ටයිටන් අසාර්ථකත්වයෙන් උගත් පාඩම් මොනවා ද?

වසරකට පෙර, ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයා ගිය අවාසනාවන්ත මෙහෙයුමකදී ටයිටන් සබ්මර්සිබලය විනාශ වී ගියේ ය. එසේ වුව ද, මෙම අනතුර අනාගතයේදී සිදු කරන ගැඹුරු සාගර ගමන් වඩා ත් ආරක්ෂිතව සිදු කිරීමට දායක වන ආකාරය සාගර ගවේෂක වික්ටර් වෙස්කෝවෝ පැහැදිලි කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වසරකට පෙර, ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයා ගිය අවාසනාවන්ත මෙහෙයුමකදී ටයිටන් සබ්මර්සිබලය විනාශ වී ගියේ ය. එසේ වුව ද, මෙම අනතුර අනාගතයේදී සිදු කරන ගැඹුරු සාගර ගමන් වඩා ත් ආරක්ෂිතව සිදු කිරීමට දායක වන ආකාරය සාගර ගවේෂක වික්ටර් වෙස්කෝවෝ පැහැදිලි කරනු ලැබීය.

'[සාගරය] කියන්නේ, අලුත් යමක් අත්හදා බලන්න කලින් ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු තැනක්. සිලිකන් වැලීවලදී එයාලා කියනවා වගේ කලබල වෙලා දේවල් කරලා විනාශ කර ගන්නේ නැහැනේ, ඔයා ඉන්න එක විනාශ වෙලා යනවා නම්.'

– ගැඹුරු සාගර ගවේෂක, විද්‍යාඥ සහ චිත්‍රපට නිෂ්පාදක ජේම්ස් කැමරන්, 2024 ජූනි 9, 60 Minutes Australiaහි පෙනී සිටිමින්-

ආර්එම්එස් ටයිටැනික් නෞකාව තිබූ ස්ථානය අසලදී ටයිටන් සබ්මර්සිබලය පුපුරා ගොස් වසරක් ගත වී ඇත.

මාගේ මිතුරන් සහ සගයන් දෙදෙනෙකු වන ප්‍රංශයේ පීඑච් නාජලෙට් සහ එක්සත් රාජධානියේ හේමිෂ් හාඩින්ග් ද එහි සිටි පිරිස අතර වූහ. මා වසර කිහිපයක් පුරා පීඑච් සමග සාගරයේ අතිශය ගැඹුරු ස්ථාන වෙත යා හැකි 'Limiting Factor' නම් සබ්මර්සිබලයේ සැලසුම්කරණ සහ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කළ අතර හේමිෂ් සමග මම සාගරයේ ගැඹුරු ම ස්ථානය වන 'චැලෙන්ජර් ඩීප්' (Challenger Deep) වෙත ගියෙමි. ඔවුන්ගේ වියෝව මා හට විශාල ප්‍රවෘත්තියක් පමණක් නොව පෞද්ගලිකව බලපෑ කාරණයක් ද විය.

වසරකට පසුව, බොහෝ දෙනෙකු විමසන්නේ: "මෙම සිද්ධිය ගැඹුරු-ජල ගවේෂණය වෙනස් කර ඇත්තේ කෙසේ ද?" යනුවෙනි.

ඒ සඳහා පිළිතුරු දෙකක් තිබේ.

පළමුවැන්න නම්: ‘මම ගොඩක් දුරට හිතනවා, ලොකුවට වෙනසක් වෙලා නැහැ කියලා.’

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එයින් මා අදහස් කරන්නේ, අපේ ලෝකයේ ජීවනාලිය වන මේ අපූරු සාගරයේ ගැඹුරට කිමිදීමට මෙම සිදුවීම මිනිසුන්ට එතරම් බියක් ඇති නොකරනු ඇතැයි මා අවංකව ම සිතන බව ය. සොයා නොගත් ජීවී විශේෂ රාශියකට නිවහනක් වන, 'මුහුදු කම්පා' (seaquakes) සහ සුනාමි පිළිබඳව අවබෝධ කර ගැනීමට අපට උපකාර විය හැකි භූ විද්‍යාත්මක ප්‍රහේලිකා සහ දේශගුණික විපර්යාස ලෝකයට බලපාන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි, ලෝකයේ සාගරයෙන් හතරෙන් තුනක් සම්පූර්ණයෙන් ම ගවේෂණය කර නොමැත.

