The Last of Us: අප සියල්ලන්ම සොම්බින් බවට පත්කිරීමට දිලීර වසංගතයකට හැකි ද?

The Last of Us

ඡායාරූප මූලාශ්‍රය, HBO/Warner Media/Liane Hentscher

ඡායාරූප ශීර්ෂ වැකිය, HBOහි විකාශය කෙරෙන පශ්චාත්-ලෝකාවසාන රූපවාහිනී නාට්‍යයක් වන The Last of Usහි දර්ශනයක, කෝඩිසෙප්ස් දිලීර විසින් පරිභෝජනය කරන ලද ශරීරයක් පෙන්වයි
    • Author, ජේම්ස් ගැලගර්
    • Role, බීබීසී රේඩියෝ 4

තමන්ගේ ගොදුරු සොම්බින් බවට පත්කරන සැබවින්ම බිහිසුණු දිලීරයක් පිළිබඳව ඔබ අසා තිබේ ද?

එහි බීජාණු ඔබේ ශරීරයට ඇතුළුවීමෙන් අනතුරුව දිලීරය වර්ධනය වන අතර, ධාරකයාගේ මනස අත්පත්කර ගැනීම අරඹයි. අවසානයේ ධාරකයාගෙන් සිරුරේ පාලනය ගිලිහීගොස්, ඔහු උස් ස්ථානයකට නගිනතුරු මෙම ක්‍රියාවලිය සිදුවෙයි.

පරපෝෂිත දිලීරය, තමාගේ 'ග්‍රෑන්ඩ් ෆිනාලේ' එක සඳහා සූදානම් වෙමින්, ගොදුරෙහි අවසාන පෝෂ්‍ය පදාර්ථය දක්වා සාරය උරාගනිමින්, ගොදුර ඇතුළතින් ගිල දමයි.

අනතුරුව, ත්‍රාසජනක චිත්‍රපටයකටත් වඩා භයංකාර දර්ශනයක් මවමින්, ධාරකයාගේ හිසෙන් මරණයේ පහුරක් මතුවෙයි. එසේ මතුවන දිලීර පහුර එය අවට ඇති සියලු දෑ මත බීජාණු වගුරුවමින්, අවට සිටින්නන්ට ද ධාරකයා ලද ඉරණම උරුම කරවයි.

මෙය ප්‍රබන්ධ කෘතියක් සේ ය. නමුත්, ශාක හා සතුන්ගෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි දිලීර රාජධානිය ආහාරයට ගත හැකි හතු වර්ගවල සිට බියකරු සිහින මවන පරපෝෂිතයන් දක්වා පරාසයක විහිදී පවතියි.

පරපෝෂිත කෝඩිසෙප්ස් (Cordyceps) සහ ඔෆියෝකෝඩිසෙප්ස් (Ophiocordyceps) දිලීර විශේෂ පරිසරයේ සැබවින් ම පවතින දිලීරයන් ය. බීබීසීහි ප්ලැනට් අර්ත් (Planet Earth) වාර්තා චිත්‍රපට මාලාවේ, ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ දිලීරයක් කුහුඹුවෙකු පාලනයට නතු කර ගන්නා ආකාරය නරඹයි.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of YouTube post

සමහර විට, ඇතැමෙක් මෙතෙක් ක්‍රීඩාකර ඇති හොඳම වීඩියෝ ක්‍රීඩාව ද, දැන් එහි කථා වස්තුව අනුව නිර්මාණය වුණු ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන "The Last of Us" ද, සොම්බි කුහුඹුවන් පිළිබඳ එම වැඩසටහන් කොටසෙන් ආභාසය ලත්තේ ය.

වීඩියෝ ක්‍රීඩාවේ මෙන්ම රූපවාහිනී කතා මාලාවේ ද, කෝඩිසෙප්ස් එහි සුපුරුදු කෘමීන් ගොදුරුකර ගැනීමේ සිට මිනිසුන්ට ආසාදනය කිරීම දක්වා දියුණුව සිටියි. එයින් ඇතිවන වසංගතය සමාජයේ බිඳවැටීමට තුඩුදෙයි.

නමුත් සැබෑ ලෝකයේ, කෝඩිසෙප්ස් වසංගතයක් - නැතහොත් වෙනත් දිලීරයක් නිසා ඇති වූ වසංගතයක් - කවදා හෝ සිදුවිය හැකි ද?

"මම හිතන්නේ අපි දිලීර ආසාදන අවතක්සේරු කරන්නේ ඒවායෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැන හරි හැටි නොදැන," ලන්ඩනයේ නිවර්තන රෝග සඳහා වන රෝහලේ ප්‍රමුඛ දිලීර විශේෂඥ, ආචාර්ය නීල් ස්ටෝන් පැවසීය.

"අපි දැනටමත් බොහෝ කාලයක් තිස්සේ ඒක කරලා තියෙන්නේ. දිලීර වසංගතයක් එක්ක සටන් කරන්න අපි කිසිදු ලෙසකින් සූදානම් නැහැ."

පසුගිය වසරේ ඔක්තෝබර් මස අවසානයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජීවිතයට තර්ජනයක් වන දිලීර පිළිබඳ පළමු ලැයිස්තුව නිකුත් කළේ ය.

එහි දරුණු දිලීර වර්ග කිහිපයක් තිබුණු නමුත්, 'සොම්බිකාරක' කෝඩිසෙප්ස් ඊට ඇතුළත් නොවන බව දැනගැනීම ඔබ ඇතැමෙකුට සහනයක් ගෙනදෙනු ඇත.

ඇයි නැත්තේ?

Caterpillar consumed by a parasitic fungus

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පරපෝෂිත දිලීරයක් විසින් පරිභෝජනය කරන ලද දළඹුවෙක් - එහි බීජාණු මුදා හරින පහුරු සමග

යූට්‍රෙක්ට් විශ්වවිද්‍යාලයයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියක වන ආචාර්ය චරීසා ද බෙකර්, කෝඩිසෙප්ස් විසින් සොම්බි කුහුඹුවන් උපදවනු ලබන ආකාරය අධ්‍යයනයකර ඇති අතර මිනිසුන් තුළ එවැනි දෙයක් සිදුවනබව තමාට නොසිතේයැ යි පවසයි.

"බොහෝ දිලීරවලට, හොඳ වාසස්ථානයක්වීමට සහ වර්ධනයවීමට නොහැකි තරම් අපේ ශරීර උෂ්ණත්වය ඉතා ඉහළ යි - කෝඩිසෙප්ස් සඳහාත් මේක අදාළ යි."

"ඔවුන්ගේ [කුහුඹුවන්ගේ] ස්නායු පද්ධතිය අපට වඩා සරල යි. ඒ නිසා අපේ මොළය වගේ නෙවෙයි, කෘමියෙකුගේ මොළය අත්පත්කර ගැනීම අනිවාර්යයෙන් ම පහසු දෙයක්. ඒ වගේ ම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට වඩා බෙහෙවින් වෙනස්."

පරපෝෂිත කෝඩිසෙප්ස් විශේෂ බොහොමයක් වසර මිලියන ගණනක් පුරා පරිණාමය වී ඇත්තේ එක් කෘමි විශේෂයක් පමණක් ආසාදනය කිරීමට විශේෂඥ හැකියාවක් ලබාගනිමිනි. බොහෝ විශේෂ එක් කෘමියෙකුගෙන් තවත් කෘමියෙකු වෙත නොයයි.

"මෙම දිලීරයට කෘමියෙකුගෙන් අප වෙත පැමිණ ආසාදනයක් ඇති කිරීමට හැකිවීම ඉතා විශාල පිම්මක්," ආචාර්ය ද බෙකර් පවසයි.

දිලීරවලින් එල්ලවන තර්ජන දිගු කලක් තිස්සේ ඉවත ලා තිබේ. "මිනිස්සු එය සුළු දෙයක්, මතුපිටින් පෙනෙන හෝ නොවැදගත් දෙයක් ලෙස සලකනවා," ආචාර්ය ස්ටෝන් පවසයි.

මිලියන ගණනක දිලීර විශේෂ අතරින් අතලොස්සක් පමණක් රෝග ඇති කරන නමුත්, ඒවායින් සමහරක් පාදයේ දිලීර ආසාදනයකට (Athlete's foot) හෝ නියපොත්තක ඇති වන ආසාදනයකටත් වඩා බරපතළ විය හැකි ය.

දිලීර වසරකට මිනිසුන් මිලියන 1.7කට මරු කැඳවන අතර, එය මැලේරියාව නිසා සිදුවන මරණ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකි.

කෝඩිසෙප්ස්වලට වඩා විශාල මාරාන්තික තර්ජන

සැලකිය යුතු තරම් කනස්සල්ලට කරුණක්යැ යි සිතන ආකාරයේ දිලීර 19ක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන ඇත.

මුහුණේ දරුණු තුවාල ඇති කිරීමට තුඩු දෙන, අපගේ මාංශ ඉතා ඉක්මනින් ආහාරයට ගන්නා මියුකොමයිසීටීස් (Mucormycetes) නම් දිලීරය, සහ ප්‍රතිජීවකවලින් බහුතරයකට ප්‍රතිරෝධී මාරාන්තික දිලීර විශේෂයක් වන, හදිසියේ මතුවූ කැන්ඩිඩා ඕරිස් (Candida auris) මේවාට ඇතුළත් වේ.

දිලීර හේතුවෙන් ඇති වූ ආසාදන හඳුනාගැනීම සහ කිනම් ප්‍රතිකාර ඊට එරෙහිව ක්‍රියාකරයි ද යන්න සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ රෝගීන්ගේ සාම්පල විශ්ලේෂණය කරනු ලබන ලන්ඩනයේ සෞඛ්‍ය සේවා රසායනාගාරයට (HSL) පැමිණෙන ලෙස ආචාර්ය නීල් ස්ටෝන්ගෙන් බීබීසීයට ආරාධනයක් ලැබුණි. විශාලතම දිලීර අන්තරායන් කිහිපයක් පිළිබඳව අපි සාකච්ඡා කළෙමු.

Neil Stone

ඡායාරූප මූලාශ්‍රය, James Gallagher

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය නීල් ස්ටෝන් පවසන්නේ අපි "අපේ අනතුර නොසලකා" කැන්ඩිඩා ඕරිස් නම් දිලීර නොසලකා හරින බවයි

අපි මුලින් ම බලන්නේ කැන්ඩිඩා ඕරිස් දෙස ය.

එය යීස්ට් වර්ගයේ දිලීරයක් වන අතර, බීර නිෂ්පාදනාගාරයක් හෝ පාන් පිටි ගුලියකින් හමා එන දැඩි සුවඳ එය අසල සිටින්නෙකුට දැනෙයි.

නමුත් එය ශරීරයට ඇතුළු වුවහොත් රුධිරය, ස්නායු පද්ධතිය සහ අභ්‍යන්තර අවයව ආක්‍රමණය කිරීමට එයට හැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ, ආක්‍රමණශීලී කැන්ඩිඩා ඕරිස්හි දරුණු ආසාදනයක් වැළඳී ඇත්නම් මිනිසුන්ගෙන් අඩක් පමණ මියයන බව ය.

"ඒක පසුගිය වසර 15ක් හෝ ඊට වැඩි කාලයක් තුළ මතු වුණු රාක්ෂයෙක් වගේ. ඒත් ඒක දැන් ලොව පුරා දක්නට ලැබෙනවා," ආචාර්ය ස්ටෝන් පවසයි.

එහි පළමු ආසාදනය වාර්තා වන්නේ 2009 දී ටෝකියෝ මෙට්‍රොපොලිටන් වයෝවෘද්ධ රෝහලේ රෝගියෙකුගේ කන තුළිනි.

කැන්ඩිඩා ඕරිස් ස්වභාවිකවම දිලීර නාශක ඖෂධ ප්‍රතික්ෂේප කරන අතර, ඉන් ඇතැම් ප්‍රභේද මිනිසා සතු සියලුම ඖෂධවලට ප්‍රතිරෝධී වේ. එය 'සුපර්බග් එකක්' ['සුපිරි විෂබීජයක්'/ ප්‍රතිජීවකවලින් බහුතරයකට ප්‍රතිරෝධී] ලෙස සැලකෙන්නේ එබැවිනි.

සම්ප්‍රේෂණය ප්‍රධාන වශයෙන් රෝහල්වල අපිරිසිදු පෘෂ්ඨ හරහා සිදු වේ. ඒවා සේලයින් බට සහ රුධිය පීඩන යන්ත්‍රයේ අත වටා වෙලනු ලබන කොටසේ ඇලී පවතියි. ඒවා පිරිසිදුකර ඉවත් කිරීමට බෙහෙවින් අපහසු ය. විසඳුම බොහෝ විට සම්පූර්ණයෙන්ම වාට්ටු වසා දැමීම ය. එක්සත් රාජධානියේ පවා මෙය සිදුවී ඇත.

ආචාර්ය ස්ටෝන් පවසන්නේ, එය "වඩාත්ම කනස්සල්ලට පත් කරනු ලබන" දිලීරය වන අතර, එය පැතිර ගියහොත් "එමගින් සමස්ත සෞඛ්‍ය සේවා පද්ධති අකර්මණ්‍ය කළ හැකි" යැයි යන "අවදානම නොදැන" එය නොසලකා හරින බව ය.

තවත් මාරාන්තික දිලීරයක් වන ක්‍රිප්ටොකොකස් නියෝෆොර්මන්ස් (Cryptococcus neoformans) මිනිසුන්ගේ ස්නායු පද්ධතියට ඇතුළු වී දරුණු මෙනින්ජයිටිස් තත්ත්වයන් ඇති කිරීමට සමත් වේ.

එලී අසනීප වන විට, සිද් සහ එලී කොස්ටාරිකාවේ මධුසමය ගත කිරීමට ආරම්භ කළා පමණි.

Sid and Ellie's wedding

ඡායාරූප මූලාශ්‍රය, Sid and Ellie

ඡායාරූප ශීර්ෂ වැකිය, එලීට දිලීර ආසාදනයක් වැළඳීමට පෙර, සිද් සහ එලී ඔවුන්ගේ විවාහය සැමරූ අයුරු

ඇගේ මුල් රෝග ලක්ෂණ වූ හිසරදය සහ ඔක්කාරය අධික හිරු රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවූයේයැ යි සිතු නමුත්, පසුව ඇය වෙව්ලීමට පටන්ගත් අතර සම්පූර්ණයෙන් සිහිවිකල් තත්ත්වයට පත්විය. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය එල්ලෙන ඇඳක බැඳ බෝට්ටුවක ගෙන යාමට සිදු විය.

"මීට වඩා භයානක දෙයක් මම කවදාවත් දැකලා නැහැ, විශේෂයෙන් අසරණ බවක් දැනෙනවා," එම අත්දැකීම විස්තර කරමින් සිද් පැවසීය.

ස්කෑන් පරීක්ෂණ මගින් ඇයගේ මොළයේ ඉදිමුම පෙන්නුම් කළ අතර, පරීක්ෂණ මගින් ක්‍රිප්ටොකොකස් හඳුනාගැනිණි. වාසනාවකට මෙන්, එලී ප්‍රතිකාරයට ප්‍රතිචාර දැක්වූවා ය. ශ්වසනාධාරක යන්ත්‍රයක සිටි ඇය දින 12කට පසු කෝමා තත්ත්වයෙන් මිදුනා ය.

"මට මතක කෑ ගහනවා විතරයි," ඇය පවසයි. තුන් නිවුන් දරුවන් ලැබීම සහ ඇගේ සැමියා ඔවුන්ගේ මුදල් සූදු ක්‍රීඩා කිරීම සඳහා යෙදවීම ඇතුළු මායාවන් ඇයට දිස්වූවා ය. "ඉතින් මම එයාට මුලින් ම කිව්වේ ඒක [කසාදෙ] ඉවරයි කියලා," ඇය පවසයි.

දැන්, එලී හොඳින් සුව අතට හැරෙමින් සිටියි. ඇය පවසන්නේ දිලීරයකින් පුද්ගලයෙකුට එවැනි දෙයක් කළ හැකි යැයි තමා "කිසි විටෙකත් නොසිතූ" බව ය. "හනිමූන් ගිහින් ඔයාට මරණයට ළං වෙන්න වේවි කියලා ඔයා හිතන්නේ නැහැ."

කළු දිලීරය ලෙස ද හඳුන්වන මියුකොමයිසීටිස් (mucormycetes) හේතුවෙන් 'මාංශ භක්ෂණය කරන' මියුකොමයිකොසිස් රෝගය ඇති වෙයි. එහි භයානක ස්වභාවය හෙළි කරන 'ද ලිඩ් ලිෆ්ටර්' යන අන්වර්ථ නාමයක් එයට ඇත.

Lid lifter fungus

ඡායාරූප මූලාශ්‍රය, James Gallagher

ඡායාරූප ශීර්ෂ වැකිය, මියුකොමයිසිටිස් දිලීරවලට ඇදහිය නොහැකි වේගයකින් වර්ධනය විය හැකි ය

එය ඉතා ඉක්මනින් පැතිරෙයි. මෙම රූපය පෙන්නුම් කරන්නේ, පෙට්‍රි දීසියක වර්ධනය වී පැය 24කට පසු එය එහි භයානකත්වය පිළිබිඹු කරන ආකාරය යි.

"ඔබ සතුව ඇති පලතුරු කැබැල්ලක් පසු දා පල්පයක් වැනි යමක් බවට පත්වී ඇත්තේ, ඒක ඇතුළේ මියුකොමයිසීට්ස් තිබී ඇති නිසා," යැයි ලන්ඩනයේ සෞඛ්‍ය සේවා රසායනාගාරයේ (HSL) සායනික විද්‍යාඥවරියක වන ආචාර්ය රෙබෙකා ගෝර්ටන් පවසයි. ඇය පවසන්නේ එය මිනිසුන් තුළ දුර්ලභ නමුත් එය "ඇත්තට ම බරපතළ ආසාදනයක්" විය හැකි බව ය."

කළු දිලීර යනු, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් නතු කර ගන්නා අවස්ථාවාදියෙකි. එය මුහුණ, ඇස් සහ මොළයට පහර දෙන අතර මාරාන්තික විය හැකි ය. නැතහොත් මිනිසුන් දැඩි ලෙස විකෘති කළ හැකි ය. දරුණු ආසාදනයක් පලතුරු හෝ රසායනාගාරයේ මෙන් ශරීරය [මනුෂ්‍ය] තුළ ද "ඉක්මනින් වර්ධනය වේ", යැයි ආචාර්ය ගෝර්ටන් අනතුරු අඟවයි.

අපි දිලීර වඩාත් බැරෑරුම් ලෙස ගත යුතු ද?

දිලීර, බැක්ටීරියා හෝ වෛරස්වලට වඩා බෙහෙවින් වෙනස් ආසාදන ඇති කරයි. දිලීරයක් අප රෝගී කරන විට, එය කැස්ස සහ කිවිසුම් යාමෙන් පැතිරෙනවාට වඩා පරිසරය මගින් සෑම විට ම ආසාදනය වේ.

අපි සෑම දෙනා ම නිතිපතා දිලීරවලට නිරාවරණය වන නමුත්, ඒවා අසාදනය වීම සඳහා බොහෝ විට දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අවශ්‍ය වේ. ඖෂධ අපගෙන් වැඩි දෙනෙකු ජීවත් කළ ද [ඇතැම් පිළිකා ප්‍රතිකාරවලින් දිවි ගලවාගැනීම වැනි] දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වැඩි දෙනෙක් අප අතර සිටිති.

ආචාර්ය ස්ටෝන් පවසන්නේ, දිලීර වසංගතයක් එය පැතිරෙන ආකාරය සහ එය ආසාදනය කරන පුද්ගලයින් යන දෙඅංශයෙන් ම කොවිඩ්වලට "වෙනස් ආකාරයක්" ගත හැකි බව ය.

ඔහු සිතන්නේ "පරිසරයේ ඇති දිලීරවල ශුද්ධ පරිමාව... දේශගුණික විපර්යාස, ජාත්‍යන්තර සංචාර, වැඩි වන රෝගීන් සංඛ්‍යාව සහ අප සතුව ඇති ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැඹුරු නොසලකා හැරීම" හේතුවෙන් තර්ජනය ඇති බව ය.

දිලීර, මිනිසුන් සියල්ලන්ම සොම්බින් බවට පත් නොකරනු ඇත. නමුත් ඒවා හුදෙක් කකුලේ ඇති වන දිලීර අසාදනවලට වඩා බොහෝ ගැටලු ඇති කළ හැකි ය.