හොඳින් සංරක්ෂණය වූ ඩයිනොසෝර කළලයක් චීනයෙන් හමුවේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
මුළුමනින්ම සංරක්ෂණය වී ඇති ඩයිනෝසෝර කළලයක් චීනයෙන් සොයා ගත් බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. මෙම ඩයිනෝසර කළලය, කුකුළු පැටවෙකු මෙන් බිත්තරයෙන් පිටතට පැමිණීමට සූදානමින් හිඳ ඇත.
පර්යේෂකයන් පවසන්නේ දකුණු චීනයේ ගැන්ෂු ප්‍රදේශයෙන් සොයාගැනුණු මෙම කළලය අවම වශයෙන් වසර මිලියන 66ක්වත් පැරණි බව යි.
එය දත් රහිත තෙරොපොඩ් ඩයිනොසෝරයෙකුගේ හෝ ඕවිරැප්ටොරෝසෝරසයෙකුගේ කළලයක්යැ යි විශ්වාස කෙරෙන අතර, එය නම් කර ඇත්තේ 'බේබි යින්ලියැන්' ලෙස ය.
පර්යේෂක ආචාර්ය ෆියෝන් වයිසම් මා පවසන්නේ මෙය, "ඉතිහාසයේ මෙතෙක් හමුවූ හොඳම ඩයිනෝසෝර කළලය" බව යි.
මෙම සොයාගැනීම, ඩයිනෝසෝරයන් සහ නූතන පක්ෂීන් අතර ඇති සම්බන්ධය පිළිබඳව පර්යේෂකයන්ට වැඩි අවබෝධයක් ලබා දී තිබේ. ෆොසිලයෙන් පෙන්නුම් කරන්නේ කළලය 'ගුලි ගැහුණු' ස්වරූපයකින් තිබෙන බව යි. එය, බිත්තරයෙන් බිහිවීමට ආසන්න වෙලාවක බිත්තරයේ සිටින පැටවාගෙන් දකින්නට ලැබෙන ලක්ෂණයකි.
"මෙයින් පෙන්නුම් කරන්නේ නූතන පක්ෂීන්ගේ එවැනි හැසිරීම් ඔවුන්ගේ මුතුන්මිත්තන් වූ ඩයිනොසෝරයන්ගෙන් පැවත එනවා කියන එක යි," ආචාර්ය මා AFP පුවත් ඒජන්සියට ප්‍රකාශ කළා ය.
ඕවිරැප්ටොරෝසෝරස්, එනම් "බිත්තර සොරාකන කටුස්සන්" යනු වසර මිලියන 100ත් මිලියන 66ත් අතර කාලයකට පෙර, ක්‍රිටේශීය යුගයේ අවසාන කාලයේ ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ ජීවත් වූ පිහාටු සහිත ඩයිනෝසෝරයන් වර්ගයකි.
පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පාෂාණීය ධාතු විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් බෲසැට් ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුණේ, මෙය එතෙක් ඔහු විසින් දැක ඇති "අතිවිශිෂ්ටම ඩයිනෝසෝර පොසිලවලින් එකක්" බව යි. එමෙන්ම, මෙම කළලය බිහිවීමට ඉතා ආසන්නයේ පසුවූවක් බවත් ඔහු පවසා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/ University of Birmingham
ළදරු යින්ලියැන්ගේ හිසේ සිට වලිගය දක්වා දිග අඟල් සෙන්ටිමීටර 27ක් පමණ වේ. එය චීනයේ යින්ලියැන් පාෂාණ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ඇති සෙන්ටිමීටර 17ක් පමණ දිගු බිත්තරයක් තුළ රැඳී සිටියි.
බිත්තරය මුලින්ම සොයාගැනුණේ 2000 වසරේ දී වුවත්, එය වසර 10ක කාලයක් ගබඩාකොට තබා තිබුණි.
මෙම බිත්තරය කෙරෙහි පර්යේෂකයන්ගේ අවධානය නැවතත් යොමුවුණේ කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භවීම නිසා එහි තිබූ පැරණි ෆොසිල නැවතත් වර්ග කිරීමේ දී ය. බිත්තරය තුළ කළලයක් ඇතැ යි එවිට පර්යේෂකයින්ට සැකයක් මතුවී ඇත.
ඩයිනොසෝරයාගේ සිරුරේ කොටසක් තවමත් පාෂාණවලින් වැසී ඇති අතර, එහි සම්පූර්ණ ඇටසැකිල්ලේ රූපයක් ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයන් අධිතාක්ෂණික ස්කෑන් කිරීම් සිදුකරනු ඇත.