අවාසනාවන්ත ලෙස, අනතුර සංවේදීකරණය සහ ගැඹුරු සාගරය ගැන බොහෝ දෙනෙකු තුළ නිරායාසයෙන් ම ඇතිවන බිය නිසා සබ්මර්සිබල් එතරම් හුරුපුරුදු නොමැති ඇතැමෙකුට ඒවායින් එකකට ගොඩවීම ඇතැම් විට සුන්දර අත්දැකීමක් නොවනු ඇත. මාරාන්තික ගුවන් යානා අනතුරක් පිළිබඳ ඇසීමෙන් පසු මිනිසුන් ගුවන් ගමන් නතර නොකළ යුතු සේ ම, නියත වශයෙන් ම, මෙය ද එසේ නොවිය යුතු ය. සබ්මර්සිබල් ප්‍රජාවේ සිටින අප එනම්, ඒවා නිර්මාණය කරන්නන්, නියමුවන් සහ පර්යේෂකයන් මේවා පැකිළීමකින් තොරව ගැඹුරු මුහුදේ කිමිදීමට තවදුරටත් භාවිත කරන අතර ම එමගින් අන් සෑම කෙනෙකුට ම ආරක්ෂාව පිළිබඳව යම් විශ්වාසයක් ඇති කරනවා විය යුතු යි.

වික්ටර් වෙස්කෝවෝ Limiting Factor නමැති සබ්මර්සිබලයේ නැගී ලොව සියලු ම සාගරවල ගැඹුරු ම ස්ථාන වෙත ගොස් ඇත (Credit: Reeve Jolliffe/Caladan Oceanic)

ඡායාරූප මූලාශ්‍රය, Reeve Jolliffe/Caladan Oceanic

ඡායාරූප ශීර්ෂ වැකිය, වික්ටර් වෙස්කෝවෝ Limiting Factor නමැති සබ්මර්සිබලයේ නැගී ලොව සියලු ම සාගරවල ගැඹුරු ම ස්ථාන වෙත ගොස් ඇත

ටයිටන් සබ්මර්සිබලයේ මුළුමනින් ම පාහේ තිබුණු, සම්මතයට එරෙහි ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. එය සබ්මර්සිබල සැලසුම්, මෙහෙයුම් සහ ආරක්ෂාව පිළිබඳ ඉතිහාසයෙන් අපගමනය වීමකි. ගැඹුරු සාගරය වෙත ගමන් කරන අනෙක් සෑම සබ්මර්සිබලයක් ම ලෝහ හෝ ඇක්‍රිලික්වලින් සාදන ලද ගෝලාකාර හැඩයක් ගත්ත ද, ටයිටන් ප්‍රධාන වශයෙන් සදා තිබුණේ, කාබන් තන්තුවලින්, සිලින්ඩරාකාර හැඩයකට ය. ටයිටන් හිමි සමාගම වන ඕෂන්ගේට්හි (OceanGate) හිටපු සේවකයින්ට අනුව, එහි ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුව තිබුණේ, 2018 තරම් ඈත කාලයකදී ය. මා දන්නා සෑම ගැඹුරු සාගර ඉන්ජිනේරු විශේෂඥයෙකු ම පාහේ, ටයිටන් සබ්මර්සිබලය ගැඹුරු මුහුදට නොයවන ලෙසට ඕෂන්ගේට් සමාගමෙන් අයැද සිටි අතර එය අභ්‍යන්තර හැකිළීමකට ලක්ව පුපුරා ගොස් මිනිසුන් මරණයට පත් වීම කාලය පිළිබඳ ගැටලුවක් පමණක් බව ද සන්නිවේදනය කළහ.

නමුත් එම අනතුරු ඇඟවීම් නොසලකා හැරිණි.

මට මේ දේ නැවත කියන්න අවසර දෙන්න : ගැඹුරු සාගරයේ ගමන් කළ හැකි සබ්මර්සිබල තැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ඉතාමත් ස්ථාවර, ආරක්‍ෂිත ක්‍රම ඇති බව මිනිසුන් තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. වසර 50ක් පුරා, මෙම මූලධර්ම මත පදනම්ව සිවිල් අරමුණු වෙනුවෙන් සෑදූ සබ්මර්සිබලවල ගමන් කිරීමෙන් සිදුවූ මරණයක් හෝ බරපතළ තුවාලයක් පිළිබඳ වාර්තා වී නොමැත. නිසි ලෙස සහතික කරන ලද සබ්මර්සිබල (හෝ කර්මාන්තයේදී පවසන පරිදි ‘වර්ග කළ’) ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) අනුමැතිය ලත් ගුවන් යානාවලට සමාන ය. මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා මෙන් ම මා සතු නවීන සබ්මර්සිබලයේ නිෂ්පාදකයා වන Triton Submarines of Florida සමාගම යනු, එවැනි නියමාකාරයෙන් සහතික කරන ලද සබ්මර්සිබල් පමණක් නිදපවීමේ පුරෝගාමියා ය.

