කුරුටුබලි තහනම්: බෙහෙත් තුණ්ඩුවල අකුරු පැහැදිලිව ලියන ලෙස අධිකරණයකින් වෛද්‍යවරුන්ට නියෝග

An illegible prescription by an Indian doctor in the central Indian state of Madhya Pradesh

ඡායාරූප මූලාශ්‍රය, Chilukuri Paramathama

ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දියානු වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලද කියවීමට නොහැකි බෙහෙත් තුණ්ඩුවක් පසුගිය වසරේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය
    • Author, ගීතා පාණ්ඩේ
    • Role, බීබීසී පුවත්, දිල්ලි

ලිවීම සඳහා බොහෝ පුද්ගලයින් යතුරුපුවරු භාවිත කරන යුගයක, අත්අකුරු යනු වද විය යුතු කාරණයක් ද?

ඔව්, ලියන්නා වෛද්‍යවරයෙකු නම්, ඉන්දීය අධිකරණ එසේ විය යුතු බව පවසයි.

ඖෂධවේදීන්ට පමණක් තේරුම් ගත හැකි බොහෝ වෛද්‍යවරුන්ගේ විසින් ලියනු බවට කුප්‍රකට අපැහැදිලි අත්අකුරු වටා ගෙතී ඇති සරදම් ඉන්දියාව තුළ පමණක් නොව ලොව පුරා ද සුලභ ය.

නමුත් පැහැදිලිව අත්අකුරු ලිවීමේ වැදගත්කම අවධාරණය කරන නවතම නියෝගය මෑතකදී පන්ජාබ් සහ හර්යානා මහාධිකරණයෙන් නිකුත් කළ අතර එම නියෝගයෙන් පවසා තිබුණේ "කියවිය හැකි අයුරින් පැහැදිලිව සටහන් කර ඇති බෙහෙත් තුණ්ඩුවක් මූලික අයිතිවාසිකමක්" බව සහ එයට ජීවිතය හා මරණය අතර වෙනසක් ඇති කළ හැකි බව ය.

මෙම අධිකරණය නියෝගය නිකුත් කර තිබුණේ ලිඛිත වචනයක් සඳහා කිසිසේත් සම්බන්ධයක් නොමැති නඩු විභාගයකදී ය. එය නිකුත් කර තිබුණේ කාන්තාවක විසින් එල්ල කරන ලද ස්ත්‍රී දූෂණය, වංචා කිරීම සහ කූඨ ලේඛන සැකසීම යන චෝදනා ඇතුළත් නඩු විභාගයකදී වන අතර විනිසුරු ජස්ගුර්ප්‍රීත් සිං පූරි ඊට අදාළ පුද්ගලයාගේ ඇප ඉල්ලීම සලකා බලමින් සිටියේ ය.

රජයේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇගෙන් මුදල් ලබාගත් බවටත්, ව්‍යාජ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බවටත්, ලිංගික සූරාකෑමට ලක් කළ බවටත් කාන්තාව එම පුද්ගලයාට චෝදනා එල්ල කර තිබිණි.

චූදිතයා චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. ඔහු පැවසුවේ, දෙපාර්ශවයේ ම කැමැත්ත මත ඔවුන් සබඳතාවක් පැවැත්වූ බව ත් මුදල් පදනම් කර ගනිමින් හටගත් ආරවුලක් හේතුවෙන් තමාට එරෙහිව නඩුව පවරා ඇති බව ත් ඔහු පැවසුවේ ය.

විනිසුරු පූරි පැවසුවේ, මෙම කාන්තාව පරීක්ෂා කළ රජයේ වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරනු ලැබ තිබුණු වෛද්‍ය වාර්තාව පිරික්සූ අවස්ථාවේදී එය තේරුම්ගත නොහැකි බව තමාට වැටහුණු බව ය.

"එය සමස්ත අධිකරණය ම කම්පනයට පත් කළා. මන්ද එහි එකදු වචනයක් හෝ අකුරක් හෝ කියවා ගන්න බැරි වුණ නිසා," ඔහු සිය නියෝගයේ ලිවීය.

වාර්තාව සහ වෛද්‍යවරයාගේ කියවා ගැනීමට නොහැකි අත්අකුරු තිබුණු පිටු දෙකකින් සමන්විත බෙහෙත් තුණ්ඩුවක් ඇතුළත් අධිකරණ තීන්දුවේ පිටපතක් බීබීසීයට නිරීක්ෂණය කිරීමට හැකි විය.

Close up of a fountain pen scribbling on a piece of paper

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඖෂධවේදීන්ට පමණක් වටහා ගත හැකි වෛද්‍යවරුන්ගේ අවුල්සහගත අත්අකුරු අලලා සිදු කෙරෙන සරදම් ලොව පුරා සුලභව ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"තාක්ෂණය සහ පරිගණක වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පවතින කාලයක, ඖෂධවේදීන්ට හැර වෙනත් කිසිවෙකුට කියවිය නොහැකි ලෙස රජයේ වෛද්‍යවරුන් තවමත් බෙහෙත් තුණ්ඩු අතින් ලිවීම කම්පනයට කරුණක්," විනිසුරු පූරි සඳහන් කළේ ය.

අධිකරණය රජයට දැනුම් දුන්නේ වෛද්‍ය විද්‍යාලවල විෂය මාලාවට අත්අකුරු ලිවීම පිළිබඳ අභ්‍යාස ඇතුළත් කරන ලෙසත් සහ වසර දෙකක් තුළ ඩිජිටල්කරණය කළ බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් ය.

එය ක්‍රියාවට නංවන තෙක් සියලු ම වෛද්‍යවරුන් බෙහෙත් තුණ්ඩු පැහැදිලිව කැපිටල් අකුරින් සටහන් කළ යුතු බවට විනිසුරු පූරි පැවසීය.

වෛද්‍යවරුන් 330,000කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන ඉන්දීය වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය දිලිප් භානුෂාලි බීබීසීයට පැවසුවේ, මෙම ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට සහය දැක්වීමට ඔවුන් සූදානම් බව ය.

ප්‍රධාන නගරවල වෛද්‍යවරුන් ඩිජිටල් බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීම සඳහා යොමුව සිටින නමුත් ග්‍රාමීය ප්‍රදේශවල සහ කුඩා නගරවලදී පැහැදිලි බෙහෙත් වට්ටෝරු ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් බව ඔහු පවසයි.

"වෛද්‍යවරුන් බොහෝමයකගේ අත්අකුරු අපැහැදිලි බව කවුරුත් දන්න කරුණක්. හැබැයි ඒ වෛද්‍යවරුන් කාර්යබහුල නිසා සහ විශේෂයෙන් ම ජනාකීර්ණ රජයේ රෝහල්වල සේවය කරන නිසා," ඔහු පවසයි.

"රජයේ මාර්ගෝපදේශ අනුගමනය කිරීමට සහ රෝගීන් සහ ඖෂධවේදීන් කියන දෙපාර්ශවයට ම කියවන්න පුළුවන් විදිහට පැහැදිලි අත් අකුරින් බෙහෙත් තුණ්ඩු ලි‍යන්න කියලා අපි අපේ සාමාජිකයින්ට නිර්දේශ කරලා තියෙන්නේ. දිනකට රෝගීන් හත් දෙනෙකු බලන වෛද්‍යවරයෙකුට ඒක කරන්න පුළුවන්, නමුත් ඔබ දිනකට රෝගීන් 70ක් බලනවා නම් ඔබට ඒක කරන්න බැහැ," ඔහු වැඩිදුරටත් පවසයි.

An illegible prescription by an Indian doctor in the southern city of Nalgonda

ඡායාරූප මූලාශ්‍රය, Chilukuri Paramathama

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂඥයින් පවසන්නේ, අපැහැදිලි හෝ වැරදි අර්ථකථනයක් ලබා දෙන බෙහෙත් තුණ්ඩුවක් බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ය

මෙය වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත්අකුරු සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් චෝදනා එල්ල කළ පළමු අවස්ථාව නොවේ. ඊට අදාළ පූර්ව අවස්ථා ලෙස, "වෛද්‍යවරුන් අත්අකුරු ලියන්නේ සිග්සැග් ක්‍රමයට" බව ඔඩිෂා ප්‍රාන්තයේ මහාධිකරණය පෙන්වා දී ඇති අතර "කියවීමට නොහැකි තරම් අපැහැදිලි අත් අකුරින් ලියා ඇති වාර්තා," පිළිබඳ අලහබාද් මහාධිකරණ විනිසුරුවරුන් ද කණස්සල්ල පළ කර තිබේ.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන්ගේ අත්අකුරු අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව වඩා නරක බවට පවතින සාම්ප්‍රදායික මතයට තහවුරු කිරීමට අධ්‍යයනවලට හැකි වී නොමැත.

නමුත් විශේෂඥයින් පවසන්නේ, මෙම කණස්සල්ල ඔවුන්ගේ අත්අකුරු සෞන්දර්යාත්මක විය යුතු බවට හෝ පහසුව පිළිබඳ දෙයක් නොවන නමුත් අපැහැදිලිභාවයට හෝ වැරදි අර්ථකථනවලට ඉඩ සලසන බෙහෙත් තුණ්ඩුවක් බරපතළ, ඛේදජනක ප්‍රතිවිපාක ඇති කළ හැකි නිසා බව ය.

වෛද්‍ය ආයතනය 1999දී නිකුත් කළ වාර්තාවකට අනුව එක්සත් ජනපදය තුළ වාර්ෂිකව වළක්වා ගත හැකි මරණ 44,000කට පමණ වෛද්‍ය දෝෂ හේතු වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් 7000ක් පමණ අපැහැදිලි අත්අකුරු හේතුවෙන් සිදුව තිබේ.

ඇස් වියලීමේ රෝගී තත්ත්වයක් සඳහා අතපසුවීමකින් ලිංගික බෙලහීනතාව සඳහා නිර්දේශ කෙරෙන ආලේපනයක් ලබා දීමෙන් අනතුරුව ස්කොට්ලන්තයේ කාන්තාවකට රසායනික පිළිස්සුම් තුවාල සිදුවූ අවස්ථාවක් මෑතකදී වාර්තා විය.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් "ඖෂධ දෝෂ භයානක මට්ටමේ හානි සහ මරණවලට හේතු වූ" බව පිළිගෙන ඇති අතර "රෝහල්වල ඉලෙක්ට්‍රොනික නිර්දේශ කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් එවැනි දෝෂ 50%කින් අඩු කළ හැකි" බව සඳහන් කර ඇත.

අපැහැදිලි අත්අකුරු නිසා සිදුවූ හානි පිළිබඳ දරුණු සිද්ධීන් පිළිබඳ නිශ්චිත දත්ත ඉන්දියාව සතු නොවන නමුත් ලෝකයේ වඩාත් ම ජනාකීර්ණ රට වන ඉන්දියාවේ අතීතයේදී බෙහෙත් තුණ්ඩු වැරදි ලෙස කියවීම සෞඛ්‍ය හදිසි අවස්ථා සහ මරණ රැසකට හේතු වී ඇත.

An illegible prescription by an Indian doctor in Hyderabad city

ඡායාරූප මූලාශ්‍රය, Chilukuri Paramathama

ඡායාරූප ශීර්ෂ වැකිය, ඖෂධවේදීන් පවසන්නේ අපැහැදිලිව සටහන් කර ඇති බෙහෙත් තුණ්ඩු තවමත් ඔවුන්ගේ ඖෂධ හල් වෙත ලැබෙන බව ය

වේදනා නාශක ඖෂධයක් වෙනුවට ඒ හා සමාන නමක් ඇති දියවැඩියා ඖෂධයක් ගැනීමෙන් පසු වලිප්පුව ඇති වූ කාන්තාවක පිළිබඳ ප්‍රසිද්ධ සිදුවීමක් තිබේ.

දකුණු ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නල්ගොන්ඩා නගරයේ ඖෂධ අලෙවිසලක් පවත්වාගෙන යන චිලුකුරි පරමාතමා බීබීසීයට පැවසුවේ, 2014දී නොයිඩා නගරයේදී උණ සඳහා වැරදි එන්නතක් ලබා දීමෙන් පසු තුන් හැවිරිදි දැරියක මිය යාම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා කියවීමෙන් පසු හයිද්‍රාබාද්හි මහාධිකරණයේ තමා මහජන අවශ්‍යතා පෙත්සමක් ගොනු කළ බවයි.

අතින් ලියන ලද බෙහෙත් තුණ්ඩු සම්පූර්ණයෙන් ම තහනම් කරන ලෙස ඉල්ලා ඔහු ගෙන ගිය විරෝධය 2016දී සාර්ථක වූ අතර, ඉන්දිය වෛද්‍ය සභාව නියෝග කර තිබුණේ "සෑම වෛද්‍යවරයෙකු ම ඖෂධ නාම (generic names) සහ සුදුසු පරිදි කැපිටල් අකුරින් සඳහන් කළ යුතුයි" ‍යනුවෙනි.

ඉන්දියාවේ කනිෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය අශ්විනි කුමාර් චෞබේ 2020 වසරේදී පාර්ලිමේන්තුවට පැවසුවේ, මෙම නියෝගය උල්ලංඝනය කරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ප්‍රාන්තවල සෞඛ්‍ය බලධාරීන්ට බලය ලබා දී ඇති බව ය.

නමුත් දශකයකට පමණ ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව චිලුකුරි සහ අනෙකුත් ඖෂධවේදීන් පවසන්නේ, අපැහැදිලි අත් අකුරින් ලියා ඇති බෙහෙත් තුණ්ඩු තවමත් ඔවුන්ගේ ඖෂධ හල් වෙත ලැබෙන බව ය. පසුගිය වසර කිහිපය තුළ ඔහුට ලැබුණු බෙහෙත් තුණ්ඩු විශාල ගණනක් චිලුකුරි බීබීසීයට යොමු කර ඇති අතර ඒවායේ අන්තර්ගතයන් ඔහුට පවා තේරුම් ගත නොහැකි වී තිබේ.

බටහිර බෙංගාලයේ නගර, උපනගර සහ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ශාඛා 28ක් ඇති සහ දිනපතා ගනුදෙනුකරුවන් 4,000කට වැඩි පිරිසකට සේවාව සපයන කොල්කටා නගරයේ ප්‍රසිද්ධ ඖෂධ අලෙවිසලක් වන ධන්වන්තරීහි ප්‍රධාන විධායක නිලධාරී රවීන්ද්‍ර කන්ඩෙල්වාල් පවසන්නේ, ඇතැම් අවස්ථාවලදී ඔවුන් වෙත රැගෙන එන බෙහෙත් තුණ්ඩු කියවිය නොහැකි සීමාවේ පවතින බව ය.

"ගත වුණු කාලය තුළ, නගරවල නම් බෙහෙත් වට්ටෝරු අතින් ලියන එකෙන් මිදිලා මුද්‍රිත බෙහෙත් තුණ්ඩු දීමට මාරුවෙලා යෙනවා අපි දැකලා තියෙනවා, නමුත් උපනගරවල සහ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් බොහෝ විට තියෙන්නේ අතින් ලියපු ඒවා තමයි."

ඔහු පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලය ඉතා පළපුරුදු බැවින් පාරිභෝගිකයින්ට නිවැරදි ඖෂධ ලබා දීම සහතික කිරීම සඳහා ඒවායින් බොහොමයක් තේරුම් ගැනීමේ හැකියාව පවතින බව ය.

"එහෙම වුණත්, සමහර වෙලාවල් තිබෙනවා අපිට වෛද්‍යවරුන්ව අමතන්න වෙනවා, නිවැරදි ඖෂධ ලබා දීම අපිට ඉතාමත් වැදගත්."