජපක්ෂ නමැත්තා ලබා දුන් සාක්ෂි හා දැනට චෙම්මනි සමූහ කැණීම් සම්බන්ධයෙන් වන පරීක්ෂණ විස්තර එකිනෙක ගැළපෙන්නේ ද යන්න සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් නීතිඥයින් අධිකරණයෙන් විමසා සිටි බවත්, සෝමරත්න රාජපක්ෂ නමැත්තාගේ සාක්ෂි සහිත නඩු විභාගය නැවත යාපනය මහාධිකරණයට මාරු කර ගැනීමට හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නීතිඥවරුන් අධිකරණයෙන් විමසා සිටි බවත් සුමන්තිරන් පැවසුවේ ය.
B2899 දරන නඩුව විභාග කිරීමේදී සෝමරත්න රාජපක්ෂ නමැත්තා 1999 වසරේ ලබා දුන් සාක්ෂි අනුව සදහන් කොට ඇත්තේ, චෙම්මනි ප්‍රදේශයේ සමූහ වශයෙන් පුද්ගලයින් භූමදානය කොට ඇති බව ය. අදාළ සාක්ෂි පදනම් කරගෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුමැතිය මත ආචාර්ය දේවනේසන් නේසයියා, 2003 වසරේ පිටු 210කින් යුතුව යාපනය නගරය, චාවකච්චේරි, නාවට්කුළි ප්‍රදේශවල පදිංචිව සිටි අය අතුරුදන්වීම් පිළිබඳ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කොට පැවති බවත්, ඉන් පැමිණිලි 200ක අතුරුදහන්වීම් වෙනුවෙන් එවක අදාළ ප්‍රදේශවල ආරක්ෂක අංශ සම්බන්ධ බවට පැමිණිලිකරුවන් සඳහන් කොට ඇති බවත්, අදාළ වාර්තාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසට නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීම් කළ බව ද නීතිඥ සුමන්තිරන් මාධ්‍ය වෙත පැවසුවේ ය.
එලෙස ම අදාළ සිදුවීම්වලට සම්බන්ධ හමුදා ප්‍රධානීන් විදේශගත වීම වළක්වාලීමට සුදුසු නියෝගයක් ලබා දී තිබේ දැයි විමසීමක් කළ බවත්, අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කොට නොමැති වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවට අනාවරණය වූ බවත් ඔහු පැවසීය.
එලෙස ම දැනට සොයාගත් අස්ථි කොටස් තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද නීතිඥයින් විමසා සිටි බව ද සුමන්තිරන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

චෙම්මනි අස්ථි කොටස් පිළිබඳ පරීක්ෂණ කටයුතු
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇති අතර, මිනිස් සිරුරු 140කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව කැනීම් නිළධාරීන් පවසති.
චෙම්මනි සිව් වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 06 වන දා තාවකාලිකව නවතා දැමූ අතර, කැණීම්වල මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත බව ද කැණීම් නිලධාරීහු පැවසූහ.

ස්කෑන් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම
අස්ථි කොටස් හමුවූ ස්ථානයට ආසන්න ස්ථානවල ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීම අගෝස්තු 04 වන දා හා අගෝස්තු 05 වන දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් සිදුකළ අතර, සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තාව අද(14) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ විශේෂඥ කණ්ඩායම කටයුතු කර තිබිණ.
මෙහි මේ දක්වා හමුවූ අස්ථි කොටස් හා අනෙකුත් ද්‍රව්‍ය අධිකරණ නියෝග යටතේ යාපනය මහ රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.
චෙම්මනි සුසාන භූමිය ආසන්නේ අස්ථි කොටස් මතුවීම
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වන දා සංවර්ධන කටයුතුවල නිරත වූ පිරිසක් දැක තිබිණි.
අදාළ අස්ථි කොටස් දැකීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් කටයුතු කර තිබිණ.
පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකර ගැනීමට නොහැකි වූ අතර, වර්ෂා සමය නිමා වීමෙන් අනතුරුව යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු කිරීමට නියෝග ලබා තිබේ.
කැණීම් ස්ථානය සම්බන්ධයෙන් යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ විසින් අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවට නියෝග ලබා දුන් බව පොලිසිය සඳහන් කළේ ය.

අස්ථි කොටස් සහ අස්ථි කොටස් නොවන අනෙකුත් ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනයට
කැණීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවේ, හමුවූ භාණ්ඩ අගෝස්තු 05 වන දා සවස 2.00 සිට 5.00 දක්වා මහජන ප්‍රදර්ශනය යොමු කළ බව ය.
පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට යොමු කළ භාණ්ඩ පරීක්ෂා කිරීමට සහභාගි වූ බව ද නිතීඥවරිය පැවසුවා ය.
භාණ්ඩ පරීක්ෂා කිරීමට එක්වූ කිසිවෙකු අදාළ භාණ්ඩ හඳුනා ගැනීමට සමත් නොවිණි.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙහෙයවීම යටතේ මෙම ස්ථානයෙන් හමුවූ අස්ථි නොවන භාණ්ඩ 45ක් හඳුනා ගැනීම වෙනුවෙන් ප්‍රදර්ශනය කළ බව ද නීතිඥවරිය සඳහන් කළා ය.
යම් පුද්ගලයෙකු මහජන ප්‍රදර්ශනය හරහා කිසියම් භාණ්ඩයක් හඳුනා ගැනීම සිදුකළහොත් ඒ හරහා මෙම ස්ථානය සම්බන්ධයෙන් යම් අනාවරණයක් සිදුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අපේක්ෂා කළ බව ද ඥානරාජා පැවසුවා ය.
මෙතෙක් හමුවූ භාණ්ඩ මොනවා ද?
මෙම කැණීම්වලදී මේ දක්වා භාණ්ඩ කිහිපයක් හමුවී තිබේ. ඒ අතර, රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළඳින වළලු දෙකක්, කුඩා දරුවන්ගේ කිරි බෝතලයක්, පාවහන් කොටසක්, ඇඳුම් කොටස් කිහිපයක් හා තවත් ද්‍රව්‍ය කිහිපයක් වෙන් කරගෙන ඇති බව නීතිඥ වී.කේ. නිරංජන් පැවසීය.




