ටයිටන් ගමන් කළ මට්ටමට වඩා ගැඹුරට, අනතුරකින් තොරව විශාල වාර ගණනක් කිමිදී තිබේ. ටයිටන් ගමන් කළ ගැඹුරට වඩා, දෙකහමාර ගුණයක් ගැඹුරට එනම්, මීටර 10,000 (අඩි 33,000) ඉක්මවූ ගැඹුරකට මා 19 වතාවක් සබ්මර්සිබලයක් පදවා ගෙන ගොස් තිබේ. එය විස්මිත ගමනක් සඳහා වෙනත් පුද්ගලයින් ද රැගෙන යන අතරතුර ආරක්ෂිතව සහ නැවත නැවතත් සිදු කළ හැකි ය.

‘ඕෂන්ගේට් සිය දෝෂ සහිත සැලසුම පිළිබඳ අනතුරු ඇඟවීම් නොසලකා හරින ලද ආකාරයට ම, ටයිටැනික් නෞකාව ද එහි ගමන් මාර්ගයේ විශාල අයිස් කුට්ටියක් ඇති බවට ලද අනතුරු ඇඟවීම්වලට ප්‍රමාණවත් පරිදි සවන් නොදුන්නේ ය’

අවාසනාවන්ත ලෙස, ඕෂන්ගේට්හි නිර්මාතෘ සහ ප්‍රධාන උප නියමු, ස්ටොක්ටන් රෂ් නවෝත්පාදනයට බාධාවක් සහ වාණිජමය සාර්ථකත්වය පිළිබඳව වූ තම අභිලාෂය හේතුවෙන් ආරක්‍ෂාව පිළිබඳ ගැටලු බැහැර කළේ ය. ඔහු කාබන් ෆයිබර් භාවිත කළේ, එමගින් සබ්මර්සිබලය නිපදවීමේ සහ එය ක්‍රියාත්මක කිරීමේ ඉහළ පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් මගීන් ගණනක් රැගෙන යාමට හැකි විශාල යාත්‍රාවක් තැනීමට හැකි බැවිනි. ආර්ථික ප්‍රතිලාභ සහ ඔහු විසින් සම්ප්‍රදායෙන් ඔබ්බට නොයන්නක් ලෙස සැලකු මෙම කර්මාන්තයට හෑල්ලුවට ලක් කරමින් නව තාක්ෂණය ගැන පුරසාරම් දෙඩීමේ නාමයෙන් ගත් තීරණ, මරණීය බව තහවුරු විණි.

ඓතිහාසික සමානකම් බොහෝ ය. ඕෂන්ගේට් සිය දෝෂ සහිත සැලසුම පිළිබඳ අනතුරු ඇඟවීම් නොසලකා හරින ලද ආකාරයට ම, ටයිටැනික් නෞකාව ද එහි ගමන් මාර්ගයේ විශාල අයිස් කුට්ටියක් ඇති බවට ලද අනතුරු ඇඟවීම්වලට ප්‍රමාණවත් පරිදි සවන් නොදුන්නේ ය. ටයිටැනික් නෞකාවේ වූ ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණවත් නොවුණේ, ඒවා වැඩි ගණනක් තිබුණේ නම්, ඒවායෙන් නැව් තට්ටුව පිරී ගොස් මගීන්ගේ දර්ශනය අවහිර වීමට ඉඩ තිබුණු බැවිනි. ටයිටන් කාබන් ෆයිබර් භාවිත කළේ, ඊට වැඩි පිරිසක් නංවා ගැනීමට හැකි වීම නිසා ය. සැබවින් ම අධිවිශ්වාසය පිළිබඳ කතාවක් ද එහි විය. ටයිටැනික් "ගිලෙන්නට නොහැකි තරම් විශාල" වූ අතර ටයිටන් "පෙරළිකාරයෙකු" විය. ඒවායේ අයිතිකරුවන් විසින් ඒවා මුළුමනින් ම ආරක්ෂිත යැයි සලකන ලද නමුත් ඒවා කොහෙත් ම එසේ නොවී ය.

ටයිටන් විනාශ වීම ගැඹුරු සාගර ගවේෂණයට බලපෑ හැකි දෙවන ආකාරයක් ද තිබේ. භය උපදවන ආකාරයකින් සිදු වූ මෙම අනතුරේ ඊට වසර සියයකට පෙර ටයිටැනික් නෞකාවේ ඛේදවාචකයට දායක වූ බොහෝ සාධක දක්නට ලැබිණි. කෙසේ වෙතත්, මෙම ව්‍යසනය අනාගත ලෝකයේ ආරක්ෂක රෙගුලාසිවලට ඒ සමාන ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ය. නොඑසේ නම්, කළ යුතු ය.

වික්ටර් වෙස්කෝවෝ පවසන්නේ, ටයිටන් ඛේදනීය ලෙස විනාශ වීම අනාගත ගැඹුරු සාගර ගවේෂණය වඩා ත් ආරක්ෂිත කිරීමට උපකාරී වනු ඇති බව ය (Credit: Robert Ormerod)

ඡායාරූප මූලාශ්‍රය, Robert Ormerod

ඡායාරූප ශීර්ෂ වැකිය, වික්ටර් වෙස්කෝවෝ පවසන්නේ, ටයිටන් ඛේදනීය ලෙස විනාශ වීම අනාගත ගැඹුරු සාගර ගවේෂණය වඩා ත් ආරක්ෂිත කිරීමට උපකාරී වනු ඇති බව ය

ටයිටැනික් නෞකාවේ ඛේදවාචකයෙන් පසු, මුහුදේදී ජීවිතවල ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි (Solas) රෙගුලාසි නිර්මාණය කරන ලද අතර ඒවා අද දක්වා ම පවතී. මෙම දැඩි රෙගුලාසි හරහා මුහුදේ වාණිජ යාත්‍රා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ, ක්‍රියා පටිපාටි සහ පුහුණුව පාලනය කෙරේ. එමනිසා, ටයිටැනික් අහිමි වීම, එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට අවශ්‍ය නව ආරක්ෂක පියවරයන් ගැනීම මගින් සැලකිය යුතු ලෙස තවත් ජීවිත ගණනක් බේරා ගැනීමට මග පෑදී ය.

'අප ලෝකයේ ඇති අසාමාන්‍ය අරුම පුදුම දෑ ගවේෂණය කිරීමට සහ ඒවා හැකිතාක් මිනිසුන්ට හෙළිදරව් කිරීමට මානව වර්ගයා කිසි විටෙකත් පසුබැසිය යුතු නැත'

එබැවින්, ටයිටන් ව්‍යසනයෙන් බලාපොරොත්තු වන්නේ ද එවැන්නකි. එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සහ කැනඩාවේ ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය අනතුර සම්බන්ධයෙන් සිදු කළ නිල විමර්ශන දෙකක ප්‍රතිඵල ගෙන එනතුරු අප තවමත් බලා සිටින අතරතුර, සබ්මර්සිබල් කර්මාන්තයේ ආරක්ෂක පියවර දැඩි කිරීම සඳහා වන ඉල්ලීම් ද තිබේ. "වර්ග කර නොමැති" සබ්මර්සිබල් (එනම්, ප්‍රතීතනය ලත් තෙවන පාර්ශවයන් විසින් සහතික නොකරන ලද) සඳහා වාණිජ මගීන් ප්‍රවාහනය කිරීමට කිසිවිටෙක ත් ඉඩ නොදිය යුතු ය. ගුවන් යානා කර්මාන්තයේදී මෙන්, අපට තාක්‍ෂණය, ආරක්‍ෂාව සහ හැකියාව සම්බන්ධයෙන් ඇති සීමාවන් අභිබවා යා හැකි බැවින් පර්යේෂණාත්මක යාත්‍රා ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය හැකි සේ ම, ඒවාට ඉඩ දිය යුතු ය. නමුත් තමන් ගන්නා අවදානම පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයින්ට පර්යේෂණාත්මක යාත්‍රාවල ගමන් කිරීමට ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට නොහැකි විය යුතු ය.

තමන් ගන්නා අවදානම පිළිබඳ අවබෝධයක් ඇති බවට අත්සන් කිරීම, ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක වීමෙන් නීතියෙන් ලිස්සා යාම, වාණිජ මගීන් කාර්ය මණ්ඩල සාමාජිකයින් නොවන බව පැහැදිලිව පෙනීමේදී පවා ඔවුන් ‘කාර්ය මණ්ඩල සාමාජිකයින්’ ලෙස නම් කිරීමට නීති උපක්‍රම භාවිත කිරීම ආදිය එවැනි අවදානමක් ගන්නා සමාගම් හෝ මෙහෙයවන්නන් තහනම් කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන පළිහක් නොවිය යුතු අතර ම ඕනෑ ම වරායකට ඔවුන් නැවත පැමිණි පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

තවත් ප්‍රධාන කරුණක් නම්, ලෝකයේ වෙනත් බොහෝ අංශ මෙන් ම සංචාරක ව්‍යාපාරය සඳහා වැය කරන මුදල් ය. ඔව්, නැවක සුන්බුන් නැරඹීම සඳහා සිදු කරන ගැඹුරු සාගර සංචාරක ව්‍යාපාරය පවා, සාගර ගවේෂණය වඩා ත් දැරිය හැකි, නැවත නැවතත් සිදු කළ හැකි සහ ආරක්ෂිත කර්මාන්තයක් කිරීමට අවශ්‍ය තාක්‍ෂණය සහ ක්‍රියා පටිපාටි සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම ය. සමුද්‍ර තාක්‍ෂණය දියුණු කිරීමට සපයා ඇති අරමුදල් ප්‍රමාණවත් නොවේ. එබැවින් අපට කාලයත් සමග එය වඩා ත් ප්‍රවේශ විය හැකි කර්මාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය නම් සාගර සංචාරක ව්‍යාපාරයට සහය වීම අවශ්‍ය වේ. නමුත් එය ආරක්ෂිත විය යුතු අතර නොවෙනස් ආරක්ෂක ප්‍රොටෝකෝල අනුගමනය කළ යුතු ය.

ගැඹුරු සාගරය ඇතුළුව අප ලෝකයේ ඇති අසාමාන්‍ය අරුම පුදුම දෑ ගවේෂණය කිරීමට සහ ඒවා හැකිතාක් මිනිසුන්ට හෙළිදරව් කිරීමට මානව වර්ගයා කිසි විටෙකත් පසුබැසිය යුතු නැත. අප එසේ කළ යුත්තේ, ඒවා ගැන වඩා ත් හොඳින් අවබෝධ කර ගැනීම, අගය කිරීම සහ සංරක්ෂණය කිරීම මෙන් ම මානව ස්වභාවයේ දක්නට ඇති වඩා ත් ම නිශ්චිත හා අද්විතීය ලක්ෂණය වන ගවේෂණය කිරීමේ අවශ්‍යතාව පෝෂණය කිරීම සඳහා ය.

ටයිටන් ඛේදවාචකය සහ අප දෙදෙනාගේ ම මිතුරෙකු වන පීඑච් නාජලෙට්ගේ වියෝව ගැන මෑතකදී අදහස් දක්වමින් ජේම්ස් කැමරන්, මීට පෙර සඳහන් කළ සම්මුඛ සාකච්ඡාවේදී ම, ඒ පිළිබඳව, මා විශ්වාස කරන පරිදි පැවසිය හැකි හොඳ ම දේ, පැවසීය:

'ගවේෂණය කියන දේ ඉදිරියටත් සිද්ධ වේවි. මොක ද එය කළ යුතු දෙයක් වගේ ම එය මිනිස් ආත්මයේ කොටසක් වන නිසා... එය නිවැරදිව කළහොත් එය ආරක්ෂිතව කළ හැකි යි.'

වික්ටර් එල් වෙස්කෝවෝ යනු ගැඹුරු සාගර ගවේෂකයෙකු, සහතික ලත් සබ්මර්සිබල් නියමුවෙකු, එක්සත් ජනපද නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකු සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රාග්ධනය සපයන පුද්ගලයෙකි. ඔහු ටයිටැනික් නෞකාව වෙත තුන් වතාවක් ගොස් ඇති අතර, ලොව ඇති සාගර පහේ ම ගැඹුරු ම ස්ථානයට ගිය පළමු පුද්ගලයා වූ අතර, ඔහු සාගරයේ ගැඹුරු ම ස්ථානය වන 'චැලෙන්ජර් ඩීප්' වෙත 15 වතාවක් සංචාරය කර ඇත.