ලෝක සර්ප නාමාවලියට එකතු වු ශ්‍රී ලංකාවේ තුඩුල්ලන් දෙදෙනා

ඡායාරූප මූලාශ්‍රය, Mendis Wickramasinghe
ලෝක සර්ප නමාවලියට ශ්‍රී ලංකාවෙන් තවත් සර්ප විශේෂ දෙකක් හඳුන්වා දීමට මෙරට පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
රයිනෝෆිස් මාටින් (Rhinophis martin) සහ රයිනෝෆිස් ඩිනර්සාර්ඩේ (Rhinophis dinarzardae) යන විශේෂ දෙක ශ්‍රී ලංකාවෙන් ලෝක සර්ප නාමාවලියට එක්වු බව උරග හා උභය ජිවි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසි සිංහල වෙත කියා සිටියේය.
රක්වාන කඳු වැටිය ආශ්‍රිතව රයිනෝෆිස් මාටින් විශේෂය සොයාගෙන ඇති අතර රයිනෝෆිස් ඩිනර්සාර්ඩේ හඳුනා ගැනීමට හැකිව ඇත්තේ නකලස් කඳුවල බටහිර බෑවුම් ආශ්‍රිතවයි.
මෙම සොයා ගැනීමත් සමගම ශ්‍රී ලංකාවෙන් හමුවූ තුඩුල්ලන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සිටින සර්ප විශේෂ සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Mendis Wickramasinghe
කාන්තාවක් නමින් නම් කළ ප්‍රථම අවස්ථාව
‘මේ විශේෂ දෙකම ලංකාට ආවේණිකයි. මුං පොඩ්ඩක්වත් විස නැහැ. මේගොල්ලෝ ජීවත් වෙන්නේ පොළොව යට. හරිම සංවේදී සත්ත්ව කොටසක්.’ යැයි සර්ප විශේෂ ගැන විස්තර කරමින් මෙන්ඩිස් වික්‍රමසිංහ සඳහන් කළේය.
රයිනෝෆිස් සත්වයින් යුරොපෙල්ටිඩේ (Uropeltidae) කුලයට අයත් බව මෙන්ම ඔවුන් ඉන්දියාවට සහ ලංකාවට ආවේණික කුලයක් බව ද ඔහු පැවසීය.
එම කුලයට අයත් සතෙකු කාන්තාවක් නමින් නම් කළ ප්‍රථම අවස්ථාවට හිමි ගෞරවය හිමි වන්නේ ඩේවිඩ් ගවර් ඇතුලු පර්යේෂණ කණ්ඩායමටයි.
‘යුරොපෙල්ටිඩේ කුලයේ සත්තු මෙතුවක් කල් නම් කරපු හැම සතාම නම් කරලා තියෙන්නේ එක්කෝ ප්‍රදේශයකට එහෙම නැතිනම් උන්ගේ තියෙන ලක්ෂණයකට, එහෙම නැත්නම් පිරිමි එක්කෙන්ගේ නමක් තමයි යොදලා තියෙන්නේ. නමුත් මේ රයිනෝෆිස් ඩිනර්සාර්ඩේ කියන විශේෂය යුරොපෙල්ටිඩේ කුලයේ පළවෙනිම කාන්තාවකට නම් කරපු විශේෂය.’
රයිනෝෆිස් ඩිනර්සඩ් නමින් හඳුන්වන ඩිනර්සාර්ඩේ තුඩුල්ලා සත්වයා නම් කර ඇත්තේ ඩිනසර්ඩ් රහිම් ආචාර්යවරියට ගෞරවයක් ලෙස ය.
රජරට විශ්ව විද්‍යාලයේ සේවය කරන ඇය මොලුස්කාවන් සම්බන්ධව ලොව ප්‍රමුඛ පෙලේ හසල දැනුමක් ඇති කීර්තිමත් විද්‍යාඥාවරියකි. ඇය මෙරටින් හමුවන ගොළුබෙල්ලන් සම්බන්ධව පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Harry Taylor
සිංහරාජ වනාන්තරයේ නිලනොළත් මහාචාර්යවරයා
මාටින්ගේ තුඩුල්ලා නමින් හඳුන්වන රයිනෝෆිස් මාටින් නම් කර ඇත්තේ සිංහරාජය ආශ්‍රිතව දිවි ගෙවු ගැමියෙකු වු මාටින් විජේසිංහ නමින්ය.
මාටින් විජේසිංහ ලෝක උරුමයක් වු සිංහරාජය වෙත පැමිණෙන දෙස් විදෙස් පර්යේෂකයන් හට සිය අධ්‍යන කටයුතු සඳහා සහාය දැක්වු පුද්ගලයෙකු වන අතර 2018 වසරේ බීබීසි සිංහල සේවයට සුනෙත් පෙරේරා කළ වාර්තාවක ඔහු හඳුන්වා ඇත්තේ “සිංහරාජය වෙනුවෙන් කැපවුණු නිලනොලත් මහාචාර්යවරයා” ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Mendis Wickramasinghe
‘වලිගේ රවුම් වෙලා ඔලුව උල් වෙලා’
මෙම ජිවි විශේෂ දෙකම පොළොව යට ජීවත් වන අතර උන්ගේ ශරිර ඒ අනුව අනුවර්තනය වී ඇති බව ද විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ සඳහන් කළේය.
“එකක් තමයි පොළොව හාරන්න පුලුවන් විධියට ඔලුව උල් වෙලා තියෙනවා. දෙක තමයි ඇගේ ඒකාකාරි වට කුරු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකත් එක්ක මේගොල්ලන්ට පස හාරන් යන්න පුලුවන් හැකියාව තියෙනවා. ඒ වගේම වලිගේ පැත්ත රවුම්, ඒ රවුම් වලිගෙත් එක්ක සමාන්‍යෙයන් අපි දකින සර්පයෙක් ගත්තොත් ඔලුව රවුම් වලිගේ උල් හැබැයි මෙයාගේ වෙලා තියෙන්නේ වලිගේ රවුම් වෙලා ඔලුව උල් වෙලා. එතකොට විලෝපිකයෙක් නිතර දකින සර්පයෙක් ආහාරයට ගන්න එකෙක් මේගොල්ලන්ව එක පාරට හරියට ඔලුව, වලිගේ අඳුරගන්න බැරුව එක පාරට කොටන්නේ වලිගේ පැත්තට ඒකත් එක්ක හිසේ ආරක්ෂාව ලැබිලා තියෙනවා.”
“පොළොව යට ඉන්න පොළොව හාරන සතෙක්නේ බැරි වෙලා හරි හිස තුවාල වුනොත් තවදුරටත් හාරන්න බැහැ. මොකද තුවාලයක් එක්ක ඒක කරන්න බැරි හින්දා මේ සතා අනිවාර්යෙන් මැරෙනවා.” යි සිය පර්යේෂණවලින් සොයා ගත් කරුණු ඉදිරිපත් කරමින් විශේෂඥවරයා කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Provided
මෙම විශේෂ මුහුණ දෙන තර්ජන මොනවාද?
මෙම විශේෂ දෙක කෙරෙහි ඇති මිනිස් හා පාරිසරික තර්ජන ගැන ද උරග හා උභය ජිවි විශේෂඥවරයා පැහැදිලි කළේය.
'ගෝලිය උණුසුම වගේ දේවල් බලපානවා, ඒ වගේම කාළගුණික, දේශගුණික විපර්යාසත් බලපානවා. වෙනදා වහින් වැහි බොහෝම හෙමින් දිර්ඝ කාලයක් තිස්සේ වැස්සා. දැන් වහින වැහි කෙටි කාලෙකින් වැඩිපුර ප්‍රමාණයක් වහිනවා. එතකොට නායයෑම් බලාපොරෙත්තු නොවුන ගං වතුර වගේ දේවල් වෙනවා. පොළොව යට ඉන්න සත්තු හින්දා මතුපිට පස් තට්ටුවට උඩින් ජලය පිරුණාට පස්සේ මේ ජිවින් විනාශ වෙන්න පුලුවන් ප්‍රවනතාවය වැඩී.'
'ඒ වගේම තමයි මිනිස්සු විසින් හඳුන්වලා දීපු ආගන්තුක, ආක්‍රමණකාරී ශාඛ සහ සතුන්ගෙන් වෙන බලපෑම උදාහරණයක් විදියට ගත්තොත් අලි මාණ ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. දුරදර්ශිව නොහිතන සමහර මිනිසුන් විසින් සිදුකරන කැලෑ ගිනිතැබීම් මේ පාංශූ ජීවින් ඇතුළුව සමස්ත ජිවින්ට අහිතකර ලෙස බලපානවා.'

ඡායාරූප මූලාශ්‍රය, Mendis Wickramasinghe
'ඒ වගේම තමයි රාත්‍රී කාලයට මේ වගේ සත්තු එළියට එනවා. එතකොට අපි පාර දෙපස හදන කාණුවකට මේ සතෙක් වැටුනොත් කවදාවත් එළියට එන්න බැහැ. මේ විශේෂ අඟල් දහයක් විතර විශාල වෙන සත්තු එතකොට ඒ වගේ සතෙක් අඩි දෙකක් විතර උස කාණුවක් උඩට නගිනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ඒව උන්ට මර උගුල් විදියට තමයි වැඩ කරන්නේ.'
මිනිසා විසින් සිදුකරනු ලබන අවිදිමත් සංවර්ධන කටයුතු මෙම ජීවින්ට විශාල තර්ජනයක් බවයි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
රයිනෝෆිස් මාටින් සහ රයිනෝෆිස් ඩිනර්සාර්ඩේ යන සර්ප විශේෂ දෙකෙහි පර්යේෂණ කටයුතු සඳහා වසර 6ක පමණ කාලයක් ගතව තිබේ.
උරග හා උභය ජීවි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ, පරිසරවේදි දුලාංග රංග විදානපතිරන, මෙරටින් මෙම පර්යේෂණයට දායක වී ඇති අතර ලන්ඩන් නුවර පිහිටි සොබා විද්‍යා කෞතුකාගාරයේ ආචාර්ය ඩේවිඩ් ගවර් සහ ආචාර්ය ෆිලිපා සම්පායෝ යන සිව්දෙනා මෙම සර්ප විශේෂ දෙක ලෝකයට හඳුන්වා දීමට සිය දැනුම ලබා දී ඇත.












