මීටරයක් උස වඳවී ගිය යෝධ ගිරවෙකුගේ අස්ථි කොටස් නවසීලන්තයෙන් හමුවෙයි

මීටරයක් උස ඉපැරණි යෝධ ගිරවෙකුගේ අස්ථි කොටස් හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, PA Media

වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ වාසය කළ උසින් මීටර එකක් පමණ යුත් යෝධ ගිරවෙකු පිළිබඳව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

එම ගිරවාගේ අස්ථි කැබලි සොයාගෙන ඇත්තේ, නවසීලන්තයේ ඔටාගෝ කලාපයේ සෙන්ට් බේදන්ස් ප්‍රදේශය ආසන්න ස්ථානයකිනි.

විශාලත්වය නිසා එම ගිරවුන් පියාසර කිරීමට නොහැකි මාංශ භක්ෂක විශේෂයක් වන්නට ඇති බවට විශ්වාස කෙරේ.

එම පක්ෂියා පිළිබඳ වාර්තාවක් Biology Letters නමැති සඟරාවේ පළ කර තිබේ.

කිලෝග්‍රෑම් 7ක් පමණ බරින් යුත් මෙම ගිරවා, මීට පෙර විශාලතම ගිරා විශේෂය ලෙස සැලකුණු කාකාපෝ ගිරවාට වඩා දෙගුණයක් පමණ බරින් යුක්තය.

"වෙනත් යෝධ ගිරවුන් ලෝකයේ නැහැ. මේ ගිරවා පිළිබඳව සොයා ගැනීම අතිශය වැදගත්," ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ පොසිල පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය ට්‍රෙවර් වර්දි පැවසීය. මෙම පර්යේෂණයේ ප්‍රධානියා වූයේ ඔහුය.

පොසිල විද්‍යාඥයින් විසින් මෙම නව පක්ෂි විශේෂය හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටැටස් යනුවෙන් නම් කර ඇත්තේ, අසාමාන්‍ය විශාලත්වය හා ශක්තිය සැලකිල්ලට ගනිමිනි.

රාජාලියෙකුගේ හෝ තාරාවෙකුගේ බවට මුලදී විශ්වාස කළ අදාළ අස්ථි කැබලි, පොසිල විද්‍යාඥයින් කණ්ඩායමක් යළිත් පර්යේෂණ ආරම්භ කරන තෙක් මේ වසරේ මුල් භාගය දක්වා වසර 11ක් තිස්සේ ගබඩා කර තිබිණි.

එම ගිරවා මිනිසෙකුගේ සාමාන්‍ය උසින් අඩක් පමණ විශාලත්වයකින් යුතු වූ පක්ෂියෙකි.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, එම ගිරවා මිනිසෙකුගේ සාමාන්‍ය උසින් අඩකට වඩා විශාලත්වයකින් යුතු වූ පක්ෂියෙකි.

මහාචාර්ය ට්‍රෙවර් වර්දි ප්‍රකාශ කළේ, විද්‍යාගාරය තුළ පර්යේෂණ ව්‍යාපෘතියක නිරත වෙමින් සිටි සිය ශිෂ්‍යයෙකුට අහම්බෙන් එම අස්ථි කැබලි හමුවී තිබූ බවය.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පොසිල විද්‍යා අංශයේ මයික් ආචර් ප්‍රකාශ කළේ, එම ගිරවාගේ හොට ඉතා විශාල එකක් වන්නට ඇති බවය.

එම ගිරවා "සාමාන්‍යයෙන් ගිරවුන් ගන්නා ආහාරවලට වෙනස් දේ ආහාරයට ගන්නට ඇතැයි," මහාචාර්ය ට්‍රෙවර් වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබිණි.

කෙසේ වෙතත්, ගිරවුන්ට ගොදුරු විය හැකි විලෝපිකයින් නොවුණු හෙයින් ඔවුන් ආක්‍රමණශීලී පක්ෂීන් විය නොහැකි බව මහචාර්යවරයා බීබීසී පුවත් සේවයට පැවසීය.

"ඔවුන් පොළොවේ වාසය කරන්න ඇති. ඇවිද යමින් බොහෝ විට බීජ වර්ග ආහාරයට ගන්න ඇති," ඔහු සඳහන් කළේය.

විශාල පක්ෂීන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම නවසීලන්තයට නුහුරු අත්දැකීමක් නොවේ. නවසීලන්තයේ වාසය කළ බවට විශ්වාස කරන, මේ වන විට වඳ වී ඇති මොආ නමැති පක්ෂි විශේෂය මීටර් 3.6ක් පමණ උසින් යුක්ත වූ බව සැලකේ.

අදාළ යෝධ ගිරවාගේ පාද අස්ථි කොටස් හමුවූ සෙන්ට් බේදන්ස් ප්‍රදේශයේ වසර මිලියන 23 ක් දක්වා පැරණි පොසිල ඇති බව සොයාගෙන තිබේ.

"මෙතෙක් කෙහෙන්වත් වඳ වුණු යෝධ ගිරවෙකු සොයාගෙන නැහැ," මහාචාර්ය වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

"අපි මේ පොසිල තට්ටුව අවුරුදු 20ක් තිස්සේ ගවේෂණය කරනවා. හැම අවුරුද්දක ම අලුත් පක්ෂියෙකු හෝ වෙනත් සතෙකු පිළිබඳ සාක්ෂි ලැබෙනවා. මේ පොසිල තට්ටුවේ තවත් අනපේක්ෂිත සත්ත්ව විශේෂ ගණනාවක් ඉන්න බවට සැකයක් නෑ."

තවදුරටත් කියවන්න.