අවුරුද්දක් වයසැති දරුවෙක් සිය දත්වලින් නාගයෙකු සපා කෑමෙන් පසු නාගයා මිය යයි. වෛද්‍යවරුන් පවසන්නේ කුමක් ද?

Bihar, India

ඡායාරූප මූලාශ්‍රය, Aloka Kumar

    • Author, සිටු තිවාරි
    • Role, බීබීසී වාර්තාකරු

බිහාර් ප්‍රාන්තයේ බෙට්ටියා ප්‍රදේශයෙන් දුර්ලභ සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී අවුරුද්දක් වයසැති දරුවෙකු ඔහුගේ දත්වලින් සර්පයෙකු සපා කෑමෙන් පසු එම සර්පයා මිය ගිය බව වාර්තා වේ.

දරුවාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ සර්පයා විෂ සහිත නාගයෙකු බවයි.

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු, දරුවා ප්‍රදේශයේ ජනතාවගේ අවධානයට ලක්ව ඇත. දරුවා මේ වනවිට නිරෝගීව සිටියි.

මෙම සිදුවීම බිහාර්හි බටහිර චම්පරන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි ප්‍රධාන නගරය බෙට්ටියා වේ.

බෙට්ටියාහි මජ්හවුලියා ප්‍රදේශයේ පිහිටි මොහ්චි බන්කට්වා ගම්මානයේ වෙසෙන සුනිල් සාහ් නම් පුද්ගලයෙකු අයිස්ක්‍රීම් විකිණීමෙන් සිය ජීවිකාව ගෙන යයි.

නාගයාව දත්වලින් සපා කා ඇත්තේ සුනිල් සාහ්ගේ අවුරුද්දක් වයසැති ගොවින්ද් කුමාර් නමැති පුත්‍රයා යි.

"එයාගේ අම්මා ගෙදර පිටිපස්සේ වැඩ කරමින් දර ගොඩ ගහමින් හිටියේ. ඒ අවස්ථාවේදී නයා එළියට ඇවිත්. ගොවින්ද් ඒ වෙලාවේදී සෙල්ලම් කර කර හිටියේ. එයා නයාව දැකපු ගමන් එයාව අල්ලගෙන දත්වලින් හැපුවා, එතකොට තමයි අපි ඒක දැක්කේ. ඒ විෂ සහිත නයෙක්" ගෝවින්ද් කුමාර්ගේ මිත්තණිය වන, මතිසාරි දේවි පැවසුවාය.

"නයාව හැපුවට පස්සේ, එයාට ටික වෙලාවක් සිහිය නැති වුණා. අපි එයාව මජෞලියා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයට අරන් ගියා, ඊට පස්සේ එයාව බෙට්ටියා රෝහලට යැව්වා. දැන්, දරුවා හොඳින් ඉන්නවා."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"සෙනසුරාදා හවස දරුවා ගෙදර ආවා. මිනිස්සු එයා ගැන ගොඩක් කතා කරනවා. සාමාන්‍යයෙන් මේ මාසයේ සර්පයෝ එළියට එනවා, ඒත් මේ වගේ සිදුවීමක් මීට කලින් කවදාවත් මෙහෙ වෙලා නැහැ" මංජෝලියාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදී නයියාස් පැවසුවේය.

ගෝවින්ද් කුමාර් ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා සවස බෙට්ටියාහි රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරන ලදී. ළමා රෝග පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන වෛද්‍ය කුමාර් සෞරබ් ඔහුට ප්‍රතිකාර කළේය.

"දරුවා රෝහලට ඇතුලත් කරන්න එනකොට ඔහුගේ මුහුණ, විශේෂයෙන් මුඛය වටා ඉදිමී තිබුණා. පවුලේ අය අපට කිව්වේ දරුවා නයාගේ මුඛය අසල සපා කාලා එයින් කොටසක් ගිල්ලා කියලා." ඔහු පැවසුවේය.

"මට එකම අවස්ථාවේ රෝගීන් දෙදෙනෙකුට ප්‍රතිකාර කරන්න වුණා. ඒ කියන්නේ එක දරුවෙක් නාගයෙක් දෂ්ඨ කරලා ආපු කෙනෙක්, අනෙක් කෙනා නාගයෙක්ව සපා කාලා ආපු දරුවෙක්. ඔවුන් දෙදෙනාම දැන් සම්පූර්ණයෙන්ම නිරෝගීව සිටිනවා."

"නාගයෙකු දෂ්ට කළ විට එම සර්පයාගේ විෂ රුධිරයට ඇතුළු වනවා. මෙම විෂ ස්නායු පද්ධතියට හානි කරන්න පුලුවන් වගේ ම එය මාරාන්තික වෙන්නත් පුලුවන්" වෛද්‍ය කුමාර් සෞරබ් බීබීසීයට පැවසීය.

"මනුස්සයෙක් නයෙක්ව සපා කෑව ම, ඒ නයාගේ විෂ අපේ ආහාර ජීර්ණ පද්ධතියට මුඛය ඔස්සේ ඇතුල් වෙනවා. මිනිස් සිරුර ඒ විෂ බිඳ දමනවා වගේම ඒක එළියට එනවා. ඒ නිසා විෂ අවස්ථා දෙකේදීම ක්‍රියාත්මක වනවා. නමුත් එක් අවස්ථාවක දී විෂ ස්නායු පද්ධතියට බලපාන අතර අනෙක් අවස්ථාවේ දී මිනිස් සිරුර විෂ බිඳ දමනවා." වෛද්‍ය සෞරබ් පැහැදිලි කළේය.

The child is completely healthy now. දරුවා දැන් නිරෝගීව සිටිනවා.

ඡායාරූප මූලාශ්‍රය, Aloka Kumar

කෙසේවෙතත්, වෛද්‍ය කුමාර් සෞරබ් පවසන්නේ මිනිසෙකු සර්පයෙකු සපා කෑ විට ඉන් අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව යි.

"මිනිසෙක් නාගයෙක්ව සපා කෑව ම ආහාර ජීර්ණ පද්ධතියේ අල්ස්ර් හෝ ලේ ගැලීමක් වැනි තත්ත්වයක් තිබුණොත් එය වඩාත් බරපතල වෙන්න පුළුවන්." වෛද්‍ය කුමාර් සෞරබ් පැහැදිලි කරයි.

'නාග දෂ්ඨ කිරීමේ අගනුවර'

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, ලොව පුරා සෑම වසරක ම පුද්ගලයින් 80,000 සිට 130,000 දක්වා සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් මිය යයි.

මෙයින් සෑම වසරක ම ඉන්දියාවේ සාමාන්‍යයෙන් පුද්ගලයින් 58,000 ක් මිය යන බව වාර්තා වේ. එබැවින් ඉන්දියාව 'ලෝකයේ සර්ප දෂ්ඨ කිරීමේ අගනුවර' යන අන්වර්ථ නාමය ලබා ඇත.

බිහාර් ප්‍රාන්තයේ සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතියේ (HMIS) දත්ත වලට අනුව, 2023 අප්‍රේල් සිට 2024 මාර්තු දක්වා කාලය තුළ සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් ප්‍රාන්තයේ මරණ 934 ක් සිදුව තිබේ.

මෙම කාලය තුළ සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් රෝගීන් 17,859 ක් රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.

මධ්‍යම රජයේ වාර්තාවකට අනුව, ඉන්දියාවේ සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව බොහෝ විට සම්පූර්ණයෙන් ගණන් බලා නැත.

මධ්‍යම සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයේ වාර්තාවක සඳහන් වන්නේ සර්ප දෂ්ට කිරීම්වලට ලක්වූවන් අතරින් බොහෝ අවස්ථාවන්හිදී රෝහල් වෙත ළඟා වීමට හැකි වන්නේ ඉතා සුළු රෝගීන් සංඛ්‍යාවකට පමණක් බැවින් සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වන බව යි.

එපමණක් නොව, සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 70 ක් සිදුවන්නේ බිහාර්, ජාර්කන්ඩ්, මධ්‍ය ප්‍රදේශ්, ඔඩිෂා, උත්තර් ප්‍රදේශ්, ආන්ද්‍ර ප්‍රදේශ්, තෙලන්ගානා, රාජස්ථාන් සහ ගුජරාට් යන ප්‍රාන්තවලදීයි.