ග්‍රීසියේ බෝට්ටු අනතුර:'මිනිස්සු බලන් ඉන්නේ මොකක් හරි සුබ ආරංචියක් එන තුරු'

ඡායාරූප මූලාශ්‍රය, Shaheen Sheikh Ali
- Author, ලීනා ෂේකුනී ෆනෑන්ඩෝ ඩුවාටේ සහ කවූන් කාමූෂ්
- Role, බීබීසී ලෝක සේවය
පවුලේ වට්ස්ඇප් සමූහයක බියජනක පණිවිඩ හුවමාරු වන බව දුටු ෂහීන් ෂෙයික් අලීට යම් ඇබැද්දියක් සිදු වී ඇති බව අවබෝධ විය.
වයස අවුරුදු 30ට අඩු ඥාතීන් වන පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ග්‍රීක වෙරළට කිලෝමීටර් 80ක් ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ ගිලී ගිය ධීවර යාත්‍රාවේ සිටි බවට සැක කෙරේ.
"මිනිස්සු බලන් ඉන්නේ මොකක් හරි සුබ ආරංචියක් එන තුරු," ඔහු බීබීසීය වෙත පැවසීය. නමුත් ඔවුන් සියල්ලෝ ම තමන්ට නරක ආරංචියක් ඇසීමට සිදු වනු ඇතැයි බියට පත්ව සිටිති.
31 හැවිරිදි ඔහු දැන් ජර්මනියේ ජීවත් වන නමුත් ඔහු සිරියානු ජාතිකයෙකු වන අතර කුර්දි වැසියන් බහුතරයක් වෙසෙන නගරයක් වන කොබේන් වැසියෙකි. බෝට්ටුවේ සිටි බවට සැලකෙන 12 දෙනෙකු පිළිබඳව ඔහු දනී.
පුද්ගලයින් 80කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවූ සහ අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වූ එම අනතුර මෑත වසරවල සංක්‍රමණිකයින්ට අත්විඳින්නට සිදුවූ දරුණුතම ඛේදවාචක අතරින් එකකි. දරුවන් 100 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 750 දෙනෙකු පමණ බෝට්ටුව තුළ සිටින්නට ඇති බවට සැක කෙරේ.
"එයාලගෙන් අපිට දවස් ගාණක් තිස්සේ පණිවිඩයක් නෑ. ඒගොල්ලෝ බෝට්ටුවේ හිටියා ද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ," යැයි අලී පැවසුවේ, ඔවුන් සිරියාවේ සිටින ඥාතීන් සමග කතාබහ කර තිබුණේ මීට සතියකට පමණ පෙර බව සඳහන් කරමිනි.
ජූනි 14 වන දා සිට ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඔවුන් මිය ගිය බවට සහ ජීවතුන් අතර සිටින බවට එකිනෙකට පරස්පර ප්‍රවෘත්ති ලැබී තිබේ.
"මේ වගේ සිද්ධිවලදී කෙනෙක් මැරිලා ද ජීවතුන් අතර ද කියලා හරියට ම දැනගන්න බෑ. එක වචනයකින් මුළු පවුලේ ම හිත්වල තියෙන හයිය නැතිවෙලා යන්න පුළුවන්," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Shaheen Sheikh Ali
බ්‍රිතාන්‍ය පකිස්තාන මාධ්‍යවේදී රාජා ෆර්යාඩ් ඛාන්ට එය සුබ ආරංචියකි. ඒ, ඔහුගේ 22 හැවිරිදි බෑණනුවන් වන අද්නාන් බෂීර් දිවි ගලවා ගත් කිහිප දෙනා අතර සිටින බැවිනි.
එහෙත් පකිස්තානය විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ පිහිටි ඔහුගේ ගම්මානයේ වැසියන් 16 දෙනෙකු පමණ බෝට්ටුවේ සිටිය හැකි බවට සැක කෙරෙන බැවින් ඔහු ලද සහනය ශෝකයෙන් වැසී ගියේ ය.
ඛාන් තම බෑණනුවන් හමුවීමට එක්සත් රාජධානියේ සිට ග්‍රීක වරාය නගරයක් වන කලමාටා වෙත ගිය නමුත් ආරක්ෂක නිලධාරියා ඔහුව දැකබලා ගැනීමට ඉඩ ලබා දුන්නේ සුළු මොහොතකට පමණි.
"බෝට්ටුව හෙළවිලා, පස්සේ ඒක එක පැත්තකට බර වෙලා, බෝට්ටුව මුහුදේ ගිලුණා කියලා (මගේ බෑණා) කිව්වා," ඛාන් පැවසීය.

ලිබියාවේ සම්බන්ධය
ආපසු ජර්මනියට පැමිණි මෙම සිරියානු තරුණයා තම ඥාතීන් ගිය ගමන විස්තර කරන විට දැඩි අවිනිශ්චිතතාවකින් පසුවන බව පෙනේ.
ඔවුන් ලිබියාවට ගුවන් මගින් ගමන් ගැනීමට පෙර සිරියාවේ සිට ලෙබනනයට නීති විරෝධී ලෙස සංක්‍රමණය වී තිබිණි. මධ්‍යධරණී මුහුද තරණය කර ඉතාලියට පැමිණීමේ අවස්ථාවක් බලාපොරොත්තුවෙන් ඔවුන් එහි දින 40ක් රැඳී සිට ඇත.
අලීට අනුව, මෙම කණ්ඩායම අවම වශයෙන් ඩොලර් 5,000 බැගින් ජාවාරම්කරුවන්ට ගෙවා ඇති නමුත් එය ඔවුන් එම ගමන අතරතුර ලද කටුක සැලකිල්ලෙන් ගැලවීමට හේතුවී නොමැත.
"ජාවාරම්කරුවෝ ඒ අයව ගුවන් තොටුපළෙන් අරගෙන ගිහින් එයාලට පුළුවන් එක එක තැන්වල දාලා," ඔහු පැවසීය.
ඔහු පවසන්නේ, තම ඥාතීන් ගෘහ භාණ්ඩ පවා නොමැති "කොන්ක්‍රීට් තට්ටුවක් මත" රඳවා තිබුණු අතර ඔවුන්ට බිම එලන ලද ඇඳ ඇතිරිලි මත නිදා ගැනීමට සිදු වූ බව ය.
ඔහු අවසන් වරට එම කණ්ඩායමෙන් කෙනෙකු සමග කතාබහ කර තිබුණේ ජූනි මස මුලදී ය. ඒ, ඔවුන් දේශ සීමාව හරහා යාම ඉක්මනින් සිදු වනු ඇති බවට ඔහුගේ ඥාතියෙකු ඉඟි පළ කිරීමත් සමග ය.
"එයාලා මට කිව්වේ කාලගුණය උණුසුම් නිසා සහ මුහුද රළු නැති නිසා ඉක්මනට පිටත් වෙනවා," අලී සිහිපත් කළේ ය.
ඔහුගේ ඥාතීන් ඡායාරූප එවා තිබුණු අතර ඉන් ඔවුන් යම් අනතුරක් අභිමුව සිටින බව දිස්විණි. "මම එයාලගේ ඇස්වල පිරිලා තිබුණ දුක දැක්කා. හැබැයි ඒ තෙහෙට්ටුව නිසා වෙන්න පුළුවන්."
ඔහුගේ වේදනාව වඩා ත් තීව්‍ර වන්නේ, 2016 වසරේදී සිරියාවේ යුද ගැටුම්වලින් ගැලවී ඉන් පළා යාමට ඔහු විසින් ම තම ජීවිතය පරදුවට තබන ලද අයුරු සිහිවීමත් සමග ය.
නමුත් ඔහු ප්‍රකාශ කළේ, එවන විට වෙනත් රටකට සංක්‍රමණය වීමට මාර්ග වැඩි ගණනක් තිබුණු බැවින් මිනිසුන්ට යුරෝපයට පැමිණීම වඩා ත් පහසු වූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙටි බෝට්ටු ගමනක් ඔස්සේ ග්‍රීසිය වෙත ළඟා වීමට පෙර අලීට තුර්කි දේශ සීමාව හරහා යාමට සිදු විය.
"මම ග්‍රීසියට ගියේ ඩිංගි බෝට්ටුවකින්. හැබැයි කිලෝමීටර් 4ක වගේ දුරක් තමයි යන්නේ තිබුණේ," ඔහු පැවසීය. "අපි පිටත් වෙද්දි ග්‍රීක දූපත් කිහිපයකින් ආව ලයිට් එළි අපිට දකින්න පුළුවන් වුණා."
ලිබියාවේ සිට ඉතාලියට ඇති දුර අවම වශයෙන් කිලෝමීටර 725කි. අලී පෙන්වා දුන් තව ත් වෙනසක් වන්නේ, ඔහු ගමන් කළ ඩිංගි යාත්‍රාවේ සිටි මගීන් සියලු දෙනා ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීම ය.
පෙරළුණු ධීවර යාත්‍රාවේ සිටි කිසිවෙකුත් ඒවා පැළඳ නොසිටි බව ග්‍රීක වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත.
ධීවර බෝට්ටුවට නැගීමට පෙර ඔවුන් "සිතන්නට ඇත්තේ" කුමක්දැයි සිතින් මවා ගනිමින් අලීට තම ඥාතීන් සිටි තත්ත්වය පහසුවෙන් වටහා ගත හැකි ය.
"මොකක් වේවි ද කියලා ඔයා දන්නේ නෑ. සමහර ඇය මැරේවි, සමහර අය බෝට්ටුවෙන් වැටේවි කියලා ඔයා කම්පා වෙනවා ඇති," ඔහු පවසයි. "කොච්චර උත්සහ කළත් මේ ඛේදවාචකය ගැන මට දැනෙන විධිය විස්තර කරන්න බෑ."
ජාවාරම්කරුවන් "මිනිසුන්ට අමානුෂික ලෙස සලකන" බවට චෝදනා කරන 31 හැවිරිදි ඔහු තුළ ඔවුන් [ජාවාරම්කරුවන්] කටයුතු කළ ආකාරය පිළිබඳ ඇත්තේ, පිළිකුල්සහගත හැඟීමකි.
"ඉන්න මිනිස්සු ගාණවත් හරියට ගණන් කරන්නෙ නැතුව මේ ජාවාරම්කාරයෝ එයාලව බෝට්ටුවකට පටවන හැටි මට මවා ගන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධ වෙන දේවල් ගැන එයාලට ගාණක් නෑ."
එය අවබෝධය සහ සහයෝගිතාව පිළිබඳව කෙරෙන ආයාචනයකි.
"මිනිස්සුන්ට ආරක්‍ෂිත මාර්ග අවශ්‍යයි. යුරෝපීය රටවල්වත්, වෙන කවුරුවත්, කිසි ම කෙනෙක් සංක්‍රමණ නවතන්නේ නෑ," ඔහු පැවසීය.
"මගේ ඥාතීන් හීන දැක්කේ යුරෝපයට ඇවිල්ලා රස්සාවක් කරලා එයාලගේ පවුල්වලට හයියක් වෙන්න."











