මන්නාරම සමූහ මිනී වළ: ඇමරිකානු වාර්තාව "ගැටලුසහගත" බව මහාචාර්ය සෝමදේව පවසයි

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල සම්බන්ධයෙන් ඇමෙරිකානු ෆ්ලෝරීඩා රසායනාගාරය ලබා දුන් දින වකවානු විමසීමේදී එකම මිනී වළ තුළින් හමුවූ අස්ථි සාම්පලවල කාලය සම්බන්ධයෙන් වසර 231ක තරම් වෙනසක් පැවතීම ගැටලුසහගත බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
එබැවින් පරීක්ෂණ කණ්ඩායමේ විශේෂඥ දැනුම යොදාගෙන අදාළ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පරිපූර්ණ වෝහාරික විද්‍යා වාර්තාවක් ලබා දෙන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය තමන් වෙත දැනුම් දී ඇති බව ද ඔහු පැවසුවේය.
සමූහ මිනී වළ පරිශ්‍රයෙන් හමුවූ 350 කට අධික මිනිස් අස්ථි නොවන වළං කැබලි, ලෝහ කැබලි ඇතුළු භාණ්ඩ කොටස් තම පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කර ගැනීමේ අවස්ථාවට ජූනි 26 වෙනිදා සහභාගි වූ මහාචාර්ය සෝමදේව ඉහත කී අදහස් පළ කළේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
මහාචාර්ය සෝමදේව වැඩිදුරටත් පැවසුවේ, අධිකරණ නියෝග අනුව තමන් හා තම කණ්ඩායම වෝහාරික වාර්තාව සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්, සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි නොවන භාණ්ඩ පරීක්ෂා කිරීම තුළින් එම භාණ්ඩවල කාලය හා සමූහ මිනී වළ කුමන ආකාරයේ සිදුවීමක් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවය.
සමූහ මිනිවළ සම්බන්ධයෙන් තම වාර්තාව ජූලි මස 31 වෙනිදාට පෙර අධිකරණය වෙත ලබා දීමට තමන් අපේක්ෂා කරන බව ද මහාචාර්යවරයා පැවසීය.
මන්නාරම සමූහ මිනී වළ හමුවූ හැටි

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී 2018 මාර්තු 26 වෙනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ විය.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එවක මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කළේය.
කඩා දැමූ ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පදනම සකස් කිරීමට කැපූ පස් මන්නාරම නගරයේ ස්ථාන හයක් වෙත රැගෙන ගොස් තිබූ අතර අදාළ ස්ථාන හයෙන් ම අස්ථි කොටස් සොයාගනු ලැබිණ.
සමූහ මිනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීම
මන්නාරම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ඒ.ජී ඇලෙස්ක්රාජාගේ නියෝග යටතේ 2018 මැයි 28 වෙනිදා සමූහ මිනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි.
පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන් සහ ඊට සහභාගී වූ පාර්ශව
- පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව
- විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ
- මන්නාරම පොලිස් නිලධාරීන්
- මන්නාරම අධිකරණ නිලධාරීන්
- රජයේ රස පරීක්ෂක නිලධාරීන්
මේ දක්වා ගමන් මග
- පරීක්ෂණ පැවති කාලය - දින 156
- මතු කර ගත් මිනිස් සිරුරු - 342
- ඉවත් කර ගත් මිනිස් සිරුරු අස්ථි කොටස් - 330
ඉවත් කර ගත් අස්ථි කොටස් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති අතර, අදාළ මිනිස් සිරුරු කොටස් අතර ළමුන්ගේ බවට සැක කරන සිරුරු 30ක් පවතින බව පරීක්ෂණ මෙහෙයවූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
කාල නීර්ණ වාර්තාව

සමූහ මිනී වළ තුළින් සොයා ගත් අස්ථි අතරින් ලබා ගත් සාම්පල හයක් 2019 ජනවාරි 23 වෙනිදා ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාරය වෙත යැවූ අතර, අදාළ පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල 2019 මාර්තු 07 වෙනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබිණ.
ඉන් අනතුරුව අදාළ ලියවිල්ල මහජන ලියවිල්ලක් වශයෙන් 2019 මාර්තු 08 වෙනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය.
අදාළ සාම්පල හය සම්බන්ධ වාර්තාව ඇමරිකාවේ ෆ්ලෝරීඩා බීටා ඇනලිස්ටි ආයතනයෙන් නිල වශයෙන් ද අධිකරණයට යොමු කර තිබිණ.
දත්ත වාර්තා අධ්‍යයනයේදී අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1404 ත් 1635 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවත්, ඒ තුළින් කාල සීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයෝ පැවසූහ.
සමූහ මිනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නවතා දැමීම

මන්නාරම සමූහ මිනී වළ ආශ්‍රිත කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා 2019 මාර්තු 08 වෙනිදා නියෝග කළේය.
අදාළ අධිකරණ තීරණය අනුව කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර, සමූහ මිනී වළ සම්බන්ධයෙන් අවසන් වරට සාකච්ඡාවක් පැවතියේ 2019 මාර්තු 23 වෙනිදාය.
සමූහ මිනී වළ පිළිබඳ පුරාවිද්‍යාත්මක මතය

පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසන පරිදි මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැත.
අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක හමුවූ අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට ඇති බවත් ඔහු සඳහන් කළේය.
සාම්ප්‍රදායික සුසාන භූමියක අස්ථි තැන්පත් කර තිබෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකට අස්ථි කොටස් හමුවී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ මතය
"යුද සමයේ උතුරු නැගෙනහිර පළාත්වල තරුණයින් 10000 කට වැඩි පිරිසක් අතුරුදන් වෙලා ඉන්නවා. ඒ අයට සිද්ධ වුණේ මොකක් ද කියලා අපි දන්නේ නෑ. යුද්ධයේ අවසන් දවස්වල සාක්ෂි සහිතව අපේ දරුවෝ යුද්ධ හමුදාවට භාර වුණා. ඒත් ඒ අය ගැන අදටත් සඳහනක් නෑ. අපි හිතනවා ඒ අය කොහේ හරි මරලා දාලා ඇති කියලා," යනුවෙන් මන්නාරම දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය පැවසීය.
මන්නාරම තිරුකේදීශ්වරන් සමූහ මිනී වළ
මීට පෙර ද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල ආසන්න ප්‍රදේශයේදී 2013 වසරේ දෙසැම්බර් 11 වෙනිදා සමූහ මිනී වළක් හමුවිය.
තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එලීම සිදුකළ පිරිසකට ද මෙවැනි ස්ථානයක් හමුවූ අතර, එහිදී ද මිනිස් සිරුරු 85කට ආසන්න සංඛ්‍යාවකට අයත් අස්ථි කොටස් හමුවිණ.
තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් හමුවූ අස්ථි කොටස් සම්බන්ධයෙන් එවක අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ ඩී.එල් වෛද්‍යරත්න මහතා පරීක්ෂණ පැවැත්වූ අතර, එම අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් අනුරාධපුර රෝහල වෙත රැගෙන යාම ද එහිදී සිදුකෙරිණ.
අදාළ සමූහ මිනිවළ සම්බන්ධයෙන් අනාවරණයට පත්වූයේ එම ස්ථානය පැරණි සුසාන භූමියක් වන බවය.
තවදුරටත් කියවන්න.









