ටයිටැනික් සබ්මැරීනය: ව්‍යසනකාරීව හැකිලී පුපුරායාම ගැන අප දන්නා දේ

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: හමුවී ඇති සුන්බුන් මොනවා ද? ඒවායින් අදහස් කෙරෙන්නේ කුමක් ද?

මඟීන් පස්දෙනෙකු ද සමග ඉරිදා සිට අතුරුදන්ව තිබූ සබ්මර්සිබල් යාත්‍රාව 'ව්‍යසනකාරී ලෙස අභ්‍යන්තරයට හැකිලී පිපිරෙන්නට' ඇතැ යි උතුරු අත්ලාන්තික් සාගරයෙන් හමුවූ සුන්බුන් රැසකින් හැඟවෙනබව එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවය ප්‍රකාශ කළේ ය.

සීමිත ඔක්සිජන් සංචිතයක් සහිතවූ මෙම යාත්‍රාව, ඉරිදා (ජූනි 18) ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා පිටත්වගොස් සුළු වේලාවකින් ගැඹුරු සාගරයේ දී අතුරුදන්විය.

එය සොයාගැනීම සඳහා, එක්සත් ජනපදය හා කැනේඩියානු සහ ප්‍රංශ නියෝජිතායතන විසින් දින පහක් පුරා දැවැන්ත සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත්විණි.

බ්‍රහස්පතින්දා (ජූනි 22) සන්ධ්‍යාවේ දී, ටයිටැනික් සුන්බුන් ප්‍රදේශයෙන් ටයිටන් යාත්‍රාවේ විශාල කැබලි පහක් හමුවූබවත්, ඒවා "පීඩන කුටීරය ව්‍යසනකාරී ලෙස විනාශවී යෑමකට ගැලපෙනබවත්" වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළේ ය.

විපතට පත්වූවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ වෙරළාරක්ෂක බලකාය, ඔවුන්ගේ මෘතශරීර කිසිදා හෝ සොයාගනු ඇත්දැ යි තහවුරු කිරීමට නොහැකිබව ද ප්‍රකාශ කළේ ය.

ගෙවෙන පැය 24 තුළ දී සෙවීමේ කටයුතු කෙමෙන් අවසන් කෙරෙනු ඇති නමුත්, දුරස්ථ පාලක යාත්‍රා (ROV) තව දුරටත් එම ප්‍රදේශයේ රඳවා තැබෙනු ඇත.

චාරිකා මෙහෙයවන සමාගම වන ඕෂන්ගේට් එහි මාධ්‍ය සාකච්ඡාවට පෙර මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින්, යාත්‍රාවේ සිටි මඟීන් පස්දෙනාම "කණගාටුදායක ලෙස අහිමිවී ඇතැ"යි විශ්වාස කරනබව පැවසීය.

"මේ ඛේදජනක අවස්ථාවේ අපේ ශෝකය ඒ ආත්මයන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු සාමාජිකයින් වෙත පිදෙනවා," සමාගම පැවසීය. "ජීවිත අහිමිවීම හා, ඔවුන් දැන සිටි සියල්ලන් වෙත ඔවුන් ගෙනදුන් සංතුෂ්ටිය අහිමිවීම ගැන අප ශෝකවෙනවා."

බ්‍රහස්පතින්දා (ජූනි 22) එරට වේලාවෙන් උදෑසන දී, ගැඹුරු මුහුදේ කිමිදෙන දුරස්ථ පාලක මඟින් හසුරුවන යාත්‍රා දෙකක් (ROV) සෙවීමේ ස්ථානයට ගෙන එනු ලැබිණ. 'හොරයිසන් ආක්ටික්' නම් කැනේඩියානු නෞකාවට සම්බන්ධ කරන ලද සබ්මර්සිබල් යාත්‍රාවක් මුහුදු පතුලට ළඟාවිය.

ප්‍රංශ පර්යේෂණ නෞකාවක් වන 'අටලාන්ටේ' විසින් මෙහෙයවනු ලබන 'වික්ටර් 6000' රොබෝ යානය ද දියත් කරනු ලැබුණි. එම රොබෝ යානයට මීටර 3800ක් ගැඹුරෙහි ඇති පතුළ වෙත ගමන් කිරීමට හැකි අතර, ටයිටන් සබ්මර්සිබලය දිය මතුපිටට ඔසවාගෙන ඒමේ හැකියාව එය සතුවිය.

නාවික හමුදා සබ්මැරීන මුදාගැනීමේ කටයුතු සඳහා නිමවා ඇති යාත්‍රාවන්ට, අවශ්‍ය තරම් ගැඹුරට ගමන් කිරීමේ හැකියාව නැත.

සෙවීමේ ප්‍රදේශය එක්සත් ජනපදයේ කනෙටිකට් ප්‍රාන්තය මෙන් දෙගුණයක් තරම් විශාල ප්‍රදේශයකට විහිදුවා ඇති අතර, දිය මතුපිට සිට කිලෝමීටර් හතරක පමණ ගැඹුරට සෙවීමේ කටයුතු සිදුකෙරෙනබව, මින් පෙර බලධාරීන් විසින් ප්‍රකාශ කරන්නට යෙදිණි.

A US Coast Guard vessel sits in port in Boston Harbor across from the US Coast Guard Station Boston in Boston, Massachusetts, on June 19, 2023.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු සඳහා බොස්ටන් වෙරළාරක්ෂක භටයින් සහාය වේ.

අඟහරුවාදා (ජූනි 20) හා බදාදා - සෙවීම් කටයුතු සිදුවූ මුල් දිනවල දී - කැනේඩියානු ගුවන් යානාවක් දිය යටින් ඇසුණු ශබ්ද ග්‍රහණයකර ගැනීමට සමත්වූ හෙයින් බලාපොරොත්තු ඉහළ නැංවුණ ද, ඒවා සබ්මර්සිබල් යාත්‍රාවෙන් පැමිණෙන්නේදැ යි තහවුරු කිරීමට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය අසමත්විය.

බදාදා එම ආයතනය පැවසුවේ, "ශබ්දයේ මූලය ගවේෂණය කිරීමේ ප්‍රයත්නයක් ලෙස" ROV මෙහෙයුම් නව සෙවුම් කලාපයකට ගෙනගිය නමුත් "සෘණාත්මක ප්‍රතිඵල ලැබුණු බවය"

අතුරුදන්වූ යාත්‍රාවේ සිටියේ කවුද?

Suleman Dawood and Shahzada Dawood

ඡායාරූප මූලාශ්‍රය, Dawood family

ඡායාරූප ශීර්ෂ වැකිය, 19 හැවිරිදි සුලේමාන් ඩවූඩ් සහ ඔහුගේ පියා වූ 48 හැවිරිදි ෂෙහෙසාදා ඩවූඩ්

යාත්‍රාවේ සිටි පස්දෙනා නම්:

  • හේමිෂ් හාඩින්ග්, 58-හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙකු සහ ගවේෂකයෙකි
  • ෂෙහෙසාදා ඩවූඩ්, 48-හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙකි - සහ ඔහුගේ පුත් සුලේමාන් ඩවූඩ්, 19
  • පෝල්-ඕන්රි නාජලෙට්, "මිස්ටර් ටයිටැනික්" යන අන්වර්ථ නාමය දැරූ 77-හැවිරිදි ප්‍රංශ ජාතික ගවේෂකයෙකි
  • ස්ටොක්ටන් රෂ්, කිමිදීමේ ගවේෂණය මෙහෙයවූ ඕෂන්ගේට් සමාගමේ 61-හැවිරිදි ප්‍රධාන විධායක නිලධාරියා ය

එය අතුරුදන්වූයේ කවදා ද?

ටයිටැනික් සුන්බුන් පිහිටි ස්ථානය වෙත ඉරිදා (ජූනි 18) උදෑසන ළඟාවී තිබූ පෝලා ප්‍රින්ස් නෞකාව, එරට වේලාවෙන් පෙරවරු 08:00ට ටයිටන් යාත්‍රාව දියත්කර තිබුණි - එය ආපිට මතුපිටට පැමිණීමට නියමිතව තිබුණේ එදින පස්වරු තුනට ය. නමුත් උදෑසන 09:45ට පමණ - දියත් කිරීමෙන් පැයකුත් විනාඩි 45කට පසු - සබ්මර්සිබලය සමග පැවැති සබඳතා බිඳවැටී තිබුණි.

වෙරළාරක්ෂක බලකාය පවසන පරිදි ඔවුන්ට මේ ගැන දැනුම් දී තිබුණේ පස්වරු 5:45ට - අතුරුදන්වීමෙන් පැය අටකට පසු ය. අනතුරුව බොස්ටන්හි පිහිටි එහි විධාන මධ්‍යස්ථානය සෝදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම ආරම්භ කළේ ය.

ටයිටැනික් සුන්බුන් පිහිටි ස්ථානය කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ආසන්න වශයෙන් කිලෝමීටර 600ක් දුරින් පිහිටා තිබේ.