කොක්කුතුඩුවායි සමූහ මිනීවළ: අස්ථි කොටස් නොවන දේ හඳුනා ගැනීමට අවස්ථාවක්

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනීවළ තුළ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් නොවන ඇඳුම් කොටස් හා අනෙකුත් ද්‍රව්‍ය හඳුනා ගැනීම වෙනුවෙන් සූදානම් කර ඇති ලේඛනයක් මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනීවළ තුළ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් නොවන ඇඳුම් කොටස් හා අනෙකුත් ද්‍රව්‍ය හඳුනා ගැනීම වෙනුවෙන් සූදානම් කර ඇති ලේඛනයක් මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

සමූහ මිනීවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 52කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇත.

සමූහ මිනීවළ කැණීමේ තුන් වන අදියර වන විට මිනිස් සිරුරු 40කට අදාළ අස්ථි ගොඩගෙන තිබූ අතර, සිව් වන අදියරේදී තවත් මිනිස් සිරුරු 12කට අදාළ අස්ථි කොටස් මතු කර ගැනිණි.

අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛනය

මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව පැවසුවේ, කොක්කුතුඩුවායි සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් නොවන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ එම වාර්තාව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ය.

කොක්කුතුඩුවායි සමූහ මිනීවළ තුළ තිබී හමුවූ අස්ථි කොටස් නොවන ඇඳුම් කොටස් හා අනෙකුත් ද්‍රව්‍ය 52ක විස්තර අඩංගු ලේඛනයක් පුද්ගල හඳුනා ගැනීම වෙනුවෙන් සූදානම් කර ඒ සඳහා අධිකරණ අවසරය ලබා ගැනීමට ඉදිරිපත් කර තිබේ.

ඇඳුම් කොටස්, අංක සහිත තහඩු, ලෝහ කැබලි ඇතුළු ද්‍රව්‍ය එම ලැයිස්තුවෙහි අන්තර්ගත වේ.

"ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ සමූහ මිනීවළ තුළ තිබූ අස්ථි කොටස්වල අයිතිකරුවන් හඳුනා ගැනීමට යම් උපකාරයක් ලබා ගැනීම යි."

"අධිකරණ අවසරය මත අදාළ භාණ්ඩ හඳුනා ගැනීම කවුරුන් හෝ සිදුකළහොත් ඒ තුළින් අස්ථි කොටස්වල අනන්‍යතාව සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගන්න පුළුවන්."

අදාළ ලේඛනයට අමතරව තවත් ලේඛනයක් කැණීම් කණ්ඩායම විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබනු ඇත.

"සමූහ මිනීවළ තුළින් හමුවූ අස්ථි කොටස්වල කාල සීමාව, උස ආදී තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් තවත් මාස හයක පමණ කාලයකින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා," යැයි කනකසභාපති වාසුදේව වැඩිදුරටත් පැවසුවේ ය.

මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී කනකසභාපති වාසුදේව පැවසූවේ කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් අස්ථි කොටස් නොවන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ එම වාර්තාව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බවයි.

කොක්කුතුඩුවායි සමූහ මිනීවළ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කාණුවක් කැපීමේදී අදාළ ස්ථානයෙන් පළමු වතාවට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2023 ජූනි 29 වන දා හමුවී තිබිණි.

අස්ථි කොටස් හමුවූ ස්ථානය 2023 ජූනි 30 වන දා, (මතභේදාත්මක සේවා හැර යාමක් සිදුකළ) මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටී. සරවනරාජා විසින් පරීක්ෂා කරනු ලැබූ අතර, එහිදී නියෝග කළේ, අස්ථි හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු 2023 ජූලි 06 වන දා ආරම්භ කරන ලෙසට ය.

අදාළ ස්ථානයේ කැණීම් කටයුතු පළමු වතාවට 2023 ජූලි 06 වන දා ආරම්භ කළ අතර, අනතුරුව නවතා දැමිණි.

සමූහ මිනීවළ කැණීම් කටයුතු දෙවන අදියර යටතේ, 2023 සැප්තැම්බර් 06 වන දා නැවත ආරම්භ කළ අතර, 2023 සැප්තැම්බර් 15 වන දා එම කැණීම් නවතා දැමී ය.

සමූහ මිනීවළ පිළිබඳ තෙවන අදියරේ කැණීම් කටයුතු 2023 නොවැම්බර් 20 වන දා ආරම්භ කර 2023 නොවැම්බර් 29 වන දා අවසන් කෙරිණි.

සමූහ මිනීවළෙන් මේ දක්වා මිනිස් අස්ථි කොටස් 40ක් ගොඩගෙන ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වැඩිදුර පරීක්ෂාව වෙනුවෙන් මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කර ඇත.

අදාළ ලේඛනයට අමතරව තවත් ලේඛනයක් කැනීම් කණ්ඩායම විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සමූහ මිනීවළෙන් මේ දක්වා මිනිස් සිරුරු 52කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබේ.

'1994 - 1996 කාලයට අයත්' කොක්කුතුඩුවායි සමූහ මිනීවළ

කොක්කුතුඩුවායි සමූහ මිනීවළ 1994 - 1996 දක්වා කාලයට අයත් විය හැකි බවට සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් කටයුතුවලට එක්වූ පුරාවිද්‍යා නිලධාරීන් නිගමනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මගින් දන්වා ඇතැයි, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව සඳහන් කළේ ය.

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනීවළ කැණීම සම්බන්ධයෙන් මේ දක්වා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තාව (2024 පෙබරවාරි 22 වන දා) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කනකසභාපති වාසුදේව එලෙස පැවසුවේ ය.

කොක්කුතුඩුවායි සමූහ මිනීවළ සම්බන්ධයෙන් මේ දක්වා කැණීම් කටයුතු, කැණීම්වලීන් ලබා ගත් දෑ, කැණීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් කැණීම් කමිටුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් වෙත ඉදිරිපත් කර තිබිණි.

ගොඩගත් අස්ථි කොටස්වල පරීක්ෂණ තත්ත්වය

සමූහ මිනීවළෙන් ගොඩ ගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් මෙතෙක් සකස් කර නොමැති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ නිලධාරී කනකසභාපති වාසුදේව සඳහන් කළේය.

අධිකරණ නියෝගවලට අනුව, කැණීම් කටයුතු භාර විශේෂඥ පුරාවිද්‍යා මහචාර්යවරුන් කණ්ඩායම හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කමිටුවක් යටතේ අස්ථි කොටස් සම්බන්ධයෙන් අවසන් වාර්තාව සකස් කිරීමට නියමිත බව ඔහු පැවසුවේ ය.

විශේෂඥ කමිටුවක් හරහා අස්ථි කොටස් පරීක්ෂා කිරීම වෙනුවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් රැස්විය යුතු අතර, අදාළ පරීක්ෂාවන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටලුවක් වී ඇති බව ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

සමූහ මිනීවළ සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයින්ගේ මතය

සමූහ මිනීවළ කැණීම් කටයුතු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සිදුකළ අතර, සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 52කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව ඔහු පැවසුවේ ය.

සමූහ මිනීවළ තුළින් හමුවූ අස්ථි කොටස් විධිමත් සුසාන භූමියක මළ සිරුරු තැන්පත් කර ඇති ආකාරයට තැන්පත් කර නොමැති බවත්, හමුවූ අස්ථි කොටස් අවිධිමත් ආකාරයට වළ දමා තිබූ බවත් නිරීක්ෂණය වන බව මහාචාර්ය සෝමදේව ප්‍රකාශ කළේ ය.

සමූහ මිනීවළෙන් හමුවූ අස්ථි නොවන වෙනත් දෑ

සමූහ මිනීවළ තුළ තිබී පතුරම් උණ්ඩ වැනි කොටස් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හඳුනා ගැනීමට පළඳින ලදැයි කියන අංක තහඩු , අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිත කරන කැළෑ ඇඳුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක් ද හමුවූ බව කැණීම් නිලධාරීහු පැවසූහ.

අස්ථි කොටස් අතර තිබී ලෝහ කොටස් කිහිපයක් හමුව ඇති අතර, අදාළ ලෝහ කොටස් ද හඳූනා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ ය.

කැණීම්වල නිරත නිලධාරී කණ්ඩායම

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරයි.

යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව, යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්. පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැණීම් කටයුතු වෙනුවෙන් එක්ව සිටිති.

කෝකිලායි පොලිසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පුරාවිද්‍යා නිලධාරීන්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැණීම් කටයුතු සඳහා සහයෝගය ලබා දෙති.

අතුරුදන් වූවන්ගේ ඥාතීන් කියන්නේ කුමක් ද?

මුලතිව් දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීන් නියෝජනය කරන්නෙකු පැවසුවේ, සමූහ මිනීවළ තුළ යුද සමයේ අතුරුදන් වූ තමන්ගේ දරුවන්ගේ මළ සිරුරුවල අස්ථි කොටස් ඇති බවට තමන් විශ්වාස කරන බව ය.

"සමූහ මිනීවළ කැණීම් තුළින් හමුවූ දේවල් හඳුනා ගැනීම වෙනුවෙන් සූදානම් කරලා, ඒ සඳහා අධිකරණ නියෝග ලබා ගන්න දීලා තිබෙනවා කියලා කියනවා. අපි හිතනවා අධිකරණ නියෝග යටතේ ඒවා බලන්න අපට අවස්ථාවක් ලැබුණොත්, ඒ තුළින් අපේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් යම් හෝඩුවාවක් දැන ගන්නට ලැබෙ යි කියලා," ඔහු පැවසීය.

සමූහ මිනීවළ තුළ මිය ගිය පුද්ගලයින්ගේ අස්ථි කොටස් එකපිට එක පවතින ආකාරයට අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් පවතින බවට නිරීක්ෂණය වන බැවින් අතුරුදන් වූවන් ඝාතනය කර එම වළ තුළට දමා ඇති බවට තමන්ට මහත් සැකයක් පවතින බව ද අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසති.