ටයිටන් සබ්මැරීනය හා ග්‍රීක සරණාගත බෝට්ටුව: ජීවිතයක වටිනාකම කුමක් ද?

Artwork showing the passengers of the Titan sub

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ටයිටන් වෙනුවෙන් යාඥා කරන්නැ"යි කියැවෙන කලාකෘතියක්. අතුරුදහන්වූ ටයිටැනික් සබ්මර්සිබල් යාත්‍රාවේ ගමන්කළ මඟීන් පස්දෙනා මින් රූපනයකර තිබේ

සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට යමින් සිටිය දී මඟීන් පස්දෙනෙකු සමග අතුරුදන්වූ සංචාරක සබ්මැරීනය ගලවාගැනීමේ මෙහෙයුම දෙස ලොව පුරා බිලියන ගණනක් ජනයා ඉතා උනන්දුවෙන් බලා සිටියහ.

ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාවේ ගමන් කිරීම සඳහා ඩොලර් 250,000 බැගින් ගෙවූ මඟීන්ගේ ඡායාරූප ලොව වටාම ෂෙයා කෙරිණි.

ජනයා එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවය විසින් නිකුත් කෙරෙන සෑම යාවත්කාලීනයකටම ආකර්ෂණයවූ අතර, පුවත සජීවීව විකාශය කෙරුණු ප්‍රවෘත්ති පිටුවලට විශාල කියවන්නෝ පිරිසක් ඇදී ආහ. ඕෂන්ගේට් විසින් මෙහෙයවනු ලැබූ කුඩා යාත්‍රාවේ අභ්‍යන්තරය පෙන්වන පැරණි සම්මුඛ සාකච්ඡාවන්ගෙන් ජාත්‍යන්තර මාධ්‍යයන් පිරී ගියේ ය.

නමුත්, "මුහුදේ දී අතුරුදන්වූ" අනෙකුත් කතාවන්ට වඩා මේ සිදුවීම කාගේත් කුතුහලය ඇවිළුවේ මන්ද?

ඉස්ලාමාබාදයේ සිටින බීබීසී උර්දු සේවයේ වාර්තාකාර සහේර් බලුක්, මේ මාතෘකාව සම්බන්ධයෙන් පාකිස්ථාන සමාජ මාධ්‍යයන්හි සිදුවන සංවාද නිරීක්ෂණය කරමින් පසුවිය.

Thin line

අතුරුදන්වූ සබ්මර්සිබල් යාත්‍රාව පිළිබඳ තොරතුරු මතුවෙද්දී, මේ සිදුවීමට සාපේක්ෂව සාගරයට සම්බන්ධ වෙනත් සිදුවීමක් වෙත ලබාදෙන සැලකුම්හි වෙනසක් නිරීක්ෂණය නොකර සිටීමට පාකිස්ථාන සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින් අපොහොසත්විය.

කෙටියෙන් කිවහොත්, යුරෝපයේ දරුණුතම සංක්‍රමණික ව්‍යසනයන්ගෙන් එකක්බවට පත්වෙමින්, ජූනි 14 දා පුද්ගලයින් 700ක් රැගත් ධීවර යාත්‍රාවක් දකුණුදිග ග්‍රීසියට ආසන්න මුහුදේ ගිලීගියේ ය.

බෝට්ටුව තුළ ළමුන් 100ක්වත් සිටින්නට ඇතැ යි අනතුරින් දිවි ගලවාගත්තවුන් පවසන අතර, අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගියබව තහවුරුවී තිබේ.

නමුත් තවත් සියගණනක් දෙනා සාගරය මැද අතුරුදන්ව සිටිති.

බෝට්ටුව ඉතාලිය කරා ගමන් කරමින් සිටිබවත්, මුදාගැනීමේ අවශ්‍යතාවක් නොවූබවත් ග්‍රීක වෙරළාරක්ෂක සේවය පවසතත්, සිදුවීම පිළිබඳව ඔවුන්ගේ අනුවාදය ගැන සැක පහළ කරවන සාක්ෂි බීබීසීය විසින් සොයාගෙන තිබේ.

මඟීන්ගෙන් පිරී ඉතිරී ගිය ධීවර යාත්‍රාව ගිලීයෑමට පෙර අවම වශයෙන් පැය හතක කාලයක්වත් එක තැන රැඳී තිබූබවට එම ප්‍රදේශය හරහා යාත්‍රා කළ අනෙකුත් නෞකාවන්හි ගමනා ගමනය විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි. බීබීසීයේ සොයාගැනීම් සම්බන්ධයෙන් ග්‍රීක බලධාරීන් තවමත් කිසිවක් ප්‍රකාශකර නැත.

Image of boat which sank off Greece

ඡායාරූප මූලාශ්‍රය, Hellenic Coast Guard

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රීක වෙරළාරක්ෂක බලකාය ජනයාගෙන් පිරි බෝට්ටුව ගිලීමට ප්‍රථම ඡායාරූප නිකුත් කළේ ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පාකිස්ථාන සෙනෙට් සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම අනතුර හේතුවෙන් පාකිස්ථාන ජාතිකයින් 300 දෙනෙකු මියගොස් ඇතැ යි ප්‍රකාශ කිරීම නිසා, මෙය පාකිස්ථානය තුළ සාකච්ඡාවට මාතෘකාවක්ව තිබේ.

අනෙක් අතින්, මඟීන් පස්දෙනා ද රැගත් ටයිටන් යාත්‍රාව දියත් කිරීමෙන් පැයකුත් මිනිත්තු 45කට පසු එය හා සහායක නෞකාව අතර තිබූ සබඳතාව බිඳවැටුණි. වෙරළාරක්ෂක බලකායට මේ ගැන දැනුම් දී තිබුණේ ඉන් පැය අටකට පසුවබව එය පවසන අතර, අනතුරුව එක්සත් ජනපද බලධාරීන් පමණක් නොව කැනේඩියානු හා ප්‍රංශ සහයෝගය ද ඇතිව මහා පරිමාණයේ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කෙරිණි.

ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාව සාමාන්‍යයෙන් දින හතරකට සෑහෙන හදිසි ඔක්සිජන් සැපයුමක් සමග කිමිදෙනබව විශ්වාස කෙරිණි. මුදාගැනීමේ මෙහෙයුම සිදුකෙරුණේ එම කාලය ගෙවී යමින් තිබියදී ය.

අතුරුදන්වූ සබ්මර්සිබල් යාත්‍රාව සෙවීමට දරන ප්‍රයත්නයන් ඉහළයත්ම, මේ සිද්ධීන් දෙකම අළලා ඉදිරිපත්වූ විස්තර ප්‍රකාශයන් හා මතවාදයන්ගෙන් සමාජ මාධ්‍ය පිරී ගියේ ය. මතවාදයන් බොහොමයක් කේන්ද්‍රවී තිබුණේ සිදුවීම් ද්විත්වය වෙත දක්වන ලද වෙනස් සැලකීම කෙරෙහි ය.

පාකිස්ථානයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා ෆාරා සියා පවසන පරිදි, සබ්මර්සිබලය සම්බන්ධ සිදුවීම සිරස්තල නිර්මාණය කිරීම ස්වභාවික ය.

"ලෝකෙ පුරාම, ධනවත් මිනිස්සුන්ට ඛේදවාචකයක් සිද්ධවුණාම ඒකට විශාල වැදගත්කමක් ලැබෙනවා, මොකද මිනිස්සු ඒ අයගෙ ජීවිත ගැන උනන්දුවෙනවා. ඉතින් මාධ්‍ය කොහොමත් ඒ පුවත් ආවරණය කරනවා," ඇය බීබීසීයට පැවසුවා ය.

නමුත් මෙම විවාදය විසින්, "සියල්ල සලකා බලා, වෙනස් හඬවල් සොයාගැනීම" සඳහා ගෝලීය මාධ්‍යයන්ට කාලෝචිත අවස්ථාවක් සපයනු ඇතැ යි ඇයට හැඟෙයි.

අනෙකුත් විචාරකයෝ මෙම සිදුවීම් ද්විත්වය වෙත දක්වන ලද ප්‍රතිචාරය සම්බන්ධයෙන් වඩාත් විවේචනාත්මක වූහ.

ට්විටර් පරිශීලක මරියම් මෙසේ ලිව්වා ය: "සබ්මැරීන ගවේෂණයක යෙදුනු ධනවත් සංචාරකයින් වෙත ලැබුණු ජාත්‍යන්තර ගලවාගැනීමේ මෙහෙයුම් සහ මාධ්‍ය ආවරණයත් පෙරළුණු බෝට්ටුවක හිටි දුප්පත් සංක්‍රමණිකයින්ට නොලැබුණු දේවලුත් අතර තියෙන වෙනසින්, අපි ජීවත්වෙන ලෝකය ගැන හැම දෙයක්ම අපට කියනවා."

නමුත් විචාරක සහ මාධ්‍යවේදී සාරාර් ඛුරෝ සිතන්නේ ඊට වෙනස් යමකි.

"මං හිතන්නෙ, ඕනෑම ව්‍යසනයකට පස්සෙ අපට එක වෙලාවේම දැකගන්න ලැබෙනවා මනුෂ්‍යත්වයේ හොඳම පැත්තත්, නරකම පැත්තත්," ඔහු කතාව අරඹයි.

ග්‍රීක වෙරළට ආසන්නයේ දී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ගිලීයෑම සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය: "ඒ අවස්ථාවෙ දී අපි දකිනවා ග්‍රීක වෙරළාරක්ෂක සේවයේ ගර්හා කළයුතු අන්දමේ හැසිරීම. නමුත්, ඒ වෙලාවෙම අපට පේනවා මිනිස්සු දස දහස් ගාණක් [ග්‍රීසියේ] ඇතන්ස්වල වීථිවල විරෝධතා දක්වනවත්. සමහර විට, සංක්‍රමණිකයින්ගේ ජීවිත අහිමිවීම ගැන විතරක් මෙච්චර විශාල විරෝධතාවක් පවත්වනවා අපි පළමු වරට දැක්කෙ මෙතන දී වෙන්න පුළුවන්."

එසේම, මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් සිටි "සුපිරි යොට් යාත්‍රාවක්" (අති සුඛෝපභෝගී සංචාරක හෝ පුද්ගලික නෞකාවක්) අදාළ බෝට්ටුවේ ආපදා සංඥා ඇසී ඊට උපකාර කිරීමට පැමිණිබවට ද වාර්තාවක් පළවී තිබුණි.

සමාජ මාධ්‍ය

සාරාර් මෙසේ පවසයි: "කෙනෙක්ට තමන්ගේ නරකම ස්වරූපයෙන් පෙනී ඉන්න සමාජ මාධ්‍ය ඉඩ හදල දෙනවා. නරක ප්‍රතිවිපාක නැතුව ඕනෑම දෙයක් කියලා දාන්න පුළුවන් කියලා ඒගොල්ලො හිතනවා."

Suleman Dawood, 19, and father Shahzada Dawood

ඡායාරූප මූලාශ්‍රය, Dawood family

ඡායාරූප ශීර්ෂ වැකිය, දහනව හැවිරිදි සුලේමාන් ඩවූඩ් සහ ඔහුගේ පියා වූ 48 හැවිරිදි ෂෙහෙසාදා ඩවූඩ් අතුරුදන්වූ ටයිටන් යාත්‍රාවේ ගමන් කළෝ ය
Thin line

ටයිටන් යාත්‍රාව ගැන දැනට අප දන්නා දේ:

  • ඕෂන්ගේට් විසින් මෙහෙයවනු ලබන 'ටයිටන්' නම් පස්පුද්ගල සබ්මැරීනය "වාණිජ්‍ය සහ පර්යේෂණ" අරමුණු සඳහා ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත ගවේෂණ චාරිකා අවස්ථා ලබාදෙයි
  • අත්ලාන්තික් සාගරයේ මුහුදු පතුලේ ටයිටැනික් සුන්බුන් ඇති ස්ථානයට යෑම සඳහා ප්‍රවේශපත්‍ර මිල ඩොලර් 250,000කි
  • වින්දිතයින් අතර ඕෂන්ගේට්හි ප්‍රධාන විධායක නිලධාරියා, බ්‍රිතාන්‍යයේ වෙසෙන පාකිස්ථාන ජාතික ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ 19-හැවිරිදි පුත්‍රයා, "මිස්ටර් ටයිටැනික්" ලෙස හඳුන්වන ප්‍රංශ ගවේෂකයෙකු සහ බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු ද සිටියි
  • ඔවුන්ගේ පවුල් මේ මරණ සම්බන්ධයෙන් "දැඩි ශෝකය" ප්‍රකාශකර ඇති අතර, ඔවුන්ගේ ගවේෂණ ප්‍රයත්නයන්ට උපහාර පුදකර තිබේ
  • ටයිටන් සබ්මැරීනය ගොඩබිම සමග සම්බන්ධතා නැතිවී ස්වල්ප වේලාවකින් පසු "පිපිරීමකට අනුරූප වන ධ්වනි විෂමතාවක්" එක්සත් ජනපද නාවික හමුදාව නිරීක්ෂණයකර ඇතැ යි දැන් හෙළිව තිබේ
  • බ්‍රහස්පතින්දා (ජූනි 22) රොබෝ කිමිදුම් යානාවක් මඟින් ටයිටැනික් නැවේ සුන්බුන් සහිත ස්ථානයේ සිට මීටර් 480 පමණ දුර මුහුදු පතුලේ තිබී සබ්මර්සිබල් යාත්‍රාවේ ප්‍රධාන කොටස් සොයාගනු ලැබුණි
  • ටයිටැනික් සුන්බුන් වෙත කිමිදුම් 33ක් සිදුකර ඇති, 1997 වසරේ එළිදැක්වුණු ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් පැවසුවේ සබ්මර්සිබල් යාත්‍රාව අතුරුදහන්වූ පසු තමා ව්‍යසනයක් සිදුවේයැ යි සැකකළබව යි
  • ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාවේ ආරක්ෂාව සහ පුද්ගලික අංශයේ ගැඹුරු මුහුදු ගවේෂණයන් නියාමනය කෙරෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විශේෂඥයින් ගැටලු මතුකර තිබේ
Thin line

මෙහි "පැහැදිලි පන්තිභේදයක්" ඇති අයුරු සමාජ මාධ්‍යයන්හි කතාබහ කෙරෙන නමුත්, එම සංවාද නැවතත් මනුෂ්‍ය ජීවිත පිළිබඳ සංවාදයන්ට හැරෙයි.

එක් විචාරකයෙකු ට්විටර්හි ලියූ පරිදි: "ඛේදවාචකයන් බොහෝ සමාන වුණත් ඉතා පැහැදිලි අසමතාවක්."

සාරාර් මෙසේ පවසයි: "සෝෂල් මීඩියාවල මිනිස්සු සබ්මර්සිබල් එකේ ඉන්න අවුරුදු 19ක ළමයෙක්ට වේදනාකාරී මරණයක් පතනවා. ඇයි? මොකද එයාගෙ තාත්තා ලොකු පොහොසතෙක් නිසා ද? ඒ හැමෝම කට්ටිය එකට එකතුවුණත්, ඩවූඩ් පවුල පරම්පරා ගාණක් තිස්සේ උදව් කරපු මිනිස්සුන්ගෙන් 1%කටවත් උදව් කරන්න එයාලට බැරිවෙලා තියෙනවා."

මෙය පරිපූර්ණ ලෝකයක් නොවේයැ යි ඔහු අවසානයේ දී පවසයි: "උදාහරණයක් විදියට, නෝත්‍ර දාම් එක ගිනිගත්තම, පැරීසියෙ, ඒක ප්‍රතිසංස්කරණ කටයුතුවලට ලෝකෙ වටෙන්ම මිනිස්සුන්ගෙන් මුදල් එකතුවුණා. නමුත් සංවර්ධනවෙමින් පවතින රටවල ස්වාභාවික ආපදාවක් වුණාමත් එහෙම්මම වෙනවා ද? නැහැනෙ. අපි ඒ ගැන දුක්වෙන්න ඕනෙ ද? ඔව්. නමුත් ඒකෙන් මේ දේවල් වෙනස්වේවි ද? නෑ."