හැපින්නන්ට භගමණියක් ඇති බවට විද්‍යාඥයෝ සොයා ගනිති

A green snake

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සතියේ Proceedings of the Royal Society B Journalහි පළවුණු පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ, භගමණිය හැපින්නන්ගේ වලිගයේ පිහිටන බව ය.

හැපින්නන්ට ලිංගේන්ද්‍රියක් නොමැති බවට බොහෝ කලක සිට පැවති උපකල්පන සුණුවිසුණු කරමින් ඔවුන්ට භගමණියක් ඇතැයි විද්‍යාඥයින් සොයා ගෙන තිබේ.

හැපින්නන්ගේ ලිංගේන්ද්‍රිය පිළිබඳ පළමු නිසි ව්‍යුහ විද්‍යාත්මක විස්තර බදාදා (දෙසැම්බර් 14) ප්‍රකාශයට පත් වුණු පර්යේෂණය මගින් සපයයි.

සර්ප ශිෂ්ණය එනම්, දෙබල් ලිංගය (hemipenes) පිළිබඳව දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනය කර ඇත. ඒවා කොටස් දෙකකට බෙදී ඇති අතර ඇතැම් ඒවා කණ්ඨක සහිත වේ.

නමුත් ගැහැණු ලිංගික ඉන්ද්‍රිය "සංසන්දනය කිරීමේදී මගහැරී" ඇතැයි පර්යේෂකයෝ පැවසූහ.

විද්‍යාඥයින් සැබවින් ම ඒ පිළිබඳව නොසෙව්වා මිස එය සොයා ගැනීමට අපහසු වූවා නොවේ.

නරක දෙයක් ලෙසට ගැහැණු ලිංගේන්ද්‍රිය සම්බන්ධව බැඳී ඇති ආකල්ප සහ විද්‍යාඥයින්ට එය සොයා ගැනීමට නොහැකි වීම අතර සහසම්බන්ධයක් පවතින බවත්, සර්පයින් අන්තර් ලිංගිකන් ලෙස ජනතාව තුළ මතයක් පැලපදියම්ව තිබීමත්, ගැහැණු ලිංගේන්ද්‍රිය පිළිබඳව අවධානයට ලක් නොවීමට හේතු වූ බව ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ ප්‍රධාන පෙළේ පර්යේෂකයෙකු වන මේගන් ෆොල්වෙල් පැවසුවා ය.

මෙම සතියේ Proceedings of the Royal Society B Journalහි පළවුණු ඇය සම-කර්තෘත්වය දැරූ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ, භගමණිය හැපින්නන්ගේ වලිගයේ පිහිටන බව ය.

පටක මගින් වෙන් වී වලිගයේ යටි පැත්තේ සැඟවී ඇති 'hemiclitores' නම් භගමණි ද්විත්වයක් සර්පයින්ට තිබේ. ද්විත්ව බිත්ති සහිත එම ඉන්ද්‍රිය, උද්ගාමක පටකවලට අනුරූප වන ස්නායු, කොලැජන් සහ රතු රුධිර සෛලවලින් සෑදී ඇති බව පර්යේෂකයෝ පවසති.

ෆොල්වෙල් ප්‍රකාශ කළේ, සර්පයින්ගේ ගැහැණු ලිංගේන්ද්‍රියන් ගැන කියවා ඇති සාහිත්‍යයේ ඒවා නොතිබූ බවට හෝ පරිණාමය හරහා ඒවා නැති වී ගිය බවට සඳහන් වීම "නිවැරදි යැයි තමන්ට නොහැඟුණු හෙයින්" ඒ පිළිබඳව සෙවීමට පටන්ගත් බව ය.

"මම දන්නවා භගමණිය බොහෝ සතුන් තුළ තිබෙනවා කියලා, ඒවගේම ඒක හැම සර්පයා තුළ ම නෑ කියන එක කියන්න බෑ," ඇය පැවසුවා ය.

"ඒ ඉන්ද්‍රිය තිබුණා ද නැත්නම් මගහැරුණා ද කියලා මට බලන්න විතරයි තිබුණේ," ඇය ප්‍රකාශ කළා ය.

ඇය ඩෙත් ඇඩර් (ඔස්ට්‍රේලියාවට අවේණික සර්ප විශේෂයකි) සර්පයෙකු පරීක්ෂා කර භගමණිය සොයා ගත්තා ය. එය සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා භාවිත කරන සර්පයාගේ ස්වේද ග්‍රන්ථි අසල ඇති හදවතක හැඩයෙන් යුත් ඉන්ද්‍රියකි.

"අවට ඇති පටකවලට වඩා බොහෝ වෙනස් ලෙස ගැහැණු සතා තුළ මෙම ද්විත්ව ඉන්ද්‍රිය හොඳින් නෙරා තිබුණු අතර මම මීට කලින් දැකල තිබුණු ඉන්ද්‍රියයන් (ශිෂ්ණ) එක්ක ඒකෙ සමානකමක් තිබුණේ නෑ."

පසුව කාර්පට් පයිතන්, පෆ් ඇඩර් සහ කැන්ටිල් වයිපර් ඇතුළු සර්ප විශේෂ 9කගේ ශරීර කපා නිරීක්ෂණය කරමින් ඇයගේ කණ්ඩායම මෙය විවිධ සර්පයන් තුළ පරීක්ෂා කර බැලූහ. 'Hemiclitores' ප්‍රමාණයෙන් වෙනස් වූ නමුත් හඳුනා ගත හැකි විය.

සර්ප ලිංගිකත්වය ගැන නැවත ලිවීම

හැපින්නන්ගේ උත්තේජනය සහ සතුට සමග බැඳී පවතින සර්ප ලිංගිකත්වය පිළිබඳ නව න්‍යායන් සඳහා මෙම සොයාගැනීම දැන් ඉඩ සලසයි.

සර්ප ලිංගිකත්වය යනු, "බොහෝ විට බලහත්කාරකමක් සහ පිරිමි සර්පයා සංසර්ගයට කරන බලකිරීමක්" ලෙස මෙතෙක් විද්‍යාඥයන් විශ්වාස කළ බව ෆොල්වෙල් පවසයි.

ඊට හේතුව වූයේ පිරිමි සර්පයන් සංසර්ගයේදී සාමාන්‍යයෙන් තරමක් ශාරීරිකව ආක්‍රමණශීලී වූ අතර ගැහැණු සතුන් වඩාත් "සන්සුන්" වීම නිසාය.

"නමුත් දැන් භගමණිය සොයා ගැනීමත් සමග ම ගැහැණු සතා පිරිමි සතා සමග වැඩි කැමැත්තකින් සහ වර්ගයා බෝ කිරීමට ඉඩ ඇති තවත් ආකාරයක් ලෙස පොළඹවා ගැනීම සහ උත්තේජනය යොදා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අපට ආරම්භ කළ හැකිය," ඇය පැවසුවා ය.

උපකල්පනය කර ඇති සර්පයින්ගේ ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට එය උපකාරී වනු ඇත. පිරිමි සර්පයෝ බොහෝ විට තම සහකාරියගේ වලිගයේ භගමණිය පිහිටා ඇති ස්ථානය වටා එතී සංසර්ගයේ යෙදෙති.

"හැපින්න උත්තේජනය කිරීම සඳහා පිරිමි සතුන් එය සිදු කරන බවට සංඥා කරන බොහෝ හැසිරීම් තිබේ."

ෆොල්වෙල් පැවසුවේ, සර්ප විද්‍යා ලෝකයේ මෙම සොයාගැනීම සඳහා ධනාත්මක පිළිගැනීමක් ඇති වී ඇති බව ත් "මෙතරම් කාලයක් එය මග හැරී තිබීම තරමක කම්පනයක්, නමුත් එය ඇති බවට පැහැදිලි වීම පුදුමයක්" බව ත් ය.

ඇතැම් සර්ප විශේෂවල භගමණිය මිලිමීටරයකට වඩා අඩු එතරම් ශක්තිමත් නොවන එකක් වන අතර විශේෂයෙන් කුඩා බව ඇය සඳහන් කළා ය.

කබරුන්ගේ මෙන් හැපින්නන්ට පිරිමි දෙබල් ලිංග ආකාරයේ කුඩා ලිංගේන්ද්‍රියක් ඇති බවට මතයක් ද පැවතිණි. එනිසා, අන්තර්ලිංගික සර්පයන් පිළිබඳ ඇතැම් අධ්‍යයනයන්හිදී, විද්‍යාඥයන් විසින් දෙබල් ලිංග යනු, 'hemiclitores' ලෙස වැරදි ලෙස නම් කරනු ලැබ තිබිණි.

මෙම ව්‍යාපෘතියේ අනෙකුත් පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය කේට් සැන්ඩර්ස් පැවසුවේ, ෆොල්වෙල්ගේ "නැවුම් දෘෂ්ඨිකෝණය" නොවන්නට මෙම සොයා ගැනීම සිදු නොවනු ඇති බව ය.

"මෙම සොයාගැනීම පෙන්නුම් කරන්නේ, විද්‍යාවට ඉදිරියට යාමට විවිධ අදහස් ඇති විවිධ චින්තකයින් අවශ්‍ය වන ආකාරයයි."